Thursday, December 13, 2012

::කෝච්චි හා ස්වයංවරය::











සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්.
කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි.
මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි.

“ කොහෙද ඉන්නේ...?“

“තාම මඟ....!“

“මොකක්ද අනේ ...! දැන් මඟුල් ඇතත් සරසලා ඉවරයි...! තව ටිකකින් පටන් ගනියි...!“

“ඉස්සරහ හන්දියෙ කිඹුලෙක් හැප්පිලා...! එතනින් එහාට බස් එන්නෙ නෑ“

“ඉතිං දැං ඔයා මොකේද එන්න යන්නේ...!“

“කෝච්චියෙ...“

“කෝ....ච්...චි...යේ...?“

“ඔව්...! එතකොට ඉක්මනට එන්න පුළුවන්“

“ අනේ .... මං කෝච්චිවලට බයයි....! කෝච්චි වල එන කුමාරයන්ටත් බයයි...! දිගට දිගේ.....! ඩකස් ඩොකස් ගාගෙන....“

“ඉතිං එහෙම වුණොත් මට වෙලාවට එන්න බැරි වෙයි...!“

“ කමක් නැහැ. කොහොම වුණත් මං ඔයාගෙනෙ....! අනේ කෝච්චියෙ නම් එන්න එපා හරිද.....?“

**********************************************
බසය. කිඹුල් මළකුණ මඟහැර ගමන් කල හෙයින් ගමනට අවුරුදු එකහමාරක් ගතවී තිබිණි.
මාලිගාව ඉදිරිපස. කුලියට දීමට තිබේ යනුවෙන් ලියූ පුවරුවක් විණි. අළුත් තීන්තෙන්. පැරණි ලෑල්ලක.
මිනිස්සු. කිසිවෙක් කොහේවත් නොසිටියහ.
මම. ආපසු යන දුම්රියට නැඟුණෙමි.
***********************************************
හරස් ගේට්ටුව. දුම්රියට පමණක් ඉඩ දෙමින් වාහන වලට එදිරිව අවලම්බනය වෙමින් සිටියේය.
සුදු පැහැති සැප රිය. වාහන පෙලෙහි තුන්වෙනුවට තිබිණි. රෝද නැවතී. එන්ජිම ක්‍රියාත්මකව.
ඇය. සැප රිය තුලට වී කෑ ගසමින් උන්නාය. විසල් කොටගත් නෙත් තදින් වසාගෙන. දෝතින්ම දෙසවන් බදාගෙන.

ස්වයංවරය. කලකට පෙර අවසන්ව තිබිණි.

Wednesday, December 5, 2012

:: ශෝක ප්‍රකාශය ::


කවි වුවද ප්‍රාග්ධනයෙන් මිදී නැත
ප්‍රත්‍යක්ෂයෙන් නොදැනේ නම්
වෙළඳපොල අගයක් නැත

සේකර....
ඔබ යලිත් නිවැරදිය

මිහිරි වෙණ වැයුම් නොව
පපර බයිලාම ඇවැසිය
ගේය කව් පද නොව
වෙළඳ වැකි රසැතිය

කවියන් අගුලු ලා ඇත
ලියන්නන් විරු කොට
කවිපිටු වැසී ඇත
කොමුපිලි සටනකට

Monday, November 26, 2012

:: මතක අමතක ::














පරණ මතක
ඉඳහිටක අළුත්වන
හොරෙන්ම හිනැහෙන
අනෙකකු හා බෙදෙන
කෙබරයක් තෙපරබා හිනැහෙන
ඉඳහිටක ඇත්තම කියවෙන

රූ රටා
පෙම් සුවඳ වියැකුණ
දෙපසෙහිම ඇලවෙන
නොදන්නා සේ හිඳින
අනුන් රවටා අපද රැවටෙන
දකින්නත් ඇතැයි සිතමින


පෙම් කථා
හරබරව වියමින
එතරම්ම පෙමින
වෙනකකු හා බැඳෙමින
පැරණි ප්‍රේමය ඔපයට එල්ලන
උඩඟු බැල්මෙන් එ‘වග දොඩවන

Wednesday, November 21, 2012

:: ලේ සහ කඳුළු ::










කඳුළු....!
මිණි කැටව බිම වැටිය යුතුමය
ස්නේහ පැතුමෙන් විලිබරව මිස
ගාසාහි මෙන් මර බියෙන් නොව

ඇස්....!
විවර වී මඟ බැලිය යුතුමය
මාපියන් මඟ එත්ද වග මිස
අහස බිඳ එන ගිනි පුලිඟු නොව

කඳුළු...!
නෙතඟ දිලිසී තිබිය යුතුමය
ප්‍රේම පහසින් ඔකඳවී මිස
තල් ගසක් යට වෙව්ලමින් නොව

දෙපා....!
ජවය යොදමින් දිවිය යුතුමය
වසත් සමයෙක කෙළිදෙලෙන් මිස
ක්‍රෑර අවියක ගිනි බියෙන් නොව

කඳුළු...!
කොපුල් රූරා ගැලිය යුතුමය
පිය සම්පයෝ තුටින් මිස
මැරුණු මවුපිය නැති සොවින් නොව

ලේ.....!
නහර සූරා ගැලිය යුතුමය
සිය දරුට කිරි බිඳක් වී මිස
නිසරු පොළවක පොහොර වී නොව

Wednesday, November 7, 2012

:: තාර මිනිසුන් ::

















පාරවල් වන් මිනිසුන්ද ඇත...!
බොරළු ගල් සඟවාන
මටසිළුටු තාරයෙන් හිනැහෙන.
ටයර පා රිදෙතැයි
තව තවත් ගෙවී මුදුවෙන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තුනී තනි වැස්මකින්
පැරණි වලවල් වසාලන.
කැඩී සුන්වී ගියද
මඟ දමා දුර නොයන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තැලී පොඩිවී වුවද
ඉමක දුර රැගෙන යන.
මඳහසක් වෙනුවට
දුම් රැසින් තුති ලබන.


Wednesday, October 3, 2012

:: මට වඩා වැඩිමල් මල්ලී ::


 පියවරයන්.
ඒ තැබූ අඩිවලට පියවර යැයි කිව නොහැක. ඒවා බර අඩිය.
ඇතැම් අඩි නිරුවත් පාවලින් තැබිණි. උන් පුරුද්දට පාවහන් නොපැලඳි හෙයින් නොවේ. පාවහන් ගැන වගක් නොවූ හෙයිනි.
ඇතැම් අඩි සෙරෙප්පු වලින් තැබිණි. බොරළුපාරේ ඇවිදීමෙන්. කාස්ටක නියර දිගේ යෑමෙන්. ගඟේ ගල්වලට මැඳීමෙන් මහපටැඟිල්ලත් විළුඹත්  ලඟින් හිල්ව ගිය සෙරෙප්පු වලින් තැනී.
ඇතැම් අඩි ඒ මේ අත ඇදී ගොස් තිබිණි. හිමියාට වාරු නැතිවූ හෙයින්. තවෙකකුට වාරුව ගිය හෙයින්.

වැටිය යුතු කලට වැසි නොවට හෙයින් පොලව කාස්ටකව තිබිණි. එහෙයින්ම සෑම අඩියක් පාසාම දූලි ධාරාවක් නැංගේය.

දුවිලි. ඉහල නැඟුණු සෑම දූවිලි අංශුවක්ම වඩා වැඩි බරකින් පොලවට පාත්විණි. සුසුම් රලකින් සසලව. කඳුළු සුඟකින් පරලව.

සුසුම් හා කඳුළු.
ලංකාවේ හතර දිග්භාගයෙන් ආවුන්ගෙන් ගලා ආයේය.
දින හතරක් පුරා නිදිවැරූ. වතුර හිඳුන ගඟෙන් යට ඇඳුම් පමණක් සේදීමට වරම් ලද. නිදිමත ඉවසිය නොහුනු කල ගඟේ ගල් මතද, වෙලේ දුම්කොල මුල්මතද නිදාගත් උන්ගෙන් ගලා ආයේය.
එමෙන්ම.
දිව රෑ නැතිව අලින්ගෙන් තැලුන. ඉඩෝරයට කාස්ටක වුණ. තෙල්ගමු ඔය පැන හේන් කෙටුව වුන්ගෙන් ගලා ආයේය.
පුම ඉතිරි වෙනසක් නැතිවම.

දූවිලි, සුසුම් හා කඳුළ වලට එපිටින්.
ජානක මල්ලී ගමන් ගත්තේය.
සතියකට පෙර තම අතින් සිටවූ බෝංචි කෝටු පසු කරමින්. හීන් අත්තාට පලා දුන් දර කොටන් පසු කරමින්. මහ ගෙදරට වතුර ගෙන ආ පාරදිගේ ගමන් ගත්තේය.
අප්පච්චී බනිද්දී මඟ හැර ආ පෑල දොරට හොරෙන්. ඉඳ හිට ගෙදර ආ දාක වතුර බඳින කැකුලස්සේ වක්කඩ වලට නොකියාම. දම්මාගේත් නුවන්ගේත් සෝවුරු පෙමට රිදවමින්.
ගමේ හිටි නිහඬම කොල්ලා ගමන් ගත්තේය.


නවනැලියේ දේවතා ගහ හඬද්දී.


ඩෙනිම්, ටී ෂර්ට් හා ගවුම්.සරම්, බැනියම් හා චීත්ත.
දූවිල්ලෙන් වැසී තිබිණි. කඳුලින් පැල්ලම් වැටී තිබිණි. සුසුමින් බරවී තිබිණි.


මාතලන්.

ඩෙනිම්, ටී ෂර්ට් හා ගවුම් හැඳ සිටියවුන්ගේ කරමතින් ගමන් ගත්තේය.
සරම්, බැනියම් හා චීත්ත හැඳ සිටියවුන්ගේ කරමතින් ගමන් ගත්තේය.
නිහඬව. නිසලව.


මිනී පෙට්ටිය.
දෙලොස් දෙනෙකුගේ උරමතින්. තවත් බොහෝ දෙනෙකුගේ අතැඟිලි හා ස්පර්ශ වෙමින්. ජානක මල්ලීද මාතලන්ද රැගෙන ගියේය. එකවර. එකම සිරුරක.

වල.
සොහොනේ කොනක කපා තිබිණි. මයිල ගහකට ටිකක් මෑතින්.
වල හරහා.
කූරටියා පොලු දෙකක් තබා තිබිණි.

පෙට්ටිය.
පොලු මත තැබිණි. අගුල් ලෙහිණි.

*********************************************************************************
ජානක මල්ලී.
කළු ඇඳුමක් හැඳ වැතිර සිටියේය. මිනී වලකට උඩින්. වයස විසිහතරේදී. තමාට වඩා වැඩිමල් උන් බොහෝ ජීවත්ව සිටියදී.  උන් සැවොම හඬවමින්.

මාතලන්.
නිහඬව සිටියේය. වෙනදා තිබූ ජවය සඟවාන. නිකටෙහි වැවුණු රැවුල එලෙසම තබාගෙන. නළලෙහි පැලැස්තරයක් ඇතිව.

ජානක මල්ලී.
දුහුවිල්ලෙන් නැහැවී සිටියේය. බොරළු පාරෙන් ගමට විත් ඒ බොරැල්ලේම වැලලෙන්ට රිසිව.

මාතලන්.
දෑත් එක්කොටගෙන සිටියේය. තම මෙහෙය නිම නොකොටම.




ජානක මල්ලී.
මාතලන්ව මිය ගියේය.

පිපාසව. මහමඟ. අනුන් වෙනුවෙන්.  තමන් අතහැර ලීය.

මිනිසෙක්ව මිය ගියේය. මිනිස් වූ වුන් තිරිසන් වෙමින් සිටිද්දී.
ප්‍රොමිතියස්ව මියගියේය. සිය ලිපෙහි ගිනි ගෙන තව ලිප් දහසක් මොලවන්ට පතද්දී .
වීරිය වඩද්දී මියගියේය. පසේ බුදුවී බැබලෙන්ට තියෙද්දී.
ආදරය කරද්දී මිය ගියේය. සුවහසක් උන් වෛර වඩද්දී.
විරුවෙක්ව මිය ගියේය. මහා විරුවන් දියාරුව යද්දී.

**********************************************************************************
පෙට්ටිය. වැසිණි.
පොලු මතින් ලණුවලට මාරුවිණි. අනතුරුව වලට.

පස්.
පෙට්ටිය වටා පිරිණි. ආදරයෙන්. ගෞරවයෙන්.

මාතලන්.
තමා ඇදහූ ලෝකය තනන්නට යද්දී මිය ගියේය.  ලෝකයක් දිනවන්නට යද්දී. තනිව දිනන්නට සුවහසක් ලෙහෙසි මං තියෙද්දී. මිනිසුන්ට ආදරය කරමින් මිය ගියේය. තමන් අමතක කොට සිටිද්දී මිය ගියේය.


පිපාසව. මහමඟ. අනුන් වෙනුවෙන්.  තමන් අතහැර ලීය.

Monday, September 17, 2012

:: පටාචාරා කථාව::


 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRRg0tvFwE7nYJgp-SG-3x8CC9ORVYLlq5pbIlpLa9Zg8p2HKoYRpmvLmVfj9svm72BHaGEFqBEU1np2ArfXBjYvo2VevZ32mx8wjrHkPhvnyrdXdEzV7On_l7rrXyPBi3foq61SooYnc/s1600/z_page-15-Embracing02.jpg













ඇය.
වැහැරී ගොස් සිටියාය. ගඩා ගෙඩිම කෑ හෙයින්. දෙවසකට ලංවූ කාලයක්
හිස.
පසෙකට බරව තිබිණි. වාරුවූ උරහිස හිමියා නැතිව ගිය හෙයින්. සර්ප දළකට බිලිව.
උදරය.
තදින් ඇඳුණු මඩ පැල්ලම් දෙකකින් ගැවසිනි. වසරක් වයසැති විලුඹකින් කෙරුණු. සැඩ ගං දියක ගිලී යන්නට පෙර.
දෙතන.
වැහැරී ගියද කිරෙන් පිරී තිබිණි. උකුසකු ඩැහැගත් ලදරුවකුට උරුමවුණ. පෙර රැයේදී මව් කුසින් බිහිවූ.

පටාචාරා.
සැවැත් නුවරට පැමිණ සිටියාය. ලොබ කල සියල්ලන් අහිමිව. අහිමිකරගත්තවුන්ට ලොබින්.

ඇගේ මවුපියන්.
තමන් හැරගිය දියණිය අතැර ගියෝය. දෙවසක්ම දුක්කොට අවසන. ඇගේ මලනුවන්ද කැටුවම.
මහා කුණාටුවකට බිලිව. සිය ගර්වය රැඳි මැදුරටම පස්ව.

නුවරුන්.
මුලින් ඇය නොහැදින්නෝය. පෙර රූප සොබාව නොවූ හෙයින්. පට සළුපිලි නොඇඳි හෙයින්.

අවසන. මාලාකාරියක් ඇය හැඳිනගත්තාය.
“ සිටු කුමාරි....!“

මිනිස්සු.
ඇය වටකොට ගත්තෝය. පවන් සැලුවෝය. වත්තම් කරගත්තෝය. පැන් ඉස්සෝය.
කසු කුසු ගෑහ. මුණු මුණු ගෑහ. සුසුම් ලූහ.

පටාචාරා.
නැගිට ගත්තාය. සෙනඟ අතරින් ඇවිද ගියාය.
වියපත් කතක් ලඟ නැවතුණාය. මහ හඬින් හඬාවැටුණාය. රූටා ගොස් ඇගේ දෙපාමුල වැදහොත්තාය.
යලි නැගිට්ටාය. මහළු පුරුෂයකු අස නැවතුණාය. බියෙන් බියෙන් වැඳ වැටුණාය.
එකවනම නැඟිට දිවගියාය. යොවුන් කුමරකු ඇඟේ හැපෙන තුරුම.
අනතුරුව. කුමරා දෙස බලා සිටියාය. එක එල්ලේ. නෙතින් ගලන කඳුළු වැලකීමට යත්න නොදරාම. කුමරා නික්මවන තුරුම. වෙනකකු විසින්. ඇගෙන් ඉවතට.

පටාචාරා.
සැවැත් නුවර මැඳ හිටගෙන සිටියාය.
දල රෙදි කඩක් හැඳගෙන. දරු දෙදෙනා අහිමිව.
සියොලඟ මඩ තවරාන. වැන්දඹුව.
මේරූ කඳුළු උල්පත් ඇතිව. මාපියන් මියගොස්. සොයුරාද සමඟම.

*******************************************************************************
මුල්ම ගල.
පවුකල එකෙකු විසින් ගැසිණි. මවුපියන් ඇති. සොයුරියන් නොමල.
මුල්ම සරදම.
බේබද්දෙකු මුවින් නැඟිනි. දරුවන් සිටින. බිරිය නිවසෙහි වසන.

අනතුරුව.
ගල් වරුසාවක් විණි. මුල් හා පොලුද එක්වුණ.
මහා ඝෝෂාවක් විණි. සරදම් හා කුණු වදන් එල්ලුණ.

පටාචාරා.
නොසෙල්වී සිටියාය. මොහොතක්. දෙකක්. අනතුරුව දිවගියාය. මරණ භයින් මුසපත්ව. ගල් මුල් අඩුවන දෙසට. කෑ ගැසුම් නෑසෙන දෙසට.

මිනිස්සු.
ඈ පසුපසම හඹා ගියෝය. විනෝදයෙන්. ක්‍රීඩාශීලීව. ජවසම්පන්නව.

*******************************************************************************

දෙව්රම් වෙහෙර.
පඩි පෙලකින් යුතු නොවිණි. වසා දැමූ දොරවල් නොවිණි.

පටාචාරා.
හතිලමින් සිටියාය. දෙවුරම් වෙහෙරෙහි. ධර්ම ශාලාවක් මැඳ. බියට පත්ව. අසරණව. එහෙයින්ම රුදුව.

භික්ෂූ භික්ෂුණී. උපාසක උපාසිකා.
නොසන්සුන්ව සිටියෝය. ආ හෙයින් උවැසියක්. නිසි වස්ත්‍රාභරණයෙන් නොසැරසී. ස්නානය නොකොට. හිස් නොපීරා.

ශාසනප්‍රේමී ජනයා.
පටාචාරාව තල්ලු කලෝය. දුරට නෑසෙන සේ ඇයට බැන්නෝය. ඉවතයෑමට බල කලෝය.

********************************************************************************
බුදුන් වහන්සේ.
සිය අසුනින් නැගිටගත්තෝය. වම් පසින්වූ පැන් පාත්‍රය දකුණතින් ගත්තෝය. සෙනඟ දෙබෑ කරමින් පටාචාරාව වෙත පියමැන්නෝය. ශාන්තව. උපේක්ෂාසහගතව.

“ පිපාසයි නේද නැඟණිය........! “

පටාචාරා.
මහා විලාපයක් නඟමින් බුදුන්පාමුල වැඳ වැටුණාය.

Tuesday, August 21, 2012

:: සත් මරණ ::















මම.  ඇගේ නලලට හාද්දක් දීමි. දහබිඳු පිසීමට යත්න නොදරාම.
ඇය. නැගිටගත්තාය. සිනාසුනාය. පාරට මුහුණලා වූ ජනේලය විවරකලාය. මා වලකන්නට පෙර.
ආපසු ආවාය. මට නැඟිටින්නැයි සන් කලාය.

මම. නැඟිටගත්තෙමි. ඇය සේම. නිරුවතින්.

ඇය. දෙදණ ඔබා වැන්දාය. නිරුවත් මට. නිරුවතින්ම.

අනතුරුව. දිවගොස් ජනේලයෙන් පැන්නාය.

මිය ගියාය.

***********************************************************************************
ඊටපෙර.

ඇය. දෝත විහිදා මා වැලඳ ගත්තාය. අත නොහැරම එල්ලී සිටියාය.
මම. ඇය එලෙසම සිටිද්දී දොර වසා දැමුවෙමි. ඉඟෙන් අල්ලා ඇයව තදකොට. පසුපසට ගොස්.

මඳවේලාවකින් ඇය ග්‍රහණය ලිහිල් කලාය.
කඳුළු. පපුතුර තෙමමින් ගලාගියේය.
ඇය. ඇඳෙහි හිඳගත්තාය.

“ මට මැරෙන්න වෙලා..!“

මම. විශ්මයාර්ථයකින් ඇය දෙස බැලීමි.
ඇය. අත් බෑගයෙන් ඇරයුම්පතක් ගත්තාය. එදෙස බලා සිටියාය. ගුලිකොට යලි බෑගයටම එබුවාය. ගලන කඳුළු නොවලකමින්.

“ මැරෙන්නැතුව මං කොහොමද ඔයාව දාල යන්නෙ..? “

දුරකථනය. ඇය බෑගය තුල වූ දුරකථනය ගත්තාය. යතුරු එබුවාය. මට ලඟින් හිඳගන්නැයි සන් කලාය. නොදන්නා අංකයකට යැවූ පණිවිඩය පෙන්වූවාය.

“ I am not a virgin " . එහි සටහන්ව තිබිණි.

“ දැන් ඒක ඇත්තක් කරන්න..!“

තර්ක. දහසක් සිතට නැඟුනත් මුවෙන් පිට නොවිණි. දෙලවන ඇගේ දෙතොලතර හිරවූ හෙයින්.

**********************************************************************************
ඊට පසු.

ඇය. සත් වරක් මිය ගොස් තිබිණි.
අටවෙනි උපතේදි පෝරුවට නැංගාය. අතපැන් වත්කොට ගත්තාය.
කාලවර්ණ කාරයක් හා විවාහ වූවාය.

Sunday, August 19, 2012

:: පරනිම්මිත ::















පුත බ්‍රහ්මදත්තය
මේ මහා අග්නි විවරය
නුඹ දෙපල දෙපසකට වන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා භද්‍ර කල්පය
පෙර ලෙසම යලි නොවන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කාල වනපෙත
හැරී ආ මං පෙත් වසාලන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කෙලෙස් හීසර
මතක විසගෙන හදෙහි අමුණන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කර්ම සංස්කාරය
නිර්මාණරතියක සිරව සැඟවෙන

පුත බ්‍රහ්මදත්තය
බලව සැනහෙව
ඒ නිර්මාණරතියෙන් තැනෙන
පරනිම්මිත වසවර්තිය ......!

Monday, August 13, 2012

:: හෙමින් යන බස් ::










චන්ද්‍රසේන. බසය පිරෙන්නට සෙනඟ සිටියද, වේලා සටහන්කරු කිහිප විටක් නලාව පිම්බද, බසය ඉදිරියට නොගත්තේය. පණගැන්වූ රියෙහි සුක්කානම මත දෑත තබාගෙනම සිටියේය. ඉදිරිය බලාගෙන.

දහදිය. බසය පිටත්වී නොතිබුණද ඇතුලෙහි සිටියවුන් දහදියෙන් පෙඟෙමින් තිබිණි. අව්රශ්මියෙන්ද, ශරීරතාපයෙන්ද උපන් උණුසුම දරාගත නොහී.

ඊලඟ බස්රිය. චන්ද්‍රසේනගේ බස්රියෙහි ගෑවී නොගෑවී නතර කෙරිණි. සය වරක් නලාව හැඬවිණි. මහ හඬින්. රියදුරු කියූ අසැබි වදන් යටපත් කරමින්.

චන්ද්‍රසේන. බසය ඉබි ගමනින් ඉදිරියට ගත්තේය. අඩුම වේගය සහිත ගියරයෙහි උදව්වෙන්.

දාහතර. බසය නැවතුම් දාහතරක් පසුකර විත් තිබිණි.
චන්ද්‍රසේන.  නැවතුම් දාහතර පුරා බසය ගෙනාවේය. පල්ලම් වල නියුට්‍රල් කරමින්. ඉතිරි දුර පහලම ගියරයක එමින්. සෑම නැවතුමකම වැඩි වේලාවක් තබා ගනිමින්.

මගීන්. වැඩිව එන දාහයෙන් පෙලෙමින් සිටියෝය.

ඇතැමෙක් නොසන්සුන් වෙමින්. කලයුත්තක් නොහී.
“ මූ කීයට යන්නද දන්නෑ හිතන් ඉන්නෙ...?“

තවෙකෙක් දෙස් තියමින්. සෙමෙන්.
“ හෙමින් යනව මඳිවට ෆෝන් එකත් කනේ ගහගෙන..!“

අනෙකෙක් සිය පෙම්වතිය තමා දෙසට අදිමින්. බ්ලව්සයට වැහුණු ඉඟෙන් අල්ලා.
“ මෙහෙට එන්න බබා. මේ නාකියො බස් එකකවත් යන්න දන්නෑ...!“

සෙස්සන්. නිදමින්. පාලකයන්ට බනිමින්. විපක්ෂය පලු හරිමින්. කලා විචාර කරමින්. සූප ශාස්ත්‍ර දොඩමින්. ක්‍රීඩා විස්තර කියමින්. ගණන් හදමින්. බසයේ වේගය අමතක කිරීමට යත්න දරමින් සිටියෝය.

චන්ද්‍රසේන. තමා අසලම හුන් මඟියා හොඳින් පෙනෙන සේ දර්පණය සැදුවේය. පහලොස්වෙනි නැවතුමෙහි බසය නවතා තිබියදී. වම් අතින්. දකුණු අතින් ජංගම දුරකථනය දරාගෙන. මඟියාගේ රැවුම  දැක මුහුණ කළු කරගත්තේය.

සමන්තිකා. දහසයවෙනි නැවතුමෙන් බසයට නැංගාය. සෙනඟ අතරින් මැද්දට ගියාය. ජංගම දුරකථනයක් කනේ තබාගනම. අනෙක් උන් රවද්දී.

“ මඟුලක්ද කරන්නෙ..? මැද්දෙ සෙනග වැඩියි. මේ ඉස්සරහට එන්න....!“
චන්ද්‍රසේන දුරකථනයට කෙඳිරීය. සැරෙන්. සෙනෙහසින්.
අනතුරුව. දුරකථනය පසෙකින් තැබීය. බසය වේගවත්ම ගියරයට මාරු කලේය.

Thursday, August 9, 2012

:: පුනරාරම්භය ::












රළ. වෙරළ මත වැදෙමින් තිබිණි. සෝදමින්. සේදූ වැලි යලි දමමින්. මැරුණු බෙල්ලන් මතු කරමින්.

ඔහු. වෙරළෙහි වැතිර සිටියේය. උඩුකුරුව. ලිහිණියෙකු දෙස නෙතු යොමාගෙන.
ඇය. දිය බේරෙමින් ආවාය. යටිකුරුව වැතිරුණාය. ඔහු අසලින්.
ඉඟ හා දණහිස් මදක් එහෙමෙහෙ කලාය. උස්ව ආ සිය නිතඹ දෙස බැලුවාය. අනතුරුව ඔහු වෙත හැරුණාය.
උස්වූ නිතඹ එලෙසම තබාගෙන.

“ මං තාමත් ඒ වගේමද? “

ලිහිණියා. ඔහුගේ ඇසින් මිදුණේය.

“හ්ම්..! ටිකක් මහත් වෙලා...! හැබැයි ඒ විදිහම තමයි...!“
“එකම විදිහම වුණාම එපා වෙනව නේද..!“
“ මාත් කියන්නමයි හිටියෙ.., අපි වෙන විදිහකට ට්‍රයි කරමු...!“

අර්ථ. ඔහු කියූ දෙය ඇයට වැටහුණේ මඳ වේලාවකට පසුවය.

“ එහෙම නෙවේ අනේ..!  මං කැමතියි මුල් දවස්වල වගේ ඉන්න...! හැමදාම අළුත් දෙයක්..!“
“ ඉතින් දැනුත් ඉන්නෙ එහෙමනෙ. අපි ආදරෙයිනෙ...?“
“ එහෙම තමයි. ඒ වුණාට ඒ තරම් දැනෙන් නෑනෙ...!“

වැලි. ඔහු ගෙලෙන් පහල සියොලඟෙහි වැලි ගා ගනිමින් ඇය දෙසට පෙරලුණේය.

“ එහෙනම් ආයෙත් මුල ඉඳන් පටන් ගමු...?“
“ එහෙම බෑනෙ..!“
“ පුළුවනි..! ඔයා මාව දන්නෑ වගේ ඉන්න. මාත් එහෙම ඉන්නම්..! ඊට පස්සෙ ආපහු මුල ඉඳන් පටන් ගමු..!“
“ කොච්චර කාලෙකින්ද ?“
“ පුළුවන් තරම් කල්..!“

“ හරියන්නෑ..! අපිට අපිව පේනවනෙ...!“
“ එහෙනම් මං තූත්තුකුඩි යන්නම්..?“

“ කෝල් කරන්න හිතුණොත් ...?“
“ අපි පරණ නම්බර් අයින් කරමු...! අළුත් සිම් දෙකක් ගමු....! “

ඇය. මඳක් උස්වී හිඳ ගත්තාය. දිලිසෙන දෙනෙතින් යුතුව.

“ හරි... ඊ මේල් බ්ලොක් කරමු. නෑ .. ! නෑ...! වෙන දෙකක් හදාගමු...!“
“ ස්කයිප් එකටත් ඒකම කරමු“

“ ෆේස්බුක්...? යන් නැතුව ඉමු...?.... බෑනෙ. යාළුවො ඉන්නවනෙ...“
“ අන් ෆ්‍රෙන්ඩ් කරමු...! ඒත් හරියන්නෑ...! ඇඩ් කරගන්න හිතුණොත්..?“
“ එහෙනම්..බ්ලොක් කරමු...?“

“ එතකොට ඔයා කොහොමද මට දෙවෙනි පාර මුණ ගැහෙන්නෙ..?“
“ නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එයි...!“
“බෑ...! ඔයා මගෙ නම්බර් එක දන්නෙ නෑනෙ...?“

ඇය නැගිට්ටාය. ඔහු වටා පැදකුණු කරමින් ඇවිදින්නට වූවාය. විටෙක නවතිමින්. පා ඇඟිලි වලින් බිම හාරමින්. 
එකවනම නැවතුණාය. සතුටින් තිගැස්සුණාය.

“ හරි..! ඔයා නොදන්න ප්‍රොෆයිල් එකකින් මට රික්වෙස්ට් එකක් දාන්න...! “

මාපටැඟිල්ල. ඔහු සිය දකුණතෙහි මාපටැඟිල්ලෙන් ඇයට එකඟත්වය පෑවේය.
ඇය. කුඩා එකියක සේ සයුර දෙසට දිව ගියාය. දෙපා මාරුවෙන් මාරුවට වැල්ලෙහි ඔබමින්.  රළට මඳ දුරක් තිබියදී නැවතුණාය. ආපසු හැරුණාය.

“ ඔයාට කලින් වෙන කවුරු හරි රික්වෙස්ට් කලොත්...?“

රළ. මඳක් උස්ව විත් වෙරලෙහි හැපුණේය. ඇගේ හඬ පරයමින්.

Sunday, August 5, 2012

:: Chest Vs Breast ::












ඇය. අඳුරු පැහැ තරප්පුවෙන් බැස ආවාය. අළු පැහැති බ්ලව්සයක් වීදුරු පැහැ පටි දෙකකින් රඳවාගෙන. සෙනෙහසින් සිනාසුනාය. මගේ දකුණින් හිඳ ගත්තාය. සිය වමතෙහි ඇඟිලි මගේ දකුණතෙහි සැඟවූවාය. වීදුරු නෙත් දෙකින් මාදෙස බැලුවාය.

මම. සිත තදකොට සිරකලෙමි.
“ඔයාට කියන්න දෙයක් තියෙනව“

ඇය. හිස ඇලකොට මාදෙස බැලුවාය. වීදුරු දෙනෙතින්. කියන්නැයි සන්කලාය.
ගලක්. උගුරෙහි සිරවෙනු දැනුනි.

“මට ඔයාව බඳින්න බැහැ....!“
මම. උගුරෙහි වූ ගල පුපුරා ලූයෙමි. එහි හඬින් ඇය සලිතව යනු දුටිමි.

“ ඇයි...?“
 ඇය ඇසුවාය. සෙමෙන්. දෝංකාරය පහවගියපසු.

“ මට වෙන කෙනෙක් ඉන්නවා...!“

ප්‍රශ්න. පිලිතුරු. පැහැදිලි කිරීම්. කිසිවක් නොවිණි.
ඇය නැගිට්ටාය. තරප්පුව නැංගාය. හරියටම පඩි හතකට පසු ආපසු හැරුණාය.
මාවෙත ආවාය. යලි දකුණින්ම හිඳ ගත්තාය. දොරට පිටින් ඇති ඇල්බීසියා ගසදෙස බලාගත්වනම සිටියාය.
අනතුරුව හඬ අවදි කලාය. බැල්ම වෙනස් නොකරම.

“ මටත් කෙනෙක් හොයල දෙන්න...!“
සංසුන්ව කීවාය.

මම. කලබල වෙමින් සිටියෙමි.
ඇය. මට ඉඩ නොතබා දෙඩුවාය. නොසෙල්වී. ඇල්බීසියා ගස දෙසම බලාගෙන.

“ බ්‍රෙස්ට් වල මවිල් නැති කෙනෙක්...!“

මම. පිපිරී ගියෙමි. පිපිරුම් හඬ කෙඳිරියක්ව පිට කලෙමි.
“ පිරිමින්ට බ්‍රෙස්ට් නැහැ. තියෙන්නෙ චෙස්ට් එකක්..!“

ඇය. එකවරම කෙලින් සිටගත්තාය. එක එල්ලේ මාදෙස බැලුවාය.
වීදුරු ඇස්. ගිනි ගනිමින් තිබිණි. වීදුරු පටි. උරහිසෙහි මස පෙලමින් දිලුණි.

“ බ්‍රෙස්ට්...! හරිද...? ඒක චෙස්ට් වෙන්න ඊට යටින් තව දේවල් තියෙන්න ඕනෙ..!“

Wednesday, August 1, 2012

:: අයිස්ක්‍රීම් ::


















දුර.
ඇය කිලෝ මීටර් දෙකක් පයින්ද, විසි අටක් බසයෙන්ද පැමිණ දකුණු පස බස් නැවතුමට වී සිටියාය.
ඔහු කිලෝ මීටර් එක හමාරක් යතුරුපැදියෙන් විත් ඇය ඉදිරිපස නැවතුණේය.
ඔවුහු කිලෝමීටර් දහයක් එක්ව ගමන් කලෝය. යතුරු පැදියෙන්. ඔහු ඉදිරිපස. ඇය පසුපසින්. ඔහුගේ උරයට වාරුවී.

බංකුව. පසු පසින් රූස්ස ගසකින්ද, වම් පසින් මල් වැටකින්ද, දකුණින් කුණු බක්කියකින්ද ආවරණයව තිබිණි.
ඉදිරියෙන්. ගඟක් ගලා බැස්සේය. මීටර් දෙසීයක් දුරින්.

දෙපා. ඔහු ඇගේ දෙපා මත හිස තබාගෙන සිටියේය. සිය දෙපා නවා බංකුව මත තබමින්.
ඇය ඔහුගේ කෙස් අතර ඇඟිලි යවමින් සිටියාය. පසුගිය සතිය පුරා වූ දෑ පවසමින්. එකින් එක. ටිකක්වත් මඟ නොහැර.

රිද්මය. ඔහුගේ ස්වසන රිද්මය ඇයගේ උදරයෙහි උස්පාත්වීම හා සමපාත වෙමින් තිබිණි. දෙසවන් සිය සංවේදනය අත්හරිමින් සිටියේය. නෙත් පියවමින්.

ඇය. තමා තනිවම දොඩමින් සිටින බව පසක්කොට ගත්තාය. විනාඩි එක හමාරකට පසුව.
අතපොවන මානයේ වූ ඔහුගේ උදරයට පහරක් දුන්නේය. මිට මෙලවූ අතින්. නාභියට අඟලක් පහලට වදින්නට.

“ මට මැරෙන්න ඕන...!“
“ ඇයි...?“
“ මට ඔයා නැතිවෙයි කියල බයයි“
“ ඉතිං මැරුණම කොහොමත් නැතිවෙනවනෙ..?“
“ අපි දෙන්නම මැරෙමු...!“
“ එතකොටත් අපිට අපි නැතිවෙනවනෙ...?“

කඳුළු. ඇගේ දෙනෙතෙහි කබ වල පුරවමින් තිබිණි. කොපුල් තෙමීමට සූදානම්ව.
“ ඔයා නැතිවෙයි කියල බයේ ජීවත්වෙනවට වඩා ඔයා එක්ක මැරෙන එක හොඳයි...!“

කෙස්. ඔහු ඇගේ කෙහෙරැල්ලක් කනට එහායින් රැඳෙව්වේය. දබරැඟිල්ලෙන්.
“ ඔක්කොම නැති කරගන්නවට වඩා මැරි මැරී හරි ජීවත්වෙන එක හොඳ නැද්ද? මං ඔයාව දාලයන්නෙ නෑ“

කොපුල්. රත් පැහැගත්තේය. කඳුළු වලට ඇල වේලි තනා දුන්නේය.
බෑගය. ඇය සිය අත් බෑගය ගත්තාය. නැගිට්ටාය. වේගයෙන් ඇවිද්දාය. මීටර් දෙකක් හෝ තුනක්.
යලි හැරුණාය.

“ ඔයා කවදාවත් මැරෙන්නැද්ද....? බය ගුල්ලා....!“
අනතුරුව යන්නට ගියේය. ඇවිදිමින් දුවමින්. හිස ඔසවාගෙන. කඳුළු ගලද්දී. තනිව මුමුණමින්.

**************************************************************************

ඔහු. මඳ වේලාවක් ඇය දෙස බලා සිටියේය. හිටගත්තේය. සාක්කුවෙන් කාසියක් ගත්තේය. ඇය වෙත දිව ගියේය. මඟ අවහිරකරමින් නැවතුණේය. කාසිය වූ අත්ල ඇය වෙත පෑවේය.

“පැත්තක් ඉල්ලන්න..! හෙඩ් ද? ටේල් ද?“

“මොකටද...?“

“ ඔයා දිනුවොත් අපි මැරෙමු. පැරදුණොත් අයිස්ක්‍රීම් කමු.“

Monday, July 30, 2012

:: සාරුවා ( වගේ දේවල් - The 'things' like) Saaruwaa ::














වගක් නැතිසේ ඉන්නෙ කොහොමද...?
බලන් ජනගඟ රුකුල් දෙන මට.
දන්නවද ඔබතුමා මං ගැන...?
සියක් නැලවූ පුතයෙක්මි මම.

දුවෙක් සිටිනා වයස විසිදෙක
පෙමට ආ වුන් පස් දෙනෙක් විය.
බැලුම් හෙලුයේ මගේ දුවණිට
කඩා ලූයෙමි අත් කකුල් මම.

ඔය කියන කෙල්ලන්
පමණට වඩා වැඩුණෙන්
ඉරුණු රෙදි ඇන්දෙන්
තමයි සිදුවුණෙ මේ පරිද්දෙන්.

මට මෙහෙම වූවොත්
දුවට නෑ සරණක්.
නිදොස් වෙන්නම බැරිනම්
පිලිගනිමි දැඩි දඬුවමක්.

මින් මනත අයි ඩී බලන්නම්
වැඩී එනතුරු බලා ගන්නම්.
ඇවැසි නම් මේ අහ එවන්නම්
හතර පෝයට සිලුත් ගන්නම්.
තුවක්කුව මං අරන් යන්නම්.....!

Saturday, July 28, 2012

:: කහ සහ ගෝවා::

කහ.
අවුරුදු කුමරිය තරඟයදා ඇය හැඳ සිටියේ කහපැහැති තනපටකි.
අයෝමය පුරුෂයා තරඟයට ඔහු ආවේ කහ පැහැති යට ඇඳුමකින් සැරසීය.

ගෝවා.
ඔහු දිනපතා බිව් සුප් කෝප්පයට ගෝවා දැමීම අකැප විය.
ඇයගේ උදා ආහාරයට ගෝවා සලාදයක් අනිවාර්යය විය. දිග. එතරම් නොමේරූ.

ඇය. ගෝවා වලට අමතරව කොල පැහැති එලවළුත් කහ පැහැති පලතුරුත් කෑවාය. මඳ පමණ. ශරීර හැඩය නොනසා.
ඔහු. මස් ද මාළුද කෑවේය. තෙල්කෑම අඩුකලේය. ශක්ති ජනක කිරි බිව්වේය.

ඔහු. උදෑසනම දිව්වේය. හවසට ජිම් ගියේය. රෑට කලින් නිදා ගත්තේය.
ඇය. උඩරටද, පහතරටද බැලේ නැටුම්ද නැටුවාය. ශරීරය නම්‍යශීලී කරගත්තාය.

ඇය. රූ රැජින තරඟ අටකින් දිනුවාය. මුල් කවර හයකට සිය රුව දුන්නාය.
ඔහු. පිට පිටම හතරවරක් අයෝමය පුරුෂයා වූයේය. අග කවර තුනක උඩුකය පෑවේය.

ඔහු. දන්නා නොදන්නා ගැහැණු සිරුරු මත තම කාය ශක්තිය පෑවේය. ඉඳහිට මධුවිතක් ගත්තේය. පසුව වැඩිපුර.
ඇය. දුටු නොදුටු පෙම්වතුන් හා ආදරබස් තෙපලීය. ඇතැමුන් එවූ බෝනික්කන් තෑගි ලෙස ගත්තාය. කාටත් හොරෙන් සැඟවූවාය.

ඇය. ජනාධිපති ආර්යාවක වීමට සිහින මැව්වාය. ඇමතිවරු දෙදෙනෙකුගේ සිහින කුමරිය වූවාය.
ඔහු. ඇමතිවරයකු වීමට පැතුවේය. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු වීය.

**********************************************************************
මොනර පිල්. වැටී ගියේය.
සිංහ කේසර. ලිහී වැටුණේය.

ඇය. යලි ගෙදර ආවාය. ගෙටම වී සිටියාය.
ඔහු. යලි ගම ආවේය. උදේට වැඩිපුර නිදාගත්තේය.

***********************************************************************

ඔහු. කපුවකු දුන් ඔත්තුව අනුව නෑසියන් හා ඇගේ නිවසට ආයේය.
කෝලිකුට්ටු හා බටර් කේක් කෑවේය. බැරෑරුම් සිනාවක් පා නික්ම ගියේය.
ගේට්ටුව ලඟදී හැරී බැලීය.

ඇය. ඔහු දුන් අංකයට අකුරු කලේය. ඉංග්‍රීසියෙන් සිංහලෙන්.

“ අම්ම කියන්නෙ මං වගේ කෙනෙක් රකින්න ඔයා වගේ ශක්තිවන්තයෙක් තමයි හරි යන්නෙ කියලා“

ගෝවා මල්. මඳක් කහපැහැයට හුරුය.

Friday, July 27, 2012

:: මල් සහ කටු ::

මහ සද්දෙන් වැහි බේරුණු
අකුණු පැළුණු හැන්දෑවක
උතුරන කුණු ඇලක් ලඟම
නුඹ හිටියා හිනැහීගෙන

ළඟට ඇවිත් හීන්සැරෙන්
අතේ ඇඟිලි පැටලෙනකොට
“ජබෝස්“ ලෙසින් සුබ පැතුවා
මඩ වතුරක් හරි අගේට

එදා ඉඳන් මේ වෙනකල්
වැහිකුණාටු බෝ ආවත්
නොලිහී ගිය ඇඟිලි නමට
මේ ඩිංගත් ඔහොම ඉඳිමු
කැත්තයි පොල්ලයි විලසට

Wednesday, July 25, 2012

:: වචන ::

සායනික මනෝ චිකිත්සාව. දොස්තර අචින්ත අනුරාධ ගේ විශේෂඥ විෂය පථය එය විය.
මනෝ වෛද්‍ය සායනය. ඝනක හා ඝනකාභ හැඩැති අවකාශයන්ගෙන් යුත් රෝහලෙහි දකුණුපස පිහිටා තිබිණි. මඳක් බටහිරට බරව.

රොහාන් සතරසිංහ. සායනයෙහි නැගෙනහිරට වන්නට වූ කාමරයෙහි පුටුවක හිඳගෙන සිටියේය. දොස්තර අනුරාධට මුහුණලා. දොරට පිටුපා. මඳක් මුරණ්ඩුව.

රොහාන්ගේ නෑසියන්. සමීපතමයන් දෙදෙනෙකු හා දුර නෑකමක් ඇත්තෙකු කාමරයට පිටින් නතරව සිටියෝය. දෙකන් කාමරය දෙසටම යොමාගෙන.

*******************************************************************************

විනාඩි විසි නවය හමාරකුත්, කුරුටු ගෑ කොල හතරකුත්, කැඩී ගිය පෑන් දෙකකුත් අවසන දොස්තර අනුරාධ රොහාන් හා කථා කරමින් සිටියේය.  වඩ වඩා විශ්වාසයෙන්. තවතවත් සුහද වෙමින්.

“ ඩොක්ටර් හිතන්නෙ ජනපද කල්‍යාණිට නව දැලි හේනක වැඳිරි රුව වගේ වචන පාවිච්චි කරපු එක හරි කියලද? “

“ හරි ! රොහාන් කැමතිම වචනෙ මොකක්ද?“

රොහාන්. මඳක් කල්පනා කලේය. අවිනිශ්චිතව ඇඟිලි කොනක් සැපීය. අනතුරුව හඬ අවදි කලේය.

“ අනේ මන්ද ඩොක්ටර්...! පුංචිම කාලෙ නං අම්ම....! ඊට පස්සෙ හොඳ ළමයා....! එතනින් පස්සෙ පළවෙනියා.......! ශිෂ්‍යත්වෙ..........! ඒ දහය..........! ඒ තුන.....! බැච් ටොප්....!.....රස්සාවක්...!. “

“ එතකොට දැන් ...? “

කියවිල්ල. රොහාන් තම කියවිල්ල නැවැත්වීය. පුටුවෙහි හරිබරි ගැහුණේය. දොස්තර දෙස එක එල්ලේ බැලීය.

“  බ ම් බු ව...! “

:: ප්‍රේම මරුවාගේ කටඋත්තරය ::

ප්‍රියාවිය
නුඹේ ලවනත මතක ඇත මට
එ‘ලවනින්ම ආ බැගෑ වදන් හැර

ප්‍රියාවිය
නුඹේ දෙනයන දිලෙනු මතකය
කඳුළු බිඳු ගැන වගක් නැති වුව

ප්‍රියාවිය
නුඹේ ලැම විල සිහි ඇත තවම
එතුල ගිලෙමින් දෙඩූ දෑ හැර

ප්‍රියාවිය
තරුවකට දැමූ නම අමතකව නැත
තරුව දිවුරා දුන් වදන් මිස

ප්‍රියාවිය
පෙම් කලේ යැයි දැනේ ඉඳහිට
නුඹෙම වන්නෙමි කියූ වග හැර

ප්‍රියාවිය
ඉඳින් මා නිවැරදිකරුය
වැරදි කිසිවක් මතක නැති සඳ

Tuesday, July 24, 2012

:: මුදු සහ කෙස් ::

බස් රිය. බොහෝ වලගොඩැලි මතින් උඩ පනිමින් ගමනාන්තය කරා දුවමින් තිබුණේය. වලවල් වැසිදාට වැසි දියෙන්ද, අව්දාට හිරු රැසින්ද දිනපතා රෝදයන්ගෙන්ද පහර කමින් තම වපසරිය පුළුල් කරගනිමින් සිටියේය.

රියදුරු. එකවනම බසයේ තිරිංග තදකලේය. ඉක්මනින් හා තදින්.

ඇය. මගේ මඟුල් මුදුවේ පැටලී ගිය කෙහෙරොදක වාරුවෙන් නොවැටී සිටියාය. අනතුරුව සිනාසී යලි සිට ගත්තාය.

මුද්ද. කෙහෙරොද අතනොහැර අල්ලාගෙනම සිටියේය.
නැත. කෙහෙරොදට මුද්දෙන් ගැලවීමට අනැවැසිව තිබිණි.

ඇය කෙහෙරොද කඩා දැමීමට යත්න දැරුවාය. මම ඇය වැලකීමි.
මම. මුද්ද ගැලවීමට යත්න දැරීමි. ඇය මා වැලකුවාය.

 

******************************************************

කාමරය. ඇගේ කෙස්වල ගැල්වූ සුවඳින් පිරී යෑමට තරම් කුඩා එකක් විය.
මගේ ලය මත ඇගේ හිස තියෙද්දී අප මුද්දෙන් කෙහෙරොද මුදා හැරියෙමු.
කෙහෙරොද නොකඩා. මුද්ද නොරිදවා.

මා සිවිලිම දෙස බලා සිටිද්දී ඇය මුද්ද දෙස බලා සිටියාය.

“ රත්තරං... නේ ? “

මම සිනාසුනෙමි.

“ මට ටොක්කක් අනිනවද?“

මම ප්‍රශ්නාර්ථයක් දල්වා ඇය දෙස බැලීමි.

“ මං රත්තරං මුද්දක් දාපු අතකින් ටොක්කක් කාලම නෑ“

Wednesday, July 18, 2012

::කොකු::

කොක්කක්. උල් පැත්තට මඳක් දුරටවනතුරු පැටළුනු තරමක් කුණුවූ පණුකයකින් වැසී තිබිණි.
ඉතිරිකෙලවර. වාරු නැති අතකින් ගිලිහී ආ තංගුස් පටක වෙලීණි.
තංගුස්පට. එතරම් සැර නොවුණු කටු ඇති වැටකේ පඳුරක් තදින් අල්ලාගත්තීය.
පඳුර මුල තිත්තයන්. අවදානමකින් තොරව ඇම කමින් ඒ වටා නටමින් සිටියෝය.

************************************************

Monday, July 16, 2012

:: කවියාගේ බිරිඳ කි කව ::

හිමියනි පෙම්බර
පබඳින කවි මනහර
රුචිවෙමිය මමත්
දැකුමට ප්‍රේම ලීලා
නුඹ ලියා ගොතාලන

ඉඩක් ලැබේවිද අදවත්
එකම එක හාදුවකට
සිව් වසකට පෙරමෙන්
හිස මඳක් ඇලකොට
කවි පොතෙන් මෑතට.....!

Saturday, July 14, 2012

::කොන්දේසි::

හරි,
මං ආදරෙයි....!
හැබැයි දෙකක්.

එක.
ගන්න බෑ
කිසිම උපහැරණක්
අපේ ආදරේට...!

දෙක.
කියන්න බෑ
ඉර හඳ තරුවලට
අපි ආදරේ බව...!

පුදුම වදයක්
ඔය කෙහෙල්මල්
.... දාල ගියදාට....!


::නිය - පිට-ගඟ::

මඟුල් උයන. කුරුල්ලෙකුටවත් අවසර නැතිව ඇතුල්වීම තහනම් වූ හෙයින් කිසිදු ප්‍රේමාලිංගනයකින් තොරවම නිද්‍රාවට පත්වෙමින් සිටියේය.
මංගල හස්තිරාජයා. දුරබැහැර ගමනකින් ලද විඩාවෙන්ද, රජුගේ ලෝහමය පා ආවරණ වලින් ලද පීඩාවෙන්ද පෙලනු ලැබ තම හොඬය වඩවඩාත් අකුලා ගනිමින් යලි දිග හරිමින් සහනයක් සෙවීය.
රාජකීය යහන් ගැබ. මංගල හස්තිරාජයා සිටි තැනට මඳක් දකුණින්ද මහල් දෙකක් ඉහලින්ද පිහිටා තිබිණි.
මුරකරුවන් සය දෙනෙක්. රාජකීය යහන් ගැබට කිසිවකු ඇතුල්වනු හා පිටවනු වලකමින් සෙල්මුවා සෙයියාවෙන් නොසෙල්වී සිටියෝය.
ඉරබටු තරුව. පෑල දිග අහසේ මතුව විත් හෝරා දෙකක් ගතවී තිබිණි.
මුරකරුවන් සයදෙනා. එකවනම සලිත වී එකම දිශාවකට ශීර්ෂ නමස්කාරය කලෝය.
රජතුමා. පමණට මදක් වැඩිපුර පානය කල වාජීකරණයෙන් වඩ වඩා නෙරා ආ උදරයද පෙරටුකොටගෙන රාජකීය යහන් ගැබට ඇතුල්වූයේය.

*****************************************************************************
පහන් තරුව. පෙරඹර නැඟ එමින් තිබුණි.
දුක්ගන්නාරාළ. රජුගෙන් ලද හදිසි කැඳවුමින් වික්ෂිප්තව රජතුමාගේ විවේක කුටියේ අසුන් ගෙන සිටියේය.
විවේක කුටියේ දොරටුව. මඳක් මෝඩකමින්ද වඩා උඬගු කමින්ද යුතුව විවර විණි.
රජතුමා. අපිලිවෙල වූ ඇඳුමින්ද ගතපුරා නැඟි දාහයෙන්ද යුතුව දොරටුවෙන් ඇතුල්වූවේය.

“ඔබ කියූ ආකාරයේ අපහසුවක් වුණේ නෑ දුක්ගන්නාරාළ. ඈ කිසිදු විරෝධයක් නැතිව මෙතෙක් වේලා මාහා ගත කලා.
වෙනසකට කියා සිදුවුණේ මාගේ තේජසට බියෙන් දෝ උමතුවෙන් මෙන් නැඟිට ගොස් සියළු පහන් නිවා දැමීම පමණයි.
ආ තව දෙයක්, ඈ එක ඉල්ලීමක් කලා. තම පිටෙහි හරි මැදින් තදින් අල්ලාගන්නා ලෙස. මා හිතන්නේ බියට විය යුතුයි. ඇය මට අත ඉවත් කිරීමට දුන්නේම නැහැ.“

****************************************************************************
දිනකර. සඳෙහිද තරුවලද ප්‍රභාව නැති කරමින් පායා ආවේය.
හිරුරැස්. ගං ඉවුරෙහි වූ තරුණයාගේ මළ සිරුර නහවමින් ගලා ආයේය.
තරුණයාගේ සුරත. අපිලිවෙලට වැඩීගිය නියපොතු වලින් යුත් ඇඟිලි පහකින් යුක්ත විය.
නියපොතු. පෙරදින සැඳෑයාමයේ තමා වැලඳගෙන සිටි පෙම්බරියගේ පිටෙන් ගැලවී ආ අපිචර්මයෙන් ගැවසී වුවද අප්‍රාණිකවම වූයේය.

ගඟ. සයුර බලා ගලා යමින් තිබිණි.


Friday, July 13, 2012

:: පැති පෙනුම ::

කැමරාව. කාලවර්ණ කවරය තුලට වී නිසලව තිබිණි.
කවරය. ඇගේ වම් අතෙහි දබරැඟිල්ලෙහි එතුණු හුයකින් ඇය හා බැඳී තිබිණි.
ඇගේ දකුණත. සිය සැමියාගේ වමතෙහි එතී, ඔහුගේ ඇඟිලි අතර තෙරපෙමින් තිබුණේය.

ඔවුහු උද්‍යානයේ ඈත කෙලවරක් දක්වාම වැඩක් ඇති, වැඩක් නැති බොහෝ දේ දොඩමින් ඇවිද ගියහ. තවත් මඳ දුරක් ගිය ඕ කථාව නැවතුවාය. අත නිදහස් කරගත්තීය. සිය සැමියාගෙන්.

“ අපි ෆොටෝ එකක් ගමු“
“ නැහැ නැහැ දෙන්නගෙම නෙවෙයි. ඔයාගෙ විතරයි“
“ඔයා අතනින් වාඩිවෙන්න“

කැමරාව. කවරයෙන් එලියටද අනතුරුව ඇයගේ දෑතටද ස්ථානගත විය.

“පැත්තට හැරෙන්න“
“ හරි අනේ..! ඉස්සරහට ලස්සන නැතුව නෙවේ! මං කැමතියි පැත්තට හැරිල ඉන්න කොට“
“ඉතින් ඔයා යාළුවොත් එක්ක ගත්ත ෆොටෝ ඇති තරම් තියෙන්නෙ ඉස්සරහ බලාගෙන. ඒ නිසා මං කැමති පැත්ත හැරුණු ෆොටෝ වලට“
“තෑන්ක්ස් අනේ! මං දන්නවනෙ ඔයා මට ආදරේ කියල“
*******************************************************************************
පෞද්ගලික විද්‍යුත් තැපෑල. තරු මඟින් සලකුණු වූ පණිවිඩ පහක් තිබිණි.
ඔහු. ඉන් එකක් තේරීය. මඳක් චකිතයෙන්. වඩා උනන්දුවෙන්.

“ මේ බලන්න ඔයා වගේමයි නේද? දැන්වත් විශ්වාස කරනවද මං ඔයාට කොච්චර ආදරේද කියලා? “



Thursday, July 12, 2012

:: දේශ ද්‍රෝහියා::

සාජන් මහත්තයා. පසෙක වූ වීදුරුවෙන් අරක්කු ටිකක් වැඩිපුර මුවට හලා ගත්තේය. ඉදිරිපස පුටුවේ සිටි තැනැත්තා බිමට වැටෙන සේ පා පහරක් ගැසීය. වම් පාදයෙන්. දකුණු උරහිසට.

උඹල වගේ උන්ට ගහන්න හිත දෙන්නෑ බං බිව්වෙ නැත්තං

රාලහාමි. බිම වැටුණ පුද්ගලයා යලි පුටුවේ ඉන්දවීය. අතකින් ඇද. අනතුරුව කිහිලි දෙකෙන් වාරුකොට.

උඹ තනියෙන් ඔක කලා වෙන්න බෑ. කියපන් කවුද උඹට ඔය වැඩේ කරන්න උපදෙස් දුන්නෙ..?“
අනේ රාලහාමි ආයෙ කවුරුත් උපදෙස් දෙන්න දෙයක් තිබ්බෙ නෑ..!

සාජන් මහත්තයා. හින්දි චිත්‍රපටයක සේ පැන සැකකරු ඩැහැගත්තේය. හරියටම බෙල්ලෙන්.

ක..වු..රු..ත් උපදෙස් දුන්නෙ නෑ..! එතකොට තනියෙන්මද වැඩේ කෙරුවෙ..?“

කැස්ස. අනපේක්ෂිත ලෙස උගුර සිරවීම හේතුවෙන් සැකකරු කැස්සේය. මඳක් ග්‍රහණය ලිහිල් වූ පසු හුස්මක් ගත්තේය. තදින්. අනතුරුව තවත් හුස්මක් ගත්තේය. මඳක් සෙමෙන්.

නෑ. මද්දුම කොල්ලත් හිටිය..
හෑ...! මද්දුම කොල්ල..! දැන් කෝ ඌ....?“
විස්ස විද්‍යාලෙ....!
වි...ස්...ස විද්‍යාලෙ....! කීවෙනි අවුරුද්දෙද?“
දැන් අවුරුදු හයක් විතර....
අවුරුදු හයක්....! ඌ ඒකෙ පොල් ගානවද මෙච්චර කල්..?“
නෑ. පිට්ටනියෙ තණකොල කපනවා....!

සිනහව. සාජන් මහත්තයාට ආ සිනහව ගලනාලය මැදදී නතර වීය. අනතුරුව දියවී ගියේය.

මොන මඟුලට හරි ඌ විශ්ව විද්‍යාලෙනෙ! ඒක නිසා ඌත් මේ කුමන්ත්‍රණේට  හවුල් ඇති?“

සැකකරු. යලිත් වරක් කැස්සේය. මඳක් විමතියෙන් නෙත් ඔසවා බැලීය. අවිශ්වාසයෙන් පපුව අතගෑවේය.
බයාදු ලෙස හඬ අවදි කලේය.

මොන කුමන්ත්‍රණේද රාලහාමි මහත්තයෝ....?“

ගෙල. සාජන් මහත්තයා ගෙල හරවා සැකකරු දෙස බැලීය. නැගී එන කෝපයෙන්. අනතුරුව හඬ අවදි කලේය.
 
දන්නෙම නෑ....! තමුසෙල රට කෑලි කරන්න, කෑලි වලට බෙදන්න උත්සාහ කෙරුව බවට ඇහින්දුටු සාක්කි තියෙනවා.....! 

“ අනේ සාජන් මහත්තයො...? මායි කොල්ලයි ඊයෙ දවසම හිටියෙ කුඹුරෙ..! ලියදි කෑල්ලක් දෙකට බෙදුවම රට කෑලි වෙනව කියල අපි නිකමටවත් හිතුවෙ නෑ ඇත්තමයි...!





Wednesday, July 11, 2012

:: විසාකා විලාස::

බලන්න තිබුණා අහන බැනුම් ටික
අද උන්නා නම් විසාකා තෙම
අඟර පාමින් ඇවිදින්ට ගොස්
තෙතබරියම්ව මහ සෙනග මැඳ


  

::වැහි උණ්ඩ::

වැස්ස. තරමක් තදින් වැටෙමින් තිබිණි. අංශක තිස් තුන හමාරක් ඇලයට.
මිලි මීටර් දෙකත් තුනත් අතර අරයෙන්.

ඇය. ලයෙහි තුවාලයක් සහිතව. පොලවට අඩි තිස් හයක් පමණ ඉහලින්. මගේ ප්‍රේමාලාපයන් අසමින්. මා ඇකයමත මියයමින් හුන්නාය.
********************************************************

සියල්ල ඇරඹුනේ ඇය සඳළුතලය වෙත නික්ම ගිය පසුය.
නැත. සඳළුතලයෙහි වූ සියල්ල ඇරඹුණේ ඇය ඒ වෙත ගිය පසුය.

පාද. මම මගේ අඩි ශබ්දය ඇයට හැඟෙන තරම් තදින් පාද තබමින් ඈ පසුපස ගියෙමි.

ඇය. කන් දුන්නාය. මඳක් සලිතව නිසලව ගියාය.

මම. ඇය කෙලින් පසු පසින් සිට ගතිමි.

“ මං හිතුවෙ සෙනඟ නිසා කම්මැලි වෙන්නෙ මං විතරයි කියලා“
ඇය කඳුවැටිය දෙසම බලාගෙන දෙඩීය.

“ මං ආවෙ කම්මැලිකමට නෙවෙයි“
“එහෙනං?“
“ඔයා නිසා!“
“මගෙ මොකක් නිසාද?“
“ ඇඳුම නිසාවත්, හැඩ ඇඟ නිසාවත්, පුංචි තොල් නිසාවත්, දිග බෙල්ල නිසාවත් නෙවෙයි!“
“එහෙනං?“
“ඔයාගෙ ඇස් නිසා, ඇස් වල තියෙන දේ නිසා“

ඇය මදෙසට හැරුණාය. ඇගේ දෙනෙත්. කොල පැහැයෙන් දැල්වී නිවී ගියෝය.

“මගේ ඇස් වල මොනවද තියෙන්නෙ?“

වචන. මා මුවින් පිට නොකලෙමි. ඒ ඇවිලී නිවී යන කොල පැහැ දීප්තිය දෙසම ආශක්තව බලා සිටියෙමි.

පහ. ඇගේ දෙනෙත් පස්වරක් දැල්වුණු තැන අප එකිනෙකා සිප ගනිමින් සිටියෙමු.
එකිනෙකාට තදව. වැසි බින්දුවකටවත් ඉඩ නොදී.

මම. ඇයට පෙම්කරන බව කනට කෙදිරීමි. දකුණු අත නිදහස් කොට ගතිමි.
ඇගේ කොපුලත වැහි බින්දුවක් ලවනතින් උරාගතිමි.
වම්පස ඉණෙහි වූ පිස්තෝලය ගතිමි. නිදහස් වූ දකුණතින්.
ඇගේ වම් පියොවුර ස්නේහයෙන් පිරි මැදීමි. ඇය වැලඳගත් වම් අතින්.
පිස්තෝලය තැබීමි. වම් අතට යටින්.

වැසි බින්දුවක්. ඇගේ කොපුලෙන් පෙරීවිත් මගේ දකුණත දිගේ ගලාගියේය.

සයිලන්සරය. පිස්තෝලයට හඬක් නැඟීමට ඉඩක් නොතැබීය.

/////ආශ්‍රය: SinCity : The customer is always right////



..................................................................................................................................


Tuesday, July 3, 2012

:: මල් සහ තේ ::


චතුරංග. සිය සිරුරේ වූ සියළු අංග අතුරින් දකුණතෙහි මුදුගිල්ල හා උරණව සිටියේය.

සියල්ල සත්‍යයය.
මෝස්තරය. තමා එකඟ වූවකි.
ප්‍රමාණය. දෙවරක්ම මැන්නායින් පසුව හෝ තමාට ගැලපෙන්නට සැකසූවකි.
මුලින්ම අත්තිකාරම්ද පසුව මුළු මුදලද ගෙවූයේ තමන්මය.

එහෙයින් මුද්ද හා උරණ වී පලක් නැත. උරණ විය යුත්තේ ඇඟිල්ල සමඟය.
ඇඟිල්ල. නොතිබුණා නම් අද මුද්ද පැලඳීමට සිදු නොවන්නනේය.

**********************************************
අටපෙතියා මල. රතු සහ කළු පැහැයෙන් සැරසී බස් නැවතුමෙහි සිටියාය.
නොඉවසිල්ලෙන්. තනිවම දොඩවමින්. බිම් බලාගෙන. වටපිට ඇහැ යවමින්.

කළු. ඇගේ වත කළු නොවිය යුතුය.
චතුරංග. වහා මුද්ද ඇඟිල්ලෙන් ගැලවීය. වම්පස සාක්කුව හිල් නොවී ඇති බව ඇඟිලිවලින් ඇන පසක් කරගත්තේය. ගැලවූ මුද්ද එහි ලූයේය. මුද්ද නැති දකුණත ඇයට පෑවේය.

අටපෙතියා මල. මඳ ගැස්මක් සමඟ ඔහු පෑ අතෙහි එල්ලුණාය.

අනතුරුව.
ඔවුහු දවස මුලුල්ලේ විශ්වය පුරා පාවෙමින් සිටියෝය.
වරෙක ඇන්ඩ්‍රොමීඩාවට ගියහ. ඔරායන්ගේ බඳ පටියේ එල්ලී සීසෝ පැද්දෝය. දිවා ආහාරය රන්මසු උයනෙහි හිඳ වැලඳූහ. හරියටම සවස පහට බස් රියක අසුන් ගත්තෝය.

චතුරංග.
වමතින් සිය සාක්කුවෙහි වූ මුද්ද ගත්තේය. දකුණත ඇගෙන් මුදා ගත්තේය. මුද්ද ඇගේ දකුණතෙහි ගුලි කලේය. තමා උරණව සිටි ඇඟිල්ල ඈ වෙත දිගු කලේය.

“දාන්න...!“

***********************************************
“ කෝ...! ඔය මුද්ද ගලවලා දෙන්න....!“
තේ කෝප්පය. ස්නානය අහවරව ආ චතුරංග වෙත සිය අත පෑවාය.

“ කමක් නෑ..! ඒක ඔහේ ඇඟිල්ලෙම තිබිච්චදෙන්...! ගලවන්නයි දාන්නයි ගියාම වදේ...!“

|| උත්තේජනය: “ඇගෙ සිනහව තහනම්“ - Kanchana Karunamuni ||

Saturday, June 30, 2012

:: මාලය ::

“සමාජ ප්‍රගමනය උදෙසා කාන්තාවගේ මැදිහත්වීම“.
පිරිමි දහසය දෙනෙක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගිවූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.

වැස්ස. කොළඹ වූ සියළු නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.

අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි වූ හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.

“ ආ.....!“

මේසය මත තිබූ මාලය ගත් ඇ මා වෙත පෑවාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.

“මොකටද....?“
“ අරන් යන්න ...!“
“කොහාටද....?“
“යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.“
“කවද්ද...?“
“ඊලඟ දවසෙ....!“

***********************************************
ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට පසුව එළඹුණි.
මාලය. මම යලි ඇය වෙත පෑවෙමි.

ඇය. වහා පැන මාලය ගත්තාය. ආදරයෙන්. ආශාවෙන්. උනන්දුවෙන්.

“දැන් මට පුළුවනි මෙයාගෙන් අහගන්න ඔයා මං නැති අතරෙ මොකද කලේ කියල.....!“

Monday, June 25, 2012

:: පී ::

“හරි, ඔයා කැමතිම අකුර ඇඟිල්ලෙන් මෙතන ලියන්න. මට කියවන්න පුළුවන් වුණොත් මං දිනුම්“
සිය පිටෙහි වූ දූපත් හැඩැති ලපයක් චන්දරේ වෙත පාමින් මොනර කිරිල්ල කීවාය.

කැමති. අකමැති. අකුරු. ඇඟිලි.

චන්දරේට අකුරක් සිහි නොවිනි. ඒ වෙනුවට ඔහු ඈ පෑ ලපයේ දාර දිගේ දබරැඟිල්ල දිවවූවා පමණි.

“මොකක්ද අනේ...?“
“හරි, අද හවස කියන්නම්...!“
කමිසය. සිය වතෙහි දවටාගත් චන්දරේ වහා දිවවිත් බසයට නැංගේය. අසුනකට බර වුණේය. දකින දකින අකුරු අතරින් තමා කැමති අකුර සොයමින් ගෙල කරකවමින් ගමනාන්තය කරා ඇදුණේය.

**********************************************
හවස. වැහි වලාකුළු නිසා අහස අඳුරුවම තිබිණි.
මොනර කිරිල්ල. දෙදරුමකින් පමණක් ඇමතුමක් එන බවට සංඥා කෙරුණු දුරකථනය අතට ගත්තාය. වටපිට බැලුවාය. බොත්තමක් එබුවාය. මුව හා කණ අතර සරල රේඛාවක් සෑදෙන පරිදි දුරකථනය තබා ගත්තාය. සවන් දුන්නාය.

“ මං කැමති ‘පී‘ අකුරට...!“
“ ඇයි අනේ...! සිංහල අකුරක් නැද්ද?“
“ම්හු...! හිතට ආවෙ නෑ“

“ හරි....! ඇයි ඔයා ‘පී‘ අකුරට කැමති වුණේ ?“
“ඔයා කියන්න“

“ඉතිං මගෙ නමේවත් ‘පී‘ අකුර නෑනෙ ?“
“ඒක නිසා නෙවෙයි!“

“ ආ! හරි. ඔයා මාව ආරක්ෂාකරනව කියන්න නේද? “
“ඒ කොහොමද?“
“ඇයි ‘ප්‍රොටෙක්ෂන්‘ කියන්න?“
“ඒකටත් නෙවෙයි....!“

“මොකක්ද අනේ...! මං දන්නෙ නෑ. මං තරහයි...“

“ මේකයි, ‘පී‘ අකුරෙ රවුම තියෙන්නෙ ?“
“ඔවු...!?“
“ඒ රවුමට අතදාල අල්ලගත්තම.....“
“මොන විකාරයක්ද? .... ඉතිං...?“

“ඉස්සරහට එන ඉරි කෑල්ල තියෙන්නෙ..?“
“හ්ම්....ඔවු....?“

“මට ඒකෙන් ඇතිතරම් ඔයාව කිති කවන්න පුළුවන්..!“

Thursday, February 16, 2012

::රතු සියල්ල රෝස නොවෙන සඳ::

රොබරෝසියා මල් පිපේ තවමත්
වියැකි නැත තව සියොත් නද වුව
දොලේ දිය පෙම්කෙළී එලෙසම
වළාකුල් වුව කළු පැහැම නැත

සාද සිනහා නැසී ගොස් නැත
හයට අටටම වැයේ මියැසිද
නමුත් මා සිත අවසඟය මට
ගොතා නිම නැත කිසි කවක්

ලියන්නට සිත සිතන සැම විට
මැවේ රත්පැහැ සිත්තමක්
නොවේ ඒ රතු රෝස පොකුරක්
උණ්ඩයක් හිල් කල හිසක්.