Wednesday, December 28, 2016

:: අළුත් නැන්දා ::

අළුත් නැන්දා හරිම දස්සයි
පිඟානම බත් කවනවා
එයා ඇඳුමක් ගන්න ගානට
මටත් ගවුමක් ලැබෙනවා

තාත්තට  දැං රෑට වැඩ නෑ
කලින් ගෙදරට ඇදෙනවා
හරිම පුදුමයි පරණ සුදු කෙස්
එක සැරේ කළු ගැහෙනවා

වගේ වග නෑ අපේ නංගිට
නැන්දා තුරුලේ දැපෙනවා
ඒත් අම්මේ රෑට මට නම්
හුඟක් හීතල දැනෙනවා

රාක්කෙට වැඩිවුණ පොටෝවක්
මගේ කාමරෙ තියෙනවා
අනේ අම්මේ රෑට හීනෙන්
නුඹෙ රූපෙ පණ ගන්නවා



Tuesday, December 13, 2016

:: රැළි සහ ටියුලිප් ::

" ඔයාව මීට කලින් කවුරුත් ම මෙහෙම ඉඹලා නැද්ද ? "
ඔහු. මුද්ද ලූ ඇඟිල්ල ද ඇතුල්ව අනෙක් ඇඟිලි හතරම වමතේ ඇඟිලි හා පටලමින් තැනූ මන්දට ඈ සිර කරකර ගනිමින් ඇසී ය.


ඇය. සිනාසුනාය. නෙත් පියා ගනිමින්.  සිය ලවන් ඔහු නළල මත ඇතිරුවා ය. සිය වටොරෙහි බර ඔහු දෑත් මත පටවමින්.
"ඉඹලා තියෙනවා "

මුද්ද. අනෙක් අතෙහි මැඳගිල්ලත් වෙදැගිල්ලත් අතර තදින් තෙරපුණෙේ ය. ස්වරතන්තු වලට සංඥා යවමින්.

" මං කිව්වෙ පුංචි කාලෙ නෙවෙයි "

වටොර. මන්ද අතරින් ලිස්සා ගියේ ය.
දෙපා. පොළොවෙහි ගැටුණේ ය. අනතුරුව ඇඳ වෙත මෙහෙය වුණේ ය.


" පුංචි කාලෙ නෙවෙයි තමයි "
සැප මෙට්ටය.  එබී ගියේ ය.
ඇය.  ඒ  මත කෙලිදෙලෙන් ස්ථානගත වූයේ ය. වදන් හා අනුනාද වෙමින්.

"ඔයා මට කලින් ඔහොම කියලා නැහැනෙ"
ඔහු.  වීදුරුවෙහි වූ අයිස් කැටයකට ප්‍රශ්නය යොමු කලේ ය.

" එතකොට අපි බැඳලා නැහැනෙ"
ඇය. කොට්ට දෙක අතර දාරයට පිළිවදන් දුන්නා ය. ඒ මත පෙරළී යමින්.

අයිස්. උඩු තල්ලත් දිවත් අතර සිරවි නතර වුණේ ය. ද්‍රවමය සංයෝගය  උගුරෙන් පහලට යවමින්.
වීදුරුව. යලි ටීපෝව මත තැබුණේ ය. අළුත් වතුර රවුමක් අඳිමින්.
ඇඳ. සසල වී නිසල විය. ඔහුගේ  බර දරමින්.
වදන්. අනායාසයෙන් පිටව ආයේ ය. ආයාසයෙන් එක්කල නොසැලකිල්ලකුත් කෙළිලොල් බවකුත් සමඟම.
" කවුද ඒ කියල කියන්න කැමති ද? "

" හොල්මනක්"

සිනාව. පුපුරා හැලුණේ ය. ඇය තුෂ්නිම්භූතව බලා සිටිද්දී.
ඔහු.  ඇයව තමා වෙත ඇදගත්තේ ය. සිනා සෙමින්ම.

ඇය. ඇදී යාමට ඉඩ  හැරියා ය. ඒ අතර දෙඩුවා ය.

" බොරු නෙවෙයි. ඔෆිස් එකේදි. අල්මාරියක් ලඟදි. "

" දවල් ද ? "

" නෑ. හවස ! හත හමාරට විතර"

සුසුම්. ඔවුහු ආශ්වාස ප්‍රාශ්වාසයන් දැනෙන තරම් ලංවී සිටියෝ ය.
හඬ. රාගනිශ්‍රිත ව බිඳෙමින් තිබිණි.

" ඉතිං. හොල්මන ලොකු ද ? "

" ලොකුයි කියන්නෙ. ඔයා ... .. .. ..."
වාතය.  ස්වරතන්තු හරහා ගලායාම වැළකී ගියේ ය. පිටාර මුවවිට එකවරම වැසී ගිය හෙයින්.
ඇය. අනපේක්ෂිත චුම්බනය පිලිගත්තා ය. නෙත් විසල් කර ගනිමින්.

එතැන් සිට. තාරුණ්‍යය ද අවස්ථාව ද  සීතල ද මධ්‍යසාර ද හෝමෝන ද බොහෝ දේ කලෝ ය. ඇතිරිල්ලෙහි රැළි සැදීම ද ඇතුලත්ව.

රැළි. එකසිය හැත්තෑ හයක් තැනෙද්දී ඔහු බිමට බැස්සේ ය. ඇඳෙන්.
ඇවිද ගෙන ගියේ ය. සිය ඇඳුම් බෑගය වෙත.

ටියුලිප් යායක්. ඇඳ මත විකසිතව තිබුණේ ය. වායු සමනයේ සිහිල විඳිමින්.

ඔහු. ආපසු හැරී ආවේ ය. බෑගයෙන් යමක් ගෙන. ආයාසයෙන් හිනාවක් නඟා ගෙන.
ඇය ඔහු හා තමා අතර අවකාශය පුරා ප්‍රශ්නාර්ථයක් පතුරුවා හරිමින් බැලුම් හෙළුවාය.

" අම්මලගෙ මනස්ගාත.!! ඔයාව සැක කරල නෙවෙයි. !!! " ඔහු මෝඩ ස්වරයෙන් ඇගේ බැල්ම මඟ හැරියේ ය.
ටියුලිප්. හැකිළී පර වී ගියේ ය.

සුදු රෙද්ද. ඇතිරිල්ල මත රැළි දිගහරිමින් සිටියේ ය.
ඇය. තවතවත් ඇඳ විට්ටම දෙසට ගුලි වෙමින් සිටියා ය.

සුරත. ඔහු තම සුරත ඇගේ වමත මත තැබී ය.
" ලයිට් නිවන්න! "

විශ්මය. ඔහු යමක් කියන්නට තැතනී ය.
" ලයිට් නිවන්න! "

විදුලි බුබුලු. නිවී ගියේ ය.
ඔහු.  ටියුලිප් යායක් සොයා සටන් වැද වද මලක් මත ජයපැන් වැගිරී ය.
ඇය. සින්ඩරැල්ලා කථාවේ රෑ දොළහ වදිද්දී ම නින්දට වැටුණා ය. කුමාරයා තනිව නටා අවසන් වූ පසු.


*
*
*
*
*
*

අවදි වූවා ය. විනාඩි දෙසිය අනූවකට පසු.

විදුලි බුබුලු. දැල්වී තිබිණි.
ඔහු. මිලින වී සිටියේ ය. නිදි වර්ජිත ව. හිඳගත්වන ම.

"ඇයි ?"  ඇය නිදිගැට අතරින් ඇසුවා ය. ඔහුගේ පිටෙන්.
" ඔයාට තිබුණ මට කලින්ම ඕක කියන්න " ඔහු  ඇය දෙසට හැරෙමින් කීවේ ය. සම්පූර්ණයෙන්ම. අංශක එකසිය අසූවක්.






"කියන්න තමයි හිටියෙ !!"
"ඉතිං?"
"ඔයා මං කියන ඒව විශ්වාස කරන්නෙ නෑනෙ!! මට ඉවර වෙනකල් කියන්න දෙන්නෙත් නෑනෙ !! "
" හරි! මං අහගෙන ඉන්නම්. දැන්වත් කියනවා කවුද මේක කලේ ?? "


කොට්ටයක්. ඇය හා ඇඳ විට්ටම අතරට ආවේ ය. ඇය. හිස වෙනුවට පිට කොට්ටයට තෙරපා ගත්තා ය. නළලෙන් පටන් ගෙන පිටුපසට හිස ඇඟිලි ගෑවා ය.


"  පුංචි කාලෙම කූඹි කෑවා...!!! කළු කූඹි .......!!!"

සුදු රෙද්ද. ඇගේ විලුඹ අසලින් අවසන් වන්නට එලී තිබිණි. නොඉඳුල් ව.
රැළි. සුදු රෙද්ද මත වූයේ ඉතා අඩුවෙනි.

Tuesday, December 6, 2016

:: පැන්සල් හා බර ::

කැඩෙන තරමට උල්වුණාම යි
පැන්සලක් ඇනෙන්නේ ගැඹුර ට
පෙනෙන මානෙට ලංවුනාම යි
සැර දැනෙන්නේ වා කපොල්ල ක

හිස් වෙන්න මොහොතකට පෙරදි යි
බෝ වටින්නේ බඳුන් ලූ මධු
ශුන්‍යයට ඩිංගක් මෙහායින්
පිහිටුවා ඇත බර වැඩිම තැන

Saturday, December 3, 2016

Love and Revolution

පැතුම් දරමින් මියෙන හීනෙක
දෙනෙත් බෝ විට අසරණ යි
සහෝදර නෙත් හිසවැනූයෙන්
තැලී මිලින වු මල් බොහොයි


තව්තිසාවෙත්  වෙනස් නැතිව ම
පිනෙන් අඩු දෙවිවරු වෙසෙයි 
මහේසක් දෙවිවරුන් පමණක්
අරුත් දම් දෙක අර්ථ දෙයි 

බොහෝ බලි බිලි අත්වැර දි මිස
ප්‍රශ්න නැඟුමට කැප නොවෙයි
ප්‍රේමය ම පමණක් නොවේ සකි
විප්ලවය වුව චපල වෙයි. ....