Thursday, November 12, 2015

:: නම් නැති 08 ::

සිවුරු පොරවා අහසට
වළාවන් දුම් පැහැ කොට
බැසගොසිනි දිනකර
සිව් දෙසින් එකවර

Saturday, October 10, 2015

:: සබන් කොල ::

රාත්‍රිය. පැය දෙක හමාරකට පෙර ගෙවීගොස් තිබිණි.
දෙපා. තටු සහසක් ආවද පැන යා නොහෙන සේ කොට්ටයක් තෙරපාගෙන සිටියෝය. උඩින් හා යටින්.

ඇය. වළාකුලකින් බැසවිත් ඇහැරුණාය. කොහු හා රබර් මිශ්‍රිත මෙට්ටයක් මත.
කම්මැලිව පෙරලුනාය. බිත්ති ඔරලෝසුවෙහි වේලාව දැක්කාය. ඇඳෙන් පැන්නාය. මඳක් තෙත වූ තුවාය ගත්තාය. විවර ලැම වටා ඔතා ගත්තාය. කලිසම කකුල් වලින් පන්නා දැමුවාය. කොමුපිලිද සමඟම. එකකින් පාගා අනෙකද, අනෙකින් පාගා එකක්ද ලෙස.

සබන්. කුඩා නාන කාමරයෙහි තිබුණේ නැත.
එලියෙහි. කාමරය තුල. කුඩා සබන් කැටයක් තිබිණි. දවටනය ගලවා යලි එතූ.
දවටනය මත. නිල් ඉලක්කම් දහයක් සටහන්ව තිබිණි.

ඇය. නාන කාමරයෙන් එලියට ආවා ය. නොනා ම.
සබන් කැටය ගත්තා ය. කොලය ලිහාගත්තා ය. සීරුවෙන්.

ප්‍රශ්න.  ඔහු විසින් නාසන ලද්දේ ය. ඒ ඇසුවේද ඇයම ය.
පිලිතුරු. ඔහු මුවින් නොදුන්නේ ය. ඒ වෙනුවට ඇගේ නෙතු එල්ලේ බලා සිටියේ ය. සුදු නරියෙකු ව. ඇස් තදින් විවර කර.
ඇය. මඳක් විපිලිසරව සිටියා ය. නරි දෙනක වන්නට පටන් ගත්තා ය. මුලින් අළු පැහැව. පසුව සුදු වෙමින්. සෙමෙන්. සෙනෙහෙන්.

කිරි සයුර. ඔවුන් විසින් කැළඹෙමින් තිබිණි. ඒක තානයකින්. විටෙක තදින්. යලි සෙමෙන්.
ඒ අතර. ඔවුහු නොකඩවා  රූපාන්තරය වූවෝ ය. අමෘතය සොයමින්. සාවුන්. මුවන්. ගෝනුන්. ගැරඬින්. කොකුන්. පැස්බරුන් වෙමින්.

වෙළඹ. සුරත පා යමක් සෙව්වා ය. දෙපා අතරින්.
අශ්ව දෙනෙතක්. ඇයි දැයි ඇසී ය. ඇගේ වුවනට ඉහලින් එබෙමින්.
ඇය. හිස දෙපසට වැනුවා ය. දෙනෙත් පියමින්.


රබර්. තම මෙහෙය කරමින් සිටියේ ය. අනතුරකට පත් නොවී. වෛරස් ද, බැක්ටීරියා ද, දිලීර මෙන්ම ප්‍රෝටීන ද  වලකමින්.

මකුළු දෙන. මකුළුවා තමා වෙතට ඇද ගත්තා ය. තද කරගත්තා ය. නොකෑවේ ය. සිරුර තුල දියව යෑමට ඉඩ හැරියා ය.

සුදු නරියා. මිනිසෙකු වෙමින් සිටියේ ය. එහෙමම වැතුරුණේ ය. ඇගේ වම් පසින්. සුරත වමතේ පටලාගෙන. ලා නිල්පාට විදුලි සඳට යටින්.
නැඟිට්ටේ ය. ඇවිද ගියේ ය. මුලින් කුණු කූඩය වෙත. අනතුරුව ජල කරාමය වෙත.
යලි ආවේ ය. ඇය දෝතින් උස්සා ගත්තේ ය. යලි කරාමය වෙත.

තුවාය. තෙත්ව ගියේ ය. රඳවනය මතට විසිකෙරුණේ ය.
රාත්‍රිය. තවමත් ඉතිරිව තිබිණි.

ඔහු. කුඩා සබන් කැටය ගත්තේ ය. වටා තිබූ තුනී කොලය ගැලවීය. මේසය ලඟට ගියේ ය. කොලයෙහි යමක් ලිවීය. මුල් වරට කථා කලේ ය.

" ඔයාට ඕනෙ නම් තියාගන්න පුළුවන්. නැත්නම් වතුරට දාන්නත් පුළුවන්. ලේසියෙන් දියවෙනවා."

සබන් කොලය. යලි සබන් කෑල්ලෙහි එතිණි.
ඔහුගේ සුරත. ඇගේ වමතතෙහි එතිණි.

" යන්නෙ නැත් ද?"
" ඔයාට නින්ද ගියා ම"

ඇය. මඳක් පසුබා ගියා ය. කැමැත්තෙන්. බියෙන්.

" නින්ද ගියාම මොකුත් නැතුව මොකුත් කරන්න එහෙම එපා"
ඔහු. නැඟිට්ටේ ය. ඇඳුම් රඳවනය වෙත ගියේ ය. ආපසු ආවේ ය. 
පවුරක් ඇන්දී ය. මියුළු නුවර වටකොට.
ඈ. සිනාසුණා ය. ඇඳෙහි වැතිරුණා ය. නිදාගත්තා ය.

සබන් කොලය. ඇගේ අතෙහි තිබිණි. ඒ සිනාවම සමඟ.
ඇය. නැඟිට්ටාය. සබන් කොලය අතැතිව. මඳ විරාමයක් ගත්තා ය. නාන කාමරය වෙත ගියා ය. කරාමය ඇරියා ය.
සබන් කොලය. වතුරෙහි දියවී ගියේ ය.


දුරකථනයක්. මේසය මත තිබිණි. ඊට මඳක් මෙහායින්. ඉලක්කම් දහයක් සුරකිමින්.


Tuesday, September 8, 2015

:: නම් නැති 07::

මතකයිද ඉස්සර
ආදරේද මොනතරම්
තේකක් උනත්
හදනවා රසට මනරම්

අමතකද දැන් දැන්
ඉවසුවද මොනතරම්
දත් ඇලෙන කහටත්
නිතර බිව්වා රසකරන්

Sunday, September 6, 2015

:: නම් නැති 06 ::

තරු තාරපතීන් කොතෙක් සිටියත්
දිනකරුන් විශ්වය පුරා දිලුනත්
කැරපොත්තෙකුට වුවත්
තිබෙනවා උගෙම ගමනක්.....!!!

Sunday, August 30, 2015

:: නම් නැති 05 ::

හුළඟකට හැකියි
ගැබ් කරවන්න යායක්
හීනෙකට හැකියි
මත් කරවන්න දවසක්

Monday, June 22, 2015

ඉ - සාහිත්‍යය

සාහිත්‍යය. බොහෝ නිර්වචනයන් ඇති වදනක් වුවද, ඇසූ සැනින් සිතෙහි මැවෙන්නේ ලිවීමකි. නවකථා කෙටි කථා සඳැස් නිසඳැස් වැනි වර්ගීකරණයන්ට යටත් වුවද සාහිත්‍යය යනු පොදුවේ ගත්කල ලිවීමක් වන්නේය. ලියන්නා හා කියවන්නා අතර ගණුදෙනුවක් වන්නේ ය.

ඊ-සාහිත්‍යය. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුලදී ලෝකය පුරාත් එහි අවසාන අඩ තුලදී ලංකාවේත් බෙහෙවින් ප්‍රචලිතව ආ අංකිත ලිවීම් වලම දිගුවකි. ඊ-සාහිත්‍යය යන්න විසි එක්වන ශතවර්ෂයේ ප්‍රචලිතව ගිය ද එහි ඉතිහාසය 1952 තරම් ඈත අතීතයක් දක්වා දිව යයි. ඒ එතෙක් ගණිතකර්ම හා තාර්කික ගැටළු විසඳමින් සිටි පරිගණකය ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තකට යොමුකල මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් ස්ට්‍රැචි (Christopher Strachey) නිසාවෙනි. ඔහු විසින් හඳුන්වා දුන් පෙම් ලිපි ලිවීමේ ඇල්ගොරිතමය, සාහිත්‍යමය අන්තර්ගතයක් සඳහා පරිගණකයක් ආශ්‍රයෙන් කෙරුණු මුල්ම යෙදවීම ලෙස සැලකේ.

ඉන්පසු. හැටේ දශකයේ අගභාගයේදී වදන් සැකසුම් මෘදුකාංග හඳුන්වාදීමත් සමඟ එතෙක් කල් පෑනකින් හෝ යතුරු ලියනයකින් කඩදාසියක ලියවුණ දෑ යතුරු පුවරුවක් හරහා ලියන්නට හැකියාව ලැබිණි. නමුත් අසූව දශකය වනතුරුම, අන්තර්ජාලය පැතිර ගොස් ලෝක ව්‍යාප්තජාලය (World Wide Web) බිහිවනතුරුම වදන්සැකසුම් මෘදුකාංග හා පරිගණක ඉටුකලේ ඉලෙක්ට්‍රොනික යතුරු පුවරුවක කාර්යය පමණි. ලියැවුණ දෑ ගබඩා කර තබා ගැනීමට, මුද්‍රණ පිටපත් ලබා ගැනීමට වැනි මූලික අවශ්‍යතාවයන් ඉටු කිරීම පමණි.

වර්තමානයේ. අන්තර්ජාලයේ පැතිරීම, ග්‍රාෆික මෘදුකාංග, ජංගම පරිගණක උපාංග, ඊ-තීන්ත වැනි අංකිත කියවීමක්ම අරමුණු කොටගත් තාක්ෂණික දියුණු කිරීම් ආදිය නිසා ලිවීම, සංස්කරණය, පිටු සැකසීම, ප්‍රකාශනය හා බෙදාහැරීම වැනි සියළු ක්‍රියාකාරකම් එහෙම පිටින්ම අංකිත අවකාශයක සිදුවන්නක් බවට පත්වී ඇත. කඩදාසි හා ලියවුණ සාහිත්‍යය ඊට හිමි කෞතුකමය හා අතීතකාමී වටිනාකම් මෙන්ම තාක්ෂණික බෙදීයෑමේ විෂමතාද නිසාවෙන් තවමත් යෙහෙන් වැජඹුණ ද, මේ සියළු දේවලින් සන්නද්ධවෙමින් පවතින වයර් දිගේ යන අකුරු සාම්ප්‍රදායික මුද්‍රණ කර්මාන්තයේ පදනමට පහර දෙමින් සිටී.

අර්ථ දැක්වීම. ඊ-සාහිත්‍යය යන්නට අර්ථ සැපයීම සාහිත්‍යය යන වදනට අර්ථ සැපයීමටත් වඩා අසීරු වන්නේ ය. එය අදාල කරගන්නා විෂය පථය ඉතා පුළුල්වීම හේතුවෙනි. ඒ නිසාම මේ ලියවිල්ල දිගටම කරගෙන යෑමේ පහසුව තකා, 'ඉලෙක්ට්‍රොනික සාහිත්‍යය සංවිධානය - Electronic Literature Organization' (https://eliterature.org/what-is-e-lit/) විසින් දක්වා ඇති අර්ථ දැක්වීම යොදාගැනීම වඩා උචිතයැයි සිතමි.
ඒ අනුව ඊ-සාහිත්‍යය යනු, "ජාලගතකල හෝ තනිව පවත්නා පරිගණකයක ශක්‍යතාවයන් හා අන්තර්ගතයන්හි අනුග්‍රහය ලබන්නා වූ සාහිත්‍යයම ය ක්‍රියාකාරකම් " වන්නේය. වඩා සරල කොට කියන්නේ නම්, යතුරු පුවරුවෙන් පරිගණකයකට ඇතුල් කොට, සකසා සුරැකිව තබාගෙන හෝ ජාලයක් තුල බෙදාගෙන ඇති සාහිත්‍යමය ක්‍රියාකාරකම්, බලොග් ලිපි, සමාජජාල අඩවි වල  තැබෙන සටහන් හා ප්‍රතිසටහන්, ඊමේල් හෝ කෙටි පණිවිඩ ආකාරයෙන් හුවමාරු කෙරෙන නවකථා කෙටි කථා කවි ආදියෙහි ගොනු, ඒවා පිලිබඳව හුවමාරුවන අදහස් වැනි දෑ  ඊ සාහිත්‍යයෙහි අංගයන් වන්නේ ය.

බලපෑම. පැහැදිලිවම ඊ-සාහිත්‍යය විසින් මේතාක් කල් මුදල් හා පුද්ගල සාධක මඟින් තනා තිබූ බාධකයන් බිඳදමා ඇත්තේ ය. ඔබට රුචි දෙයක් ලියන්නට, එය පාඨකයන් වෙත ගෙන යෑමට, ඔවුන් හා අදහස් හුවමාරු කරගැනීමට, දැන් ඉතා පහසුය. තීන්ත හෝ කඩදාසි වියදමක් නැත. පොත් මිටි ඔසවාගෙන කඩවල් ගානේ යායුතු නැත. කිසවකුගේ සහතික වලට හෝ වාරණ වලට යටත් විය යුතු නැත. පැහැදිලිවම ඔබේ ලියමනේ පාලකයා ඔබම ය. නිසි බලධරයා ඔබම ය. එහෙයින්ම. ඊ-සාහිත්‍යය මඟින් ලේඛකයා හට අසීමිත නිදහසක් ලබා දෙන්නේ ඒ හා සමාන වගකීමක් ද ඔහුගේ උර මත තබමිනි. ඔබ ලියන දෙයට ඔබ වගකිව යුතු ය. බොහෝ දෙනෙකු සැහැල්ලුවෙන් මඟහැර ගිය ද ඊ-සාහිත්‍යය හේතුවෙන් නැඟෙන්නාවූ ඉතා වැදගත් ප්‍රශ්නයක් වන්නේ " ඔබ කෙතරම් වගකීමෙන් යුත් ලියන්නෙක් ද නැතහොත් අදහස් දක්වන්නෙක් ද ?" යන්න යි.

අන්තර්ක්‍රියාකාරීත්වය. ඊ-සාහිත්‍යයෙහි වඩාත්ම ආකර්ශණීය ගුණාංගය වන්නේ මෙය යි. අංකිත ලිවීමකදී ඔබ තවදුරටත් යම් විශේෂිත වූ මාතෘකාවක් හෝ පරිච්ඡේදයක් සොයා පිටුපෙරලිය යුතු නැත. ඒ වෙනුවට කෘතියේ මුලදීම ලබා දී ඇති සබඳතා පුරුක ඔස්සේ යා හැක. යම් විශේෂිත වචනයක් හෝ යෙදුමක් ඇත්තේ කොතැනදැයි යන්න සෙවීමට සූචිය වෙත යායුතු නැත. එය සොයාදෙන්න යැයි ඔබේ වෙබ් බ්‍රව්සරයට හෝ කියවනයට විධානයක් දීම ප්‍රමාණවත් ය.

කතෘ හිමිකම්. මුද්‍රිත කෘතියක් මෙන් නොව අංකිත ගොනුවක් ඉතා පහසුවෙන් පිටපත් කිරීමට දේශසීමා බාධාවකින් තොරව ලෝකයේ ඕනෑ තැනක ඕනෑම කෙනෙකු හා හුවමාරු කරගැනීම කල හැක. මේ හේතුව නිසාම ඊ-සාහිත්‍යයේදී නිර්මාණ කාර්යය හා නිර්මාණ කරුවා රැක ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකල යුතු වේ. මේ සඳහා විසඳුම් සෙවීම ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ දියුණු වෙමින් පවතී.

ඉන් එක් ක්‍රමවේදයක් නම් 'අංකිත හිමිකම් කළමනාකරණය - Digital Rights Management (RDM)' යන්නයි. මෙහිදී කෙරෙන්නේ අදාල අන්තර්ගතය වෙත පිවිසීම සඳහා මුර පදයක් ඉල්ලා සිටීම හෝ එහි වඩා දියුණු ආකාරයක් වන ලියාපදිංචි වූ උපාංගයෙන් පමණක් අදාල අන්තර්ගතය වෙත පිවිසීමට ඉඩ ලබා දීමයි. උදාහරණ ලෙස පුවත්පතක් කියවීම සඳහා මුරපදයක් ලබා දීමට අවශ්‍යය වීම හෝ ඔබ විසින් බාගත කරගන්නා ඊ-පොතක් එම බාගත කිරීම කල උපාංගයෙන් පමණක් විවෘත වන ලෙස සීමාවන් යෙදීම පෙන්වා දිය හැක.
අංකිත හිමිකම් කලමනාකරණය බොහෝවිට යොදාගන්නේ මුදල් ඉපයීම අරමුණු කොටගත් ලිවීමකදී හෝ ප්‍රකාශනයකදී ය. එමඟින් අනවසර පිටපත් කිරීම් නිසා ලේඛකයාට හා ප්‍රකාශකයාට හිමිවිය යුතු මුදල අහිමිව යෑම වලක්වා ලීමට අපේක්ෂා කරයි.

දෙවැන්න. මෘදුකාංගමය හෝ දෘඩාංගමය බාධාවකින් තොරව යම් රීති පද්ධතියකට යටත්ව කෙරෙන කියවීමක් සඳහා ලිවීම හා ප්‍රකාශනය යි. මෙහිදී යම් ජාලගත ලියවිල්ලක් හෝ ඊ-පොතක්  කියවීමට, බාගත කිරීමට, වෙනස්කම් කිරීමට, යලි බෙදා ගැනීමට කියවන්නාට හැකියාව ඇත. ඒ සඳහා ඇති ප්‍රධාන කොන්දේසි දෙක වන්නේ එම නිර්මාණ කාර්යයයෙහි මුල් හිමිකරුවා ලෙස කතුවරයා හා ප්‍රකාශකයා සටහන් කිරීමත්, එම නිර්මාණය ආශ්‍රයෙන් කෙරෙන යම් නිර්මාණයක් වේ නම් එය නොමිලේ බෙදා හැරීමත් ය. මෙලෙස තැණුන සියල්ලන්ම පාහේ භාවිතාකරන හිමිකම් ආශ්‍රිත ක්‍රමවේදයක් වනුයේ 'ක්‍රියේටිව් කොමන්ස් වරපත් - Creative Commons License' ක්‍රමය යි (http://creativecommons.org/).  මෙමගින් ලේඛකයෙකුට තම නිර්මාණ සොරකමකට ලක් නොවී නිදහසේ බෙදා ගැනීමේ හැකියාව ලැබේ.

සිංහල ඊ-සාහිත්‍යය. වෙනත් ලිපියක් ඔස්සේ කථා කිරීමට තරම් විසිරුණ මාතෘකාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි හෝ වෙනත් ප්‍රධාන ධාරාවේ භාෂාවක් මුහුණ නොදුන් ගැටළුවක් වන අකුරු සහාය සිංහල භාෂාව සඳහා ලැබෙන්නේ ඉතා ප්‍රමාද වී වීම ය. එසේ ලැබුණා වුව ද ඒ සඳහා වූ ඇතැම් බාධාවන් තවමත් ඉවත් වි නොමැති වීම වීම ය. උදාහරණ ලෙස බ්ලොග් අඩවි හෝ ෆේස්බුක් ලිවීම් සඳහා භාවිතා කරන සිංහල යුනිකෝඩ් අක්ෂර රටාවන් සඳහා තවමත් කිසිදු ඊ-කියවනයක් (e-reader), ප්‍රධාන පෙලේ පිටු සැකසීම් මෘදුකාංගයක් ( Desktop Publishing Software) හෝ E-pub වැනි ප්‍රධාන ගොනු මාදිලියක් සහාය නොදැක්වීම පෙන්වා දිය හැක.

මේ ගැටළුව හේතුවෙන් සිංහල ඊ-සාහිත්‍යයක් ගොඩ නැංවීමට බාධා ඇති කෙරුණද බොහෝ දෙනෙකු එයින් මිදීමේ උපක්‍රම සෙවීම නිසා විවිධ මාදිලියෙන් ඉදිරිපත් කෙරුණ සිංහල අන්තර්ගයන් ඇතිවීම නම් සිදුවිය. ඇතැමෙක් සිංහලෙන් ලියා ඡායාරූපයක් ලෙස බෙදාගත් හ, තවත් අය තම ලිවීම සමඟ අවශ්‍ය කරන අකුරු මාදිලි ද අමුණා යැවූ හ. වඩා තාක්ෂණික විසඳුම් සෙවූ අය තමා යොදාගන්නා අකුරු මාදිලියන් අන්තර්ජාලයෙන් ස්වයංක්‍රීයව කියවීමට සැලැස්වූ හ නැතහොත් ගොනුව තුලම අන්තර්ගත කලහ.

මේ සියළු කඩඉම් පසුකොට ආ සිංහල ඊ-සාහිත්‍යය අද අන්තර්ගතය හා ඉදිරිපත් කිරීම් අතින් ඉතා ඉදිරියෙන් සිටී. අද බොහෝ දෙනෙකු බ්ලොග් ලියන්නෝ ය. ප්‍රවීන ආධුනික වෙනසක් නැත. වෘත්තීයවෙදීන් සිසු සිසුවියන් කියා වෙනසක් නැත. වඩා ආකර්ශනීය වූ මාධ්‍යයක් වන සමාජජාලා වල තම අදහස් වපුරන්නෝ ය. සංවාද කරන්නෝ ය.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පාසල් පෙලපොත් සියල්ලම ද, ගුරු අත්පොත් ද අන්තර්ජාලයෙහි ප්‍රසිද්ධ කර ඇත. පුවත්පත් ආයතන සියල්ලම පාහේ අන්තර්ජාල කලාපයක් ද මුද්‍රිත පිටපතෙහි ඊ-පිටපතක් ද නිකුත් කරන්නෝ ය. මේ අතර අංකිත මාධ්‍යයෙන් පමණක් නිකුත්වන සඟරා ද බිහිවෙමින් පවතී.

එසේ වුවද තවමත් ශ්‍රී ලංකාව තුල ඊ-පොත් හා ඊ-කියවනයන් එතරම් ජනප්‍රිය වී නැත. ඊට ප්‍රධාන හේතූන් ලෙස මේ පිලිබඳව සමාජයේ දැනුවත් භාවය, පිලිගැනීම හා උපාංගයන්හි මිල වැනි දෑ දැක්විය හැක.

එහෙයින් සිංහල ඊ-සාහිත්‍යයේ උන්තිය අපේක්ෂා කරන අය ඒ වෙනුවෙන් පාඨකයා දැනුවත් කිරීම කල යුතු ය. වඩා උසස් ඊ-අන්තර්ගතයක් සඳහා කටයුතු කල යුතු ය. ඊ-පොත් යනු දෙපැත්තම පෙනෙන පරිදි පරිලෝකනය (Scan) කර අනවසරයෙන් බෙදා හරින පොත් නොවන බව පහදා දිය යුතු ය. ඊ-අන්තර්ගතයන් උදෙසා පිලිගැනීමක් ලබා ගැනීමට කටයුතු කල යුතු ය. ඒ සඳහා මා මුලින් කීවාක් මෙන් මෙම අසීමිත නිදහස් අවකාශය වගකීමෙන්,  දැනුවත්ව පරිහරණය කල යුතුය.

:: නම් නැති 04 ::

සස හදෙක වුව
රාහු නැති සඳ
සඳට නැත අගයක්

Monday, June 8, 2015

:: ප්‍රේමාතුර::

මිතුරනි මිතුරියනි

සඳ ඇති රැයක උමතුවෙන් අහස බලද් දී
' ඇගේ වත සඳ මෙන් දැ' යි නාසන්න
ඇගේ වත සිහි නොමැත මට දැන්

මඳ සුලඟකින් සැලෙන නා පත් සිඹිද් දී
'නා දළු වන් ලවන් දැ' යි නාසන්න
බෝහෝ තොල් සිඹ හමාරය දැන්

මාවුලාවක් තුරුළු කොට බස් දොඩද් දී
'පියයුරු කොතෙක් මෙලෙක දැ' යි නාසන්න
මෙලෙක උස්මුරුත්තාවූවෙක් මි දැන්

මා හදිසියේ ම කල්පනාවට වැටෙන විට
'ඇය ලස්සන දැ' යි නාසන්න
මතක නැත ඇගෙ දෙනෙත වත්


මිතුරනි මිතුරියනි

ප්‍රේමයකි මේ  වැහෙන්නේ
සිසි කිරණ මෙන් සිහිල දුන්
මඳ සුලඟ මෙන් ලඟම හුන්
මාවුලාවක් ව ඇහුම් දුන්
මත් නොවී මත් බවම දුන්

Tuesday, June 2, 2015

:: මුවා කී කව ::

පාළුයි රජතුමණි
අලසයි රජතුමණි

නුඹ නොමැති වනයෙහි
උනුන් හා ගැටෙන්නෙමු
අඹන්නට එකෙකු නැතියෙන්

කන ලඟින් ඇදී යන
එකම එක හීයකට
සින්න කොට දෙනු රිසිමි
දරාගත නොහෙන
මේ විසල් නිදහස

Wednesday, May 6, 2015

:: නම් නැති 03 ::

වෙසක් අවසන
උවැසි උවැසියන් සිල් මුදති.
පර මලින් පිරි කුණු ලොරි.

Monday, May 4, 2015

:: නම් නැති 02 ::

මහා ෆ්‍රයිඩ් රයිස් දන්සැල.
සුනීත, පෑල දොරින් එන්න
සෝපාක ද කැටිව

Sunday, May 3, 2015

:: නම් නැති 01 ::

තඹ පාට සඳක් යට
සෙමින් රඟති කොඳ මල්
ගැඩවිලුන් පස් ම කති.

Friday, April 24, 2015

:: අත් සහ මාංචු ::

සභාපති තුමා. ත්‍රී වීල් චන්දරේට පයින් ගසා ඇති බවත්, ඔහුගේ දකුණු උරහිස සපා කෑ බවත් කීවේ රන්සිරි මාමා ය.
ඕඅයිසී මහත්තයා. යකෙකුටවත් බයනැති බවත්, කෙලින් වැඩකරන බවත් ඒ නිසා කෙලින්ම ගොස් සභාපති තුමාව කුදලාගෙන ගොස් කූඩු කර ඇති බව නලින් අයියා කීවේය.

ඒ සතියේම. චන්දන සමන් සමඟ පැටළුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මූණ දම් වෙන්නට ගුටි කෑවේ ය. කමිසය ඉරාගත්තේ ය. දතක් කඩා ගත්තේ ය.
චන්දන. කැඩුණු දත් කෑල්ල අතින් ගෙන ගෙදර ආවේය.
අම්මා. චන්දනව අතින් ඇදගෙන පොලිසි ගියේ ය. කැඩුණු දත් කෑල්ලත් සමඟම. ඒ ඕඅයිසී මහත්තයා සිටි පොලිසියට ම.
ඕඅයිසී මහත්තයා. කථාව අසා සිටියේ ය. සමන් හා පවුලම ගෙන්නුවේ ය. ඒ කථාවත් ඇසී ය.
" පොඩි උන්ගෙ රණ්ඩුවක්" කියා සමාදාන කලේ ය.

දවස් හතරක්. ඉස්කෝල හන්දියේ සිට දේවාල පාර දක්වාත් කළුවාගේ පොට් එකේ සිට අශෝකාරාමය දක්වාත් මාතෘකාව වූයේ සභාපති තුමාය.
චන්දන. ගෙදර ගියේ ය. අම්මා සමඟ. බැනුම් අසමින්. අම්මාගෙන්.
වෙන කිසිවෙක්. චන්දන ගැන කථා නොකලෝ ය.

පස්වන දවස. සභාපති තුමා ගෙදර ආවේ ය. නිදහස් ව.
චන්දන. පාසල් ගියේ ය. වෙන දා මෙන් ම.

සභාපති තුමා. ප්‍රජා සත්කාර කලේය. ඔල්වරසන් ලැබී ය.
චන්දන. විභාග අසමත් වූයේ ය. බැනුම් ඇසී ය.

මාස හයකින්.
සභාපති තුමා. මහ චන්දයට ඉල්ලී ය. දිනුවේ ය. මන්ත්‍රී තුමා වූයේ ය.
චන්දන. බදාම සැපයී ය. මේසන් බාස් වරුන්ට. ටිකක් බිව්වේ ය. හවසට.

මන්ත්‍රී තුමා. චූදිතයකු වී ය. නඩුවක. ස්ත්‍රී දූෂණයක් ගැන.
අත්අඩංගුවට පත්වී ය. රිමාන්ඩ් වී ය. උපවාසයක් ඇරඹී ය. බොරු චෝදනාවලට එරෙහිව.
අත එසවී ය. ආචාර කලේ ය. කැමරාවලට. පැමිණි වාර්තාකරුවන් අත වූ.

චන්දන. කළුවාගේ දුවගේ පපුව අත ගාන්නට ගියේ ය. පදම වැඩිවූ දිනක.
බැනුම් ඇසී ය. ගුටි කෑවේ ය. සිහිසුන්ව ඇද වැටුණේ ය. කළුවාගේ ගෙදර ඉදිරිපස කාණුවට.
යලි සිහි ලැබීය. නැගිට ගත්තේ ය.ගෙදර ගියේ ය. මන්ත්‍රී තුමා අතවනනු දිටී ය. ගෙදර යන ගමන්. නන්දෙ අයියලාගේ රූපවාහිනීය තුල. 

සති එක හමාරක්. මන්ත්‍රීතුමා ගැන කථා කලෝ ය. පත්තර ද රේඩියෝ ද රූපවාහිනී ද මිනිස්සු ද.
චන්දන ගැන. එහෙමට කථාවක් නොවී ය. දුටු තැන බැනුම්  නම්  වී  ය. 

එකොළොස්වෙනි දවස. මන්ත්‍රී තුමා නිදහස් වී ය. සාක්ෂි නැති හෙයින්.
චන්දන. වැඩට ගියේ ය. නින්දා නොලබා ම. අමතකව ගිය හෙයින්. මිනිසුන් ට.

මාස අට හමාරකින්.
මන්ත්‍රී තුමා. ඇමති පදවියක් ලැබී ය. මාධ්‍ය සාකච්ඡා විසිතුනක් තැබී ය.
චන්දන. බාස් වැඩයට අත තැබී ය. ගෙවල් තුන හමාරක් කපරාරු කළේ ය.

ඇමති තුමා. ගමට ගියේ ය. අළුත් නිවසට.  අමුත්තන් පිරිසක් කැටිව.
චන්දන. සීගිරි ගියේ ය. ඉහලට නැග්ගේ ය. ගිනි ගහන අව්වේ.

ඇමති තුමා. සෝඩා පමණක් බිව්වේ ය. අමුත්තන් විස්කි බොද්දී.
දඹරන් පිළිමයක්. ටීපෝව මත විය. ඇමති තුමා හා අමුත්තන් අතර. විස්කි බෝතලයට වඩා කොටට.

චන්දන. නතරවූයේ ය. කැටපත් පවුර අසල.වටපිට බැලී ය. සාක්කුවට අත දැමී ය. ඇණයක් ගත්තේ ය. කුණු හරුපයක් ලීවේ ය. කැටපත් පවුර මත.

මිනිස්සු. කුලප්පු වූහ. ආරක්ෂකයන්. දිව ආහ.
චන්දන. එතැනින් පැන ගත්තේ ය. සීගිරි ගල ඉහලටම දිව්වේ ය. වලකන්ට ආවුන් තල්ලුකරමින්, හපමින් සහ ඇණයෙන් සූරමින්.
නැවතුණේ ය. ගල ඉස්මත්තේ. හැරුණේ ය. එළවා ආවුන්ට මුහුණ ලා. හති ලමින්.
අඩියක් පිටුපසට ගියේ ය. කෑ ගැසී ය.
" ආවොත් පනිනවා"

පොලීස් කණ්ඩායම් දෙකක්. මුලින් පැමිණියේ ඇමතිතුමාගේ ගෙදරට ය. අනතුරුව සීගිරි ගල මුදුනටය. විනාඩි තිස්තුනක පරතරයකින්.

චන්දන. එතැනම සිටියේ ය. ගල අග්ගිස්සේ. ලඟට එන උන්ව බිය කරමින්. කෑගසමින්. නොසන්සුන් ව. සන්සුන් වෙමින්.
එකවරම. ඉදිරියට ආවේ ය. පොලිසියට බාර විය. පඩි බසිමින් පහලට ආවේ ය. සීගිරියෙහි.

ඇමති තුමා. කලබල වූයේ ය. දුරකථන ඇමතුම් ගන්නට තැනී ය. කුණුහරුපෙන් බැන්නේ ය. පුටුවක වාඩි ගත්තේ ය. හතිලෑවේ ය. පොලිසියට අවනත විය. පඩි බසිමින් පහලට ආවේ ය. විසල් නිවසෙහි.

මිනිස්සු. පහල සිටියෝ ය. දෙතැන ම. කැමරා ඇටවී තිබිණි. දෙපොලේම.
ජීප් රථ. දෙකක් විය.
දෙදෙනාම. ඇවිද ගියෝ ය. ජීප් රථ දෙසට. ආපසු හැරුණෝ ය. කැමරා දෙසට.
ඇමති තුමා. සිනාසුනේ ය. " කුමන්ත්‍රණයක් !" යැයි කීවේ ය.
චන්දන. විරිත්තී ය. " ජයවේවා !" යැයි කීවේ ය.
සිනාසුණෝ ය. අත් ඉහලට එසවූවෝ ය. මාංචු පිටින්. දෙදෙනාම.

මාංචු. එකම යකඩින් තනා තිබිණි. යතුරු පමණක් වෙනස් ව.

Sunday, April 12, 2015

:: හඳ එළිය සහ රැහැයියෝ ::

පඬු පාට හඳ යටින්
දිලේ රතු විදුලි එළි
රැහැයියෝ කෑ ගසත්

Friday, April 10, 2015

::අඹ මල් සහ බෝට්ටු ::

සොඳුර,
ඒ මහා වැස්සට
අඹ මල් බොහෝ වට බව සැබෑය.

නමුත්,
ගස නොකපනා තාක්
තව බොහෝ මල් පිපෙනු ඇත.

ඉඳින්,
කඳුළු පිසදා එන්න
රැඳි දිය කඩිති මත
කඩදාසි පා කරමු.

Tuesday, February 10, 2015

:: අපේ සල්ලි..!! ::


සර්පයා. ෆේස්බුක් හි පිංතූරයක් බෙදාගෙන තිබිණි. උදයෙහි. අටත් නවයත් අතර. තනිරූල් කොළයක. කළු අත් අකුරින් ලියූ.

ෆුඩ් සිටි බිලක්. රුක්ෂාන් ගේ අතෙහි විය. ඒ පිංතූරයෙහි වූ අකුරු පිටපත් කල. නිල් පෑනකින්. නිය ආලේපන ලූ ඇඟිලි අගින් අල්ලා.  ඉලක්කම් නැති පැත්තෙහි.

රුක්ෂාන්. කඩදාසිය දිග හැර බැලුවේ ය.
අනතුරුව ඇය දෙස බැලුවේය. දෙවුර නැටෙව්වේය.
" පිස්සුවක්..!!"
ඇය. දෙතොල උල් කලාය. ඇස් පියමින්.
" අපි දෙන්න ගැන නෙවේ අනේ..!!"
ඔහු. වම් අත මිට මෙලෙව්වේ ය. ඇගේ  දකුණත මැදි කරගෙන. පියවර තැබුවේ ය. සුපුරුදු මඟ දිගේ.

ඔවුහු.  සිමෙන්ති බංකුවක් උඩ හිඳගෙන සිටියෝ ය. වැව රවුමේ වට තුනක් ගොස්. ආදරණිය මාතෘකා සියල්ල අවසන්ව.

" ඔයා දන්නව ද ? අපෙ නගරාධිපතිත් සෑහෙන්න හොරකම් කරලා.! අපෙ පාර කොන්ක්‍රීට් කරල විතරක් ලක්ෂ දෙසිය අසූවක් හම්බකරලා...!! අපේ සල්ලිනෙ නේද ? "
ඔහු. හිස වැනුවේ ය. ඇය. දිගටම කියෙව්වා ය.
" අපෙන් හොරකම් කරල තියෙන තරම.!! ඒකෙන් දහයෙන් පංගුවක් තිබ්බ නම් මට හොඳ වෙඩින් එකක් ගන්න තිබුණා..!!  බලන්නකො ඔයාගෙ ගෙදරිනුත් කැමති නැත්තෙ අපිට සල්ලි මඳි කියලනෙ..!!"

ඔහු. ඇගේ හිස ඇඟිලි ගෑවේ ය. කඩදාසිය නැති අතින්. පශ්චාත්තාප වෙමින්.
ඇය. ඔහු අත වූ කොලය ගත්තා ය. දිග හැරියා ය. කඳ කෙලින් කර ගත්තා ය. කොළය ඔහු වෙත පෑවා ය.




ඔහු. සිනාසුනේ ය. සුපුරුදු ලෙස ම. ආඩම්බරයෙන්. දෙතොල් තදකරගෙන ම.
"ඉතිං..? අපි දෙන්න ගැන නෙවෙයි කිව්වෙ?"

ඇය. බැරෑරුම් මුහුණක් හදා ගත්තා ය. ඔහුගේ අත දෝතින් ගත්තා ය.
" මං හැමදාමත් ඔයාට ආදරේ..!"
දිගු හුස්මක් ගත්තා ය. පහලට හෙළුවා ය.
" නගරාධිපතිගෙ ගෙදරින් මට යෝජනාවක් එවල. එයාගෙ පුතාව! මං කිව්ව වෙඩින් එකට ලක්ෂ තිහක්වත් වියදම් කරනව නම් මං කැමතියි කියල.!"

අනතුරුව. රුක්ෂාන්ගේ ගෙලෙහි එල්ලුණා ය. ඔහුට කිසිවක් කීමට ඉඩ නොතබා. වම් කම්මුල ඉම්බා ය.
" අපේ සල්ලි අපි ගන්න එපා යැ..!"

පොලිස් නිලධරයා.  ඔවුන් වෙත එමින් සිටියේ ය. සිය විසිලය අතෝරක් නැතිව පිඹිමින්.
වැව රවුම. ප්‍රසිද්ධ ස්ථානයකි.