Saturday, January 16, 2016

:: සංජානන ::



ස්නායු. මිනිස් සිරුරේ සියළු සංජානනයන් සිදුකරන සන්නිව‍ේදන ජාලය වන්නේ ය. සංව‍ේදක ඉන්ද්‍රියයන්ගෙන් ග්‍රහණය කරගන්නා දැනීම් හැඟීම් හා සසඳා දක්වන ප්‍රතිචාරය ප්‍රකාශනය කිරීම දක්වා ක්‍රියාවලියෙහි අතරමැදි දූතයා වන්නේ ය.

සමරජීව මහතා. මේ ගැන තව තවත් විස්තර කලේ ය. සිය ගැබ්බර බිරිඳට.

මිනිසුන්. ඉපදෙන විට සහස් සංඛ්‍යාත ස්නායූන්ට හිමිකම් කීවත්, ලදරු විය ඉක්මවත් දී ඒ බොහෝ ස්නායූන් මැකී යන්නේ ඒවා නිසි පරිදි ස්ථාවර වීමට අවශ්‍ය  සංජානනයන් නොලැබෙන නිසා බවද විස්තර කලේ ය. එම ස්නායු සම්බන්ධතා සවිමත් කරවීම තුලින් අති දක්ෂ දරුවකු තනාගත හැකි බවද, නමුත් එසේ වන්නේ දැනුම හා බුද්ධිය වර්ධනය වන ආකාරයේ සංජානනයන් දරුවාට ලබා දුනහොත්  පමණක් බවද කීවේ ය.

ඊට දින දෙකකට පසු. දරුවාගේ මොළය මව්කුසේ සිටම වැඩෙන බවත්  එහෙයින් මවගේ ශාරීරික හා මානසික  සෞඛ්‍යය  ඉතා වැදගත් බවත් පත්තරයකින් කියෙව්වේ ය.

එතැන් සිට. සමරජීව මහත්මිය හයට නැඟිට්ටා ය. හෝඩි පොත හඬනගා කියෙව්වා ය. ඉඟුරු දැමූ දොඩම් යුෂ වීදුරුවක් බිව්වා ය. සැමියාට කෑම  හදමින් ඔහු අසන බුද්ධි පරීක්ෂණ ගැටළු විසඳුවා ය. ටෙලි නාට්‍ය අතහැරීමට  සිදුවූ  අතර 'ඩිස්කවරි'  නාළිකාවෙන් සෑහීමකට පත් වීමට සිදුවූවා ය. නින්දට පෙර 'සුඩොකු' ප්‍රහේලිකාවක් විසඳීම අනිවාර්යය වූ අතර කුමන ආකාරයේ හෝ ආගමික හෝ ප්‍රබන්ධ කෘතීන් පරිශීලනය නොකලා ය.

රුවන් ඉපදෙන විට. නිවසේ තුබූ සියළු අනවශ්‍ය පොත්පත් රූ සටහන් ආදිය ගින්නෙහි හොවා තිබිණි. ඔහුගේ පියා විසින්.


සමරජීව මහතා. වඩ වඩා කාර්යය බහුල වූවේ ය. රුවන් ට ග්‍රාම්‍ය කතන්දර කියා දීමට ඉඩ නොදුන් හේ ඒ වෙනුවට ලොව ප්‍රකට විද්‍යාඥයන්ගේ ජීවිත කථා කියා දෙන්නැයි සිය බිරියට කීවේ ය. ඇය නොදන්නා ඒවා කියා දුන්නේ ය. නැලවිලි ගි වල සමප්‍රදායික වචන වෙනුවට රසායන විද්‍යා , භෞතීය විද්‍යා හෝ පරිගණක විද්‍යා වචන යොදා දුන්නේ ය. වැරදි සංජානනයන් බලවත්විය හැකි හෙයින් බාහිර පුද්ගලයන් හට රුවන් හා ගැටීමට ඇති අවස්ථාවන් අවම කලේ ය. ඉඳහිටක මුණගැසුනත් සුරතල් කිරීම් ආදිය ට ඉඩ නොදුන්නේ ය. ඒ වෙනුවට රුවන් ට ' ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්  ' ආශ්‍රිත වැඩසටහන් නැරඹීමට සැලැස්සුවේ ය. කාන්සිය මැකීමට ඉහල 'අයි කිව්' අගයකින් යුත් 'වර්චුවල් ඇසිස්ටන්ස්' වැඩසටහනක් බාගත කර දුන්නේ ය.

කාලය. ගෙවී ගියේ ය. රුවන්ට පාසල් ගමනක් නොවූ අතර විශේෂයෙන් තෝරාගත් ගුරුවරුන් පිරිසක් නිවසට ආහ. රුවන් ඉතා දක්ෂ ලෙස විෂය කරුණු උකහා ගනිමින් සිටියේ ය.  සියල්ලන්ගේම තක්සේරුව අනුව.

*********************************************************************************
රාජ කුමාරයා. පුහුණුකර ඇති පරිදිම සිය පියාගේ නමින් ඔහු ඇමතූ රුවන්, රාජ කුමාරවරු හා රජවරුන් යනු කවුරුන්දැයි ඔහුගෙන් ඇසී ය. මඳක් පසුබා ගියද, දරුවා හට මුසා නොකිය යුතු හෙයින් රජවරුන් යනු, මිනිස් ශිෂ්ඨාචාරයේ පූර්ව අවධියක පරම්පරාවෙන් පාලනය උරුමකරගත් පිරිසක් බවත්, රාජකුමාරයන් යනු ඔවුන්ගේ දරුවන් බවත් කියා දුන්නේ ය. 

තවදුරටත්. දැන් එවැන්නවුන් නැති බවත් ජනතාව දැනුවත් බවත්, තමාට අවශ්‍ය පාලකයන් තමා අතරින්ම තෝරා ගන්නා බවත් පැහැදිලි කලේය. 

අවසානයට. ඔහු රාජකුමාර කතාව දැනගත්තේ කොහෙන්දැයි ඇසීය. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන්ගේ ආච්චිට සහ සීයාට ඔහුගේ නිවස තහනම් කලාපයක් විණි.

රුවන්. රජවරුන් ගැන කථා තහනම් බව දැන ගත්තේ එසේ ය.

ඒ හේතුවෙන්ම. තමන් අකුරෙන් අකුර ගැටගසා කියවන බාගෙට දැවී ගිය පොත ඇඳෙහි මෙට්ටය යටින් තව තවත් එහාට තල්ලු කලේය.