Sunday, April 24, 2011

කඩදාසි(ය)



නිශාන්ත රත්නායක විසිකල ගිනිකූර බිම පතිත වෙද්දීද් නිවී නොතිබුණ හෙයින්, ක්‍රිෂාන්ත ඒකනායකගේ ඇඳ යට තිබූ විසල් කඩදාසි ගොන්න ගිනි ගත්තේය.

නිශාන්ත ගිනිකූර විසිකල සැනෙන් කාමරයෙන් නික්ම ගිය හෙයින්ද, ගින්න එකවරම ඇවිලී යනවා වෙනුවට, මුලින් සුළුවට ඇරඹී පසුව පැතිරී ගිය හෙයින්ද, සියල්ලටම වඩා ක්‍රිෂාන්ත ගින්න ඇවිල යද්දී ඒ දෙස බලාපොරොත්තුවෙන් බලා සිටි හෙයින්ද, එය බැරැක්කයෙන් අඩක් පුරා පැතිරෙන තුරු ගින්නට විරුද්ධව නිසි පියවර ගැනීමට කඳවුරේ කිසිවකුට නොහැකිව ගියේය.

ගින්නට පෙර දුම දුටු සෙබළුන් සියල්ලෝ නිල විධානයක් පැමිණීමට පෙරම ගින්න නිවීමට දිව ගියෝය. එලෙස දිවගිය කිහිප ​දෙනකු බැරැක්කයතුල සිහිසුන්ව සිටි ක්‍රිෂාන්තව දුටු හෙයින් ඔහුගේ ජීවිතය එවර බේරුණේය.

" මොකද එච්චර කඩදාසි ගොඩක් ඇඳ යට තියන් හිටියේ ?"
ඒ ප්‍රශ්නයට පිලිතුරු නොදී නිහඬව සිටීම ක්‍රිෂාන්තගේ ජීවිතයට කරදර වැලක්ද, මා හට ප්‍රපංචයක්ද ලබා දුන්නේය.


"ක්‍රිෂාන්ත කඩදාසි එකතු කරන්න ගත්තෙ ගිය මාසෙ අපි විත්ඩ්‍රෝ වෙලා ආවදා ඉඳන්"

" මිනිහ අපි එක්ක කථා කරන එකත් නැවැත්තුව"

" එයා සෑහෙන්න වද වුණා කුෂාන්තව අතෑරල එන්න වුණ එකට"

" මාත් එතන හිටියා, බංකරෙන් උඩට ඇදල ගන්නකොට එයාගෙ කකුල් දෙකම දණිස් ගාවින් වෙන්වෙලා තිබුණෙ"

" එක දිගටම ටෙරාල ඇටෑක් කරන් ඉස්සරහට එන්න පටන්ගත්ත නිසා අපිට කුෂාන්තව උස්සන් එන්න පුළුවන් කමක් තිබුණෙ නෑ"

" දැන් මනුස්සයගෙ ඒම් එකත් එච්චරම හරි නෑ. වෙලාවකට පිස්සෙක් වගේ"

" අපිට හිටපු හොඳම කිලර්, ඉස්සර කවදාවත් ඉලක්කෙ වරදින්නෙ නෑ"

" විශේෂයෙන් කියන්න ඕන කියල හිතුවෙ නෑ. මොකද සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් ටික දවසකින් හරියනවනෙ"


ක්‍රිෂාන්ත වෙනුවට කථාකල අනෙක් අය කියූ දෑ ඇසීමෙන් පසු හා ඔහුගේ නිහඬබවත්, දකින දකින කඩදාසිය මහත් ගිජු බවින් එකතු කිරීමත් හමුදා විනය රැකීමේ ක්‍රමවේදයන්ටත් බිඳිය නොහැක්කක්වූ තැන  නිලධාරීන් විසින් ක්‍රිෂාන්තව මනෝ උපදේශනය සඳහා ​වෛද්‍ය රොෂාන්ත සමරනායක වෙත යොමු කෙරිණි.

 මා නොදන්නා බොහෝ ප්‍රතිකාර ක්‍රම භාවිතා කලද රොෂාන්තට ක්‍රිෂාන්තව කථා කරවීමට නොහැකි විය. ඒ වෙනුවට ක්‍රිෂාන්ත අනෙක් වාට්ටුවල ලෙඩුන්ගේ ඇඳ ඉහපත් පවා පැහැරගෙන එකතු කරන්නට පටන් ගත්තේය. එලෙස එකතු කරන සියල්ල යලි යලි කියවමින්, බලාපොරොත්තු සහගත වෙමින්, බලාපොරොත්තු කඩකර ගනිමින්, කෝප වෙමින්, දුක් වෙමින් තමාගේම ක්‍රියාවන් නිසා දිනෙන් දින කුඩාවන වපසරියක හැසිරෙමින් මාස ගණනක් සිටියේය.

.......................................................................................................................................................

එදා රොෂාන්ත යනවිට ක්‍රිෂාන්ත ජ​නේලයෙන් එළිය බලාගෙන සිටියේය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්, එළියේ තිබූ කඩදාසියක් දෙස මහත් ගිජුකමින් බලාගෙන සිටියේය.

පිටුපසින් ඇවිද ගිය රොෂාන්ත ක්‍රිෂාන්තගේ උරමත අත තැබුයේය.
ක්‍රිෂාන්ත සලිතව ගියේය. තදින්. නොදැනෙන්නට තරම් සෙමෙන්.
ඔහු එක්වරම තම උරමතවූ රොෂාන්තගේ අත බදා ගත්තේය. දෑතින්ම. වැරෙන්. ආපසු නොහැරී.

අනතුරුව කෑ ගැසුවේය.

" කුෂා, ඔහොමම අල්ලන් ඉඳපන්. මං උඹව කොහොම හරි ගෙනියනවා. අපි දෝණිගෙ පාටි එකට ගෙදර යනවා මචං !"


ඉන්පසු.

ටික වේලාවක් කිසිත් සිදු නොවිණි.
ක්‍රිෂාන්ත ආපසු හැරුණේය.
රොෂාන්ත දෙස බැලීය.

සිය දෑතම රිද්මයකට ඉහල සිට පහලට ගෙනියමින්,
" එච්චර කියලත් ඇහුවෙ නෑ. උරහිසේ ඉඳන් පිට දිගේම අත් දෙක ඇදගෙන ගිහින් බිමට වැටුණා"
යැයි පවසා තවත් සත් මසකට නිහඬ වූයේය.

....................................................................................................................................................

රොෂාන්තට ඉන්පසු ක්‍රිෂාන්තව කථා කරවීම කල නොහැකි වුවද. ඔහුගේ කලහකාරී හැසිරීම් අඩුකිරීමට හැකිවිය. එසේත් නැතිනම් ඔහු කඩදාසි පැහැර ගැනීම වෙනුවට තමා අතට දෙන කඩදාසි පමණක් එකතුකරන තත්වයට පත් කිරීමට හැකිවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස දිනකට කඩදාසි කිහිපයක් ඔහුට ලබා දීමේ නිර්දේශය මත, ක්‍රිෂාන්තව සිය බාරයෙන් නිදහස්කොට යැවීමට ​වෛද්‍ය රොෂාන්ත තීරණය කලේය.

ඒ තීරණය අනුව ක්‍රිෂාන්තට මාස දෙකක නිවාඩු ලබාදී ඔහුගේ නිවසට යැවීමට නිලධාරීන් තීරණය කලෝය. කඩදාසි නිර්දේශය එලෙසම ක්‍රියාත්මක කරන ලෙස නිවැසියන්ට උපදෙස් දෙන ලදී.

......................................................................................................................................................

"පිස්සුලු නේද?"
" පව් අප්පා යසට හිටපු කොල්ලා"
" හෙනට මරල තියෙනවලු. ඒ පාපෙ පටිසන් දීල"
" දැන් ඉතිං යසෝගෙ කෙල්ලට තමයි.......!" " හොඳ වැඩේ ඔය තේ උඩිච්චිට"
" මැරිලවත් හිටිය නම් පාරට නම එහෙම දාල. පෝස්ටරයක් ගහල. සමරන්න තිබ්බා. පව් මචං... "


මේ සියළු කථා පැතිරයද්දී, ක්‍රිෂාන්ත යථා තත්වයට පත්වූදා, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම්කරුවන් ලියුම් බෙදූවෝය.

යලි සම්මත සාමාන්‍ය මිනිසෙකු බවට පත්වෙමින් ක්‍රිෂාන්ත මුලින්ම කීවේ වචන හයකි.

" අම්මේ.......! මට ආයෙ එන්න එපා කියලා....!"

ඔහුගේ අතෙහි ​වෛද්‍ය මණ්ඩල නිර්දේශය සහිත කඩදාසිය තිබුණේය.

Sunday, April 17, 2011

හිස්

එකම ඉරක්වත් නැති සුදුම සුදු කැන්වසයක්.
එකම තරුවක්වත් නැති කළුම කළු අහසක්.
එකම පැලයක්වත් නැති දිගම දිග බිම්කඩක්.
මොනතරම් හිස්ද ?

කැමති පැත්තට හැරෙන්නට හැකි - කැමති රුවකට ඇඳෙන්නට හැකි.
කැමති තැනකට පෙනෙන්නට හැකි - කැමති සඳකට නැගෙන්නට හැකි.
කැමති තැනකින් හිඳින්නට හැකි - කැමති ගසකට හැදෙන්නට හැකි.
හිස්කම, මොනතරම් නිදහස්ද....?


නෙක පැහැයෙන් සිත්තම් කර - හැඩට තැනක එල්ලුවාම.
සහස් රටා පිරිවරාන - තාරපතිට රෑ පිදුවම.
මේ ඉඩ ටික මේ පැලයට - බිම්කඩ මිමි ලියැවුණාම.
හිස්කමේ නැතිවීම, මොනතරම් සුන්දරද....?


දියවී ගිය ඒ සිතුවම් -  සුදු පාටින් වසා දැමුණ,
උල්කාවන් ගිනි ලූ සඳ - සඳ නොමැතිව කළුවී ගිය,
පැල උදුරා ඉවතට ලූ - කෙඳි මුල් තාමත් වද දෙන,

කැන්වසය. අහස. බිම.

මොනතරම් හිස්ද ?


" ඒ හිස්කම සුන්දරයි කියන උඹට පිස්සුද? 

නැත්නම් උඹ කියන්නෙ ඇත්තයි කියල අහගෙන ඉන්න මට පිස්සුද? "

                                                                                                        - අනිල්

Sunday, April 10, 2011

ගෝල්​ෆේස් ප්‍රේමය

පොඩි උන්. එහේ මෙහේ දුවමින් සිත්සේ දඟලමින් උන්හ.

උන්ගේ මාපිය බාරකාරයන්. දරුවන් නැතිවෙතැයි යන බියද උන් වැටෙතැයි සැකයද උරමත දරනට වන් හෙයින්, සූර්යයාගේ මඳ හිරු රැසින්වත්, මුහුදු සුලඟින්වත්, ලද නිදහසින්වත් තුටුවිය නොහී දරුවන් පසුපසම දුවමින් හුන්නෝය.

වෙළෙන්දෝ. සාමාන්‍යයෙන් පැමිණෙනවාට වඩා සෙනඟ ආ දිනක් හෙයින් වෙනදාට වඩා යුහුසුළුව සිය වෙළදාම කෙරෙහි උනන්දුව සිටියෝය.

කුරුල්ලෝ. සෙනඟ කෙරෙහි බියක් නැති වුවද, තමන්ට වැසීමට බිම ඉඩකඩ මඳව ගියහෙයින්ද ලැගුම්ගත් ගස් සංවර්ධනයට කැපී ගිය හෙයින්ද හැකිතරම් අහසේම රැඳෙන්නට වෙර දැරූහ. පියාපත් රිදුනු කල්හි මඳක් එහායින් ඇති පිළිරූ මතට පාත්වූහ.

සරුංගල් හා බැලුම් බෝල. නූල අතෙහි තිබෙනතාක් දරුවන්ට අවනතව උන්හාම රැඳී සිටි අතර මඳ ප්‍රමාදයකින් නූල ගිලිහුණොත් වා ගැබෙහි පාව යන්නට සූදානමින් සිටියේය.

කාර්, වෑන්, බස් හා බයිසිකල්. සැමදාම මෙන් තම ගමනාන්තයට ප්‍රමාදවූවකුගේ මෙහෙයුමට යටත්ව, එකිනෙකාට එරෙහිව ඉදිරියට ඇදෙමින් තිබිණි.

 මිනිස්සු. නොදන්නා සියගනණක් තම වරිගයේම උන් මැද, දන්නවායැයි සිතෙන කිහිපදෙනෙකු හා එක්ව සතුට මේ යැයි සම්මත කොට ඇති ක්‍රියාකාරකම්හි නිරත වෙමින් සිටියෝය.




ඈ. තම දෑතෙහි තිබූ හිමකිරම දෙකම කා අවසන් කර ඔහුගේ අතෙහි එල්ලුනාය.

"තව ඕනෙද?"

"අයිස් ක්‍රීම් ඇති?"

"එහෙනම් දැන් මොනවද ඕන?"

"ආයෙ මොනවත් එපා"


ඔහු. සිනාසී තම ඇඟිලි හා පැටලී තිබූ ඇගේ ඇඟිලි තද කලේය. ​නොරිදෙන්නට. සෙමෙන්.


ඈ. දෙනෙත් නගා ඔහු දෙස බැලුවාය.

"ආදරේද?"

"හ්ම්"

"ආදරේද?"

"ඔව්.... ගොඩක්"

ඇය. නතරවූවාය. හිස පසෙකට හරවා ඔහු දෙස බැලුවාය. සියළු සෙනඟ අතරින් ඔහු වෙන්කොට හඳුනාගැනීමට යත්න දරමින් ඔහු දෙස බලා සිටියාය. අනතුරුව, ස්ථිර ස්වරයෙන් මෙසේ පැවසුවාය.

" මාව ඉඹින්න"
" කී පාරක්ද?"
"එකම එක පාරක්, හුඟක් හයියෙන්, නළලෙ මැද්ද, විනාඩි දෙක හමාරක් දිගට"

"හා... ගෙදර ගිය ගමන් එහෙම කරන්නම් හොඳද?"

"නැහැ, මට දැන් ඕන"

"මේ... මෙතන?"

"ඔව්"

"සෙනඟ මැද්දෙ?"

"කමක් නැහැ"

හිසකෙස්. ඔහු ඇඟිලි තුඩු අගින් ඇගේ හිසකෙස් මඳක් අවුල්කලේය. සිනාසී, ඉදිරියට යමු යැයි හිසින් සන් කරමින් පෙරමුණ ගත්තේය.





වම්පස. ඈ තමාගේ වම්පසින් නැති බව ඔහුට දැනුණේ මඳ වේලාවකට පසුවය. ඔහු ආපසු හැරුණි. ඔහු ආ මඟ දිගේ මිනිසුන් පිරී සිටි හෙයින් ඇය කොතනදැයි එක එල්ලේ සොයාගත නොහැක. ඔහු වහ වහා තමන් ආ මඟ යැයි දැනුණු මඟ දිගේ ආපසු ගියේය. හිමකිරම කා අවසන් කල තැනටම ආවද ඇය හමුනොවිණි.



බස්රිය. ඒ තරම් පිරිසක් නොසිටි හෙයින් මඳක් ගැස්සෙමින් ධාවනය වෙමින් තිබිණි.
ඇය පිටුපස අසුණේ වම් කෙලවරේ හිඳගෙන සිටියාය. වලකා ගත නොහෙන කඳුළුවැල් දෙකක් දෙනෙතින් ගලමින් තිබිණි. ලේන්සුවෙන් හිමකිරම පිසදමා තිබූහෙයින් ඈට කඳුළු වසංකිරීමට වූයේ පිටිඅත්ලෙන් පමණි.


දුරකථනය. ඇගේ බෑගය තුල හිඳ නාද වන්නට වූයේය.


ඈ දුරකථනය අතට ගත්තාය. කඳුළු පිසදා ගත්තීය. ඉකිය නැවතීමට අසාර්ථක උත්සාහයක් ගත්තාය.
"මට තරහ වෙන්න බෑ"
ඉකිය අතරින් මුරන්ඩු ස්වරයෙන් පවසා දුරකථනය විසන්ධි කලාය.