Tuesday, May 29, 2018

:: සයන::

එළි වෙන්න පැය පහක් ඇත් දී
හදිසියේ නුඹ වත පිරික්සමි
ජීවිතේ දිග ඇඳුණු රේඛා
මගේ සතුටට හිලව් කරලමි

දකුණතේ පිටි අත්ල මත රැඳිආදරේ රස මසළු දකිනෙමි 
වැටෙන හුස්මක දුකක් ඇත්දැයි
සිවිලිමට නෙත් යොමා සවනෙමි

ප්‍රේමයේ දුර ගමන් ආ බව
අනිමිසය මැඳ හෙමින් හඟිනෙමි
අවදි වේ යැයි හීන් බියකින්
සවන අග රළු ලවන් තවරමි 

Thursday, February 15, 2018

:: ආකාස හීන 06 ::

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "


Paulo Coelho යන්න සිංහල කියවන්නන් අතර ප්‍රචලිතව ඇත්තේ 'පාවුලෝ කොයියෝ' ලෙස ය.
ඒ නමෙහි හමිකරුවා එකදාස් නවසිය හතලිස් හතේ බ්‍රසීලයේ දී උපන්නේ ය. නවසිය අසූ දෙකේ දී තම මුල්ම පොත ප්‍රකාශනයට පත් කළේ ය. තවමත් ලියන්නේ ය.

Onze Minutosනවකතාව ඔහු ලියන්නේ දෙදහස් තුන වසරේදී ය. පෘතුග්‍රීසි බසින්. දෙදෙනෙකු අතින් සිංහලට පරිවර්තනය කෙරුණු . දෙවතාවක දී. නම් දෙකකින්. ' විනාඩි එකොළහ' හා 'මිනිත්තු එකොළහේ කථාව' ලෙස.

මරියා. නවකතාවේ ප්‍රධාන චරිතය වන්නී ය.
ලිංගික ශ්‍රමිකාවියකි. බ්‍රසීලයෙන් යුරෝපයට සංක්‍රමණය වූ.
රැල්ප්. ගනුදෙනු කරුවෙකි. මරියාට මුණ ගැසුණු.
මුලින් ශෘංගාරය ද පසුව ආදරය ද ගනුදෙනු කරන්නට යෙදෙන.

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "
තම මුල්ම හමුවේ දී රැල්ප් මරියාට කියන්නේ ය.

තමා තමාට ඇවැසි ලෙස හැසිරීම.
බොහෝ විට පිස්සුවකි. විකාරයකි. වදයකි. සම්මතයට අනුව.
නමුත් අප ප්‍රියකරන්නේ ද එයටම ය. අප ආශා කරන්නේ ද එසේ කරන්නට ය.
අප යටපත් කරගන්නේ ද එයම ය. එම ආශාවය.
තමා වීම වෙනුවට වෙනකකු වන්නට ය. අනෙකුන් ආශා කරන.

ඒ අනෙකුන් දිනන්නට ය. හොඳ අයවලුන් වන්නට ය. සැමට ප්‍රිය වන්නට ය.

දිනාගත් පසු.
අපි අපේ ආශාවන් හඹා යන්නට අරඹන්නෙමු.
ආදරයේ දී ද කලාවේ දී ද දේශපාලනයේ දී ද වෙනසක් නැතිවම.

ජීවිතය තරඟ දිවීමක් වූ කල එසේ ය. සැම දෙයම දිනුම් ඉලක්ක කරගත් කල එසේ ය. හැඟීම් ද සබැඳියාවන් ද වගකීම් ද වගවීම් ද ඒ දිනුම උදසා වූ මෙවලම් කරගත් කල එසේ ය.

අපි ඉතා දක්ෂ රවටන්නන් වන්නෙමු. අපව ද අනුන්ව ද නොවෙනස් ව.
අපි ඉතා දක්ෂ රැවටෙන්නන් වන්නෙමු. අපගෙන්ම ද අනුන්ගෙන් ද නොවෙනස් ව.

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "
රැල්ප් මරියාට එසේ කීවාට අපට කිසිවකු එසේ කියන්නේ නැත.
ඒ නිසාම අප අනෙකාට ඇවැසි ලෙස වෙනස්විය යුතු වන්නේ ය.

අනෙකා. අප ආශා කරන්නා ය. අප විසින් දිනාගත යුත්තා ය. බලය ඇති තැනැත්තා ය.
ආදරයේ දී ද කලාවේ දී ද දේශපාලනයේ දී ද වෙනසක් නැතිවම.

මේ රඟපෑම එහෙයිනි. මේ රැවටීම එහෙයිනි.
බලය ඇත්තා වසඟ කරගනු රිසියෙනි.
එය අසීරු ය. සිත් පෙළන්නේ ය.

මේ චක්‍රව්‍යූහය එලෙස ය. අපට රිසි ලෙස නොවන්නේ ය. එහෙයින් එය ජයගත යුත්තේ ද අපම ය.

මා ඔබට කියන්නේ මරියා ලෙස වන්නට නොව රැල්ප් ලෙස වන්නට ය.

අනෙකා අනෙකා ලෙස දකින්නයැයි කියා ය.
ඔහුට ඔහු ලෙස හැසිරෙන්න දෙන්න යැයි කියා ය.
අඩුම තරමින් ඔබ ළඟදීවත්.

එවිට එක රැවටෙන්නකු ද රවටන්නෙකු ද අඩු වනු ඇත.
චක්‍රව්‍යූහ බිඳලිය හැක්කේ එසේ ය.

:: අාකාස හීන 05 ::


වයලා. අතිරේක නිළියක් වූවා ය. ' ක්ලෝස් අප් ' එකක් වෙනුවෙන් 'ලොකේෂන්' බැලීමට කැමති වන.
මාලා. ප්‍රධාන නිළියක වූවා ය. ' ක්ලෝස් අප් ' වැඩිපුර ලැබෙන.

මොකද ඔයා කියන්නෙ මං ගියාට කමක් නෑ නේ ? ”
එක් අවස්ථාවක දී වයලා මාලාගෙන් අසන්නී ය. නිශ්පාදන කළමනාකරු සමඟ දර්ශන පසුතලයන් සෙවීමේ ගමනකට එක් වීමට පෙර.

වයලා ද මාලා ද අපට හමුවන්නේ 'අසුර නිකාය' නම් නවකතාවේ දී ය. සුගතපාල ද සිල්වා අතින් ලියැවුණු.

නැත.
මා මේ ලියන්නට යන්නේ වයලා ගැනවත් මාලා ගැනවත් නොවේ.
තිර පරීක්ෂණ සඳහා යැයි කියමින් සබන් කැට අතට දී නිරුවත් කර කැමරා වල සටහන් කරගත් රූපයන්හි හිමිකාරියන් වූ උන්නතිකාමී මෝඩ ගැහැණුන් ගැන හෝ උන්ගේ ආශාවෙන් තමාගේ ආශාවන් ද පසුම්බිය ද තෘප්ත කිරීමෙහි මාර්ගය පාදාගත් සිඟාල පිරිමින් ගැන ද නොවේ.

සුගතපාල ද සිල්වා වයලාගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස මාලාගේ මුවට නංවන දෙබස ගැන ය.
ඔයාට හොඳ මොකක්ද කියල ඔයා දන්නවනේ වයලා. අනිත් මිනිස්සු කොහොමද ඔයාට හොඳ දේවල් දන්නෙ. ඔයා පුරුදු වෙන්න ඕන ඔයාගෙ තීරණ ගන්න. අනුන් දෙන තීරණ අරගෙන වැරදුණොත් ඔයාට වෙන්නෙ අනුන්ට දොස් කියන්න...”

අප බොහෝ දෙනෙකු වයලා ලා ය.
අපට නැත්තේ ද අපේ තීරණ අපම ගැනීමේ පුරුද්ද ය. අප රඳා පවතින්නේම අනුන්ගේ තීරණ මත ය. අදහස් මත ය. රුචි අරුචි කම් මත ය. ඒ අප පුරුදු වී ඇති හැටි ය. අලස බවින් යුතු හෙයින්. උජුපටිපන්න නොවන හෙයින්. බිය හෙයින්. අසරණ හෙයින්.

අප විසින් ගනු ලබන තීරණයන් ගැන අපි බිය වන්නෙමු. අප විසින් කරන්නා වූ තේරීම් වල ප්‍රතිපලයන් ගැන සැලෙන්නෙමු.
එහෙයින්ම ඒ ප්‍රතිපලයන් ගැට ගැසීමට අනෙකකු සොයන්නෙමු. ජීවී වේවා. අජීවී වේවා.

ආදරයේ දී ද මිත්‍රත්වයේ දී ද ඉපැයීමේ දී ද අදහස් ප්‍රකාශනයේ දී ද සමාජ ජීවිතයේ ද අඩුවක් නැතිවම.
ජීවත් වෙද්දී.

අපි අපේ තීරණ අනුන්ගේ වදනින් වෙර ගන්වා ගන්නෙමු. උත්ප්‍රාසාත්මක ලෙස ඒ තීරණය අප කැමතිම තීරණය ද වන්නේ ය. බොහෝ තැන. බොහෝ විට.
අප කැමති තීරණයට අනෙකා අකමැති නම් කැමැත්තෙකු සොයා යන්නෙමු. අවකාශයේ හෝ කාලයේ.
එවැන්නෙකු නැති වුවහොත් එම තීරණයේ වගකීම දෙවියන්ට හෝ සිහිනයකට හෝ බාර දෙන්නෙමු.

අවසන.
තීරණයන්හි වගකීම ඒ මත තබා වගකීමෙන් නිදහස් වන්නෙමු. දොස් පවරමින්.
මා ද ඔබ ද අනෙකුන් ද ජීවත්වන මේ ලෝකය මෙහෙම වී ඇත්තේ එහෙම ය. සියල්ලෝම පාහේ එහෙම වූ නිසා ය.

යළිත් 'අසුර නිකාය' උපුටමි. මෙවර ලක්දාස.
මිනිස්සු පොඩි දරුවො නෙවි. ඒ ගොල්ලන්ට උගන්වන්න බෑ. ඉගෙන ගන්න ඕන.....”

ඔබේ තීරණ ඔබ විසින් ගන්නා තාක් ඔබ සර්වජන ඡන්ද බලය ලැබීමට නොව වැඩිහිටියකු වීමටවත් සුදුසු නොවන්නේ ය.




:: ආකාස හීන 04 ::

බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි.”
ලියන්නේ චින්තන ධර්මදාස ය. මෙම පුවත්පතේම. වෙනත් කළාපයක. වෙනත් පිටුවක. දෙදාස් දහඅටේ ජනවාරි දහනවයදා.
ඇල්කොහොල් හෝ වෙනයම් බාහිර ද්‍රව්‍යයක් ආශ්‍රයෙන් මත් වීම 'සවිඥාණක මිනිස් පැවැත්මකට අනිවාර්ය කොන්දේසියක්' ලෙස සටහන් කරන චින්තන තම මතය තහවුරු කරනු උදෙසා බොහෝ ලේඛකයන් විසින් කියනු ලැබූ වාගාලාප රාශියක් උපුටා දක්වයි. නීට්ෂේ ගේ සිට සියුක්සි යින් දක්වා. සිය වචන අටසිය දහතුන තුල.
චින්තන මෙසේ ලියන්නට ඇවැසි උත්තේජනය සැපයෙන්නේ 'විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්' දමා තිබූ ' ස්ටේටස්' එකකි. චින්තන පුවත්පතෙහි සඳහන් නොකරන ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරයා නමින් ලියනගේ අමරකීර්ති ය. වචන නවසිය හතලිස් දෙකක් පුරා මධුලෝලත්වය පමණක් නොව ලාංකේය දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය ගැන ද කියන අමරකීර්තිගේ සටහනින් චින්තන උපුටා ගන්නේ " කවියෙකු ලෙස පූර්ණ ප‍්‍රවීණත්වය අත්පත් කරගත යුතු නම් තැන තැන බීම වෙනුවට පොතපත කියවන්නැයිද, ඉංග‍්‍රීසි ඉගෙන ගන්නැයිද මා ඒ කවි මිතුරන්ට කියා ඇත.” යන්න පමණකි. වචන විසිතුනකි. නවසිය හතලිස් දෙකකින්.
එහෙයින් චින්තන කර ඇත්තේ අමරකීර්ති ලියූ වැකියකින් උත්තේජනයව වෙනම අදහසක් ලිවීමයැයි සිතනු කැමැත්තෙමි. අමරකීර්තිට පිළිතුරු දීම හෝ අමරකීර්තිව ප්‍රශ්න කිරීම වෙනුවට. මලක් දැක කවක් ලියන කවියකු මෙන්.


මම ද මගේ සටහන සඳහා චින්තනගේත් අමරකීර්තිගේත් වැකි දෙක පමණක් සලකනු රිසියෙමි. ඔවුන්ගේ සමස්ත ලියවිල්ලෙන් හෝ භාවිතාවෙන් බැහැරව.
බොන සියල්ලන් කවියන් නොවුනත් කවියෙක් නම් බොන්නෙක් විය යුතුයි.” - චින්තන ධර්මදාස
" කවියෙකු ලෙස පූර්ණ ප‍්‍රවීණත්වය අත්පත් කරගත යුතු නම් තැන තැන බීම වෙනුවට පොතපත කියවන්නැයිද, ඉංග‍්‍රීසි ඉගෙන ගන්නැයිද මා ඒ කවි මිතුරන්ට කියා ඇත.” - ලියනගේ අමරකීර්ති


චින්තනට අනුව බීමෙන් තොරව කවි නූපදින්නේ ය.
අමරකීර්තිට අනුව කවියෙකු පූර්ණත්වයට පත්වන්නේ පොතපත කියවීමෙනි. විවිධ භාෂාවන්ගෙන් ලියැවුණ.


එතැනින් නැවතී වෙනත් උපුටනයකට යනු කැමැත්තෙමි.
සාර්ථක පද්‍ය කාව්‍යයක් නිර්මාණය වීමට නම් මූලික කරුණු පහළොවක් සම්පූර්ණ විය යුතු බව කියා ඇතැයි සමන් නන්දලාල් පවසයි. සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින්. දෙදහස් දාහතේ නොවැම්බර් එකොළොස්වන දින. භරතමුනි විසින් හඳුන්වා දී අභිනවගුප්ත විසින් වර්ධනය කෙරුණු සංකල්පයන් විස්තර කරමින්.
ඒ කරුණු පහළොව නම් ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය, බස පිළිබඳ දැනුම, අනුභූතිය, සංකල්ප රූප, පරිකල්පනය, දෘෂ්ටි කෝණය, ආකෘතිය, ඖචිත්‍යය, කාව්‍යාලංකාර, රස, ව්‍යංගය, උත්ප්‍රාසය හා අනුප්‍රාසය යි.
මේ අතරිනුත් ප්‍රතිභාව හෙවත් නිසර්ග හැකියාවත්, ව්‍යුත්පත්තිය හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත්, සතතාභ්‍යාසය හෙවත් නිරන්තරයෙන් අභ්‍යාසයේ යෙදීමත් කවියේදී මතු නොව සෑම තැනකදීම වලංගු වන්නේ ය. නන්දලාල් ම පවසන පරිදි ලියවන පට්ටල් වැඩ වැනි දුෂ්කර කර්මාන්තයකට පවා.
මේ හුදෙක් වාගාලාපයක් නොවේ. කාලයක් තිස්සේ ප්‍රත්‍යක්ෂ කොටගත් අදහසකි. බොහෝ දෙනකු විසින් ප්‍රායෝගිකව. තමන් විසින්ම.


ප්‍රතිභාව ඔප මට්ටම් කරගත හැක. ව්‍යුත්පත්තියෙන් හික්මුණ සතතාභ්‍යාසයෙන්.


බීම. තැන් තැන් වල බිබී ඇවිදීම. ඔබේ ප්‍රතිභාව වඩවන්නේ නැත. සතතාභ්‍යාසයට ඉඩ සලසන්නේ නැත. දැන්නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති කරවන්නේ ද නැත.
බොන තැන්. බොන එකතූන්. සමාජ අවශ්‍යතාවයක් ඉටු කරන්නේ ය. සමූහ ගතවීමට ඉඩ සලසන්නේ ය. සංවාද කිරීමට අවකාශයන් සලසන්නේ ය. නමුත් දැන් ඇතිවන සංවාදයන් බොහොමයක් ඔබව පුරවන්නේ නැත. සේකරලා ගේ කාලයේ මෙන්. ප්‍රේමකීර්තිලාගේ කාලයේ මෙන්. දෙයක් බෙදා දෙන්නේ නැත.
ඒ වෙනුවට බොහෝ තැන්හිදී තම අනන්‍යතාවය අහිමි වූවන් ට අනෙකා තුලින් තම ආශාව පුරවා ගැනීමට ඉඩ සලසන්නේ ය. පිළිරුවක් ලෙස. බැතිමතකු ලෙස.
කවියන් නොව අනුගාමිකයන් තනන්නේ ය. කල්ලි නඩත්තු කරන්නේ ය. සේකරලා ගේ ප්‍රේමකීර්තිලා ගේ කාලයෙන් වෙනස්ව.
සමාජජාලා පුරා පැතිරී ඇති ප්‍රවීනයන් හෝ විශේෂිත කෙරුණ පුද්ගලයන් සමඟ කෙරුණු මධුපානයන්හි ඡායාරූප දැමීමේ ප්‍රවනතාව ද තමා අදහන එකෙකුට එරෙහි සටහනක් ලියූ එකකු වෙත්නම් කමෙන්ට් වලින් විද මරාදැමීමේ නැඹුරුවද තහවුරු කරන්නේ මේ ගොඩ නැඟෙන ආගමික ස්වරූපයේ සම්බන්ධය යි.


එහෙයින් ලියමි.
සේකරලා ගේ ප්‍රේමකීර්තිලා ගේ කවිය තිබුණේ ඔවුන් තුල ය. බීම තුල නොවේ.
ඔවුහු බොන තැන් ලස්සන කළෝ ය. කවියෙන් පිරවූ හ.
ලස්සන කවිකාර මිනිසුන් ය. උන් සිටින තැනක් ලස්සන වන්නේ ආදරණීය වන්නේ උන් නිසාම ය. බාහිර භෞතික සාධක නිසා නොවේ.


චින්තනගේ කවිය පිළිබඳ ප්‍රකාශය තවත් අදහසක් ජනිත කරවයි. ඔබේ කවිය පූර්ණත්වයට පත්වන්නේ බාහිර සාධකයක් නිසා ය. ඒ බීම ය.
එතැනිනට පරස්පරව අමරකීර්ති කියන්නේ දැනුම ලබන්නැයි කියා ය. ඔබ පිරෙන්නැයි කියා ය.


චින්තනගේ කීම අනුරාගික ය. ආශාව වඩවන්නේ ය. මහන්සියෙන් තොර වන්නේ ය. හෘද සාක්ෂියට වද නොදෙන්නේ ය.
අමරකීර්ති යෝජනා කරන මඟ අපහසු ය. ක්ෂණික ප්‍රතිඵල නොදෙන්නේ ය. ඔබම ප්‍රශ්න කරවන්නේ ය. එහෙයින්ම ජනප්‍රිය නොවන්නේ ය.
එහෙයින් අප පුරුදු වී සිටින්නේ චින්තන යෝජනා කරන මඟ යෑමට ය.


ඒ මඟ යන අපි දියුණුව දෙවියන්ට බාර දී ඇත්තෙමු. දරුවන් පාසලටත් අමතර පංතියටත් බාර දී අත පිහිදා ගෙන ඇත්තෙමු. අනුරාගය නිල් චිත්‍රපට වලටත් පමා ආලේප වලටත් බාර දී ඇත්තෙමු. වගකීම් දේශපාලකයන්ට බාර දී ඇත්තෙමු.
අවසන කිසිවකට අප වගකිව යුතු නැතැයි හිත හදාගෙන ලෝකයට දොස් පවරමින් සුවසේ නිදන්නෙමු.


ඒ මඟ වැරදි ය. වරදකරුවෙක් නොමැති තැන නිවැරදි කිරීමක් ද නැති හෙයින්.


එහෙයින් මගේ ද ඔබේ ද රටේ ද ලෝකයේ ද සාර්ථකත්වය පවතින්නේ අප තුලම ය.
බාහිරයෙන් පෝෂණය කරගත යුත්තේ අපම ය. බාහිරය ප්‍රතිපෝෂණය කරමින් ලෝකය යහපත් තැනක් කල යුත්තේ ද අපම ය.


නාමල් ජයසිංහ සිය 'බොහිමියානුවා' නාට්‍යයයේ මෙසේ ලිය යි.
රැවුලක් වැව්වට චේගුවේරා වගේ..
මත්වී හිටියට බොබ් මාලෙ වගේ..
හිත්වල කෝ බන් ආදරේ... ''


සියල්ලෙහි අයිතිය ද වගකීම ද අප සතු ය.

ඔබේ කවීත්වය ද ආදරණීයත්වය ද ඔබේම ය