Friday, April 24, 2015

:: අත් සහ මාංචු ::

සභාපති තුමා. ත්‍රී වීල් චන්දරේට පයින් ගසා ඇති බවත්, ඔහුගේ දකුණු උරහිස සපා කෑ බවත් කීවේ රන්සිරි මාමා ය.
ඕඅයිසී මහත්තයා. යකෙකුටවත් බයනැති බවත්, කෙලින් වැඩකරන බවත් ඒ නිසා කෙලින්ම ගොස් සභාපති තුමාව කුදලාගෙන ගොස් කූඩු කර ඇති බව නලින් අයියා කීවේය.

ඒ සතියේම. චන්දන සමන් සමඟ පැටළුනේය. එහි ප්‍රතිඵලයක් ලෙස මූණ දම් වෙන්නට ගුටි කෑවේ ය. කමිසය ඉරාගත්තේ ය. දතක් කඩා ගත්තේ ය.
චන්දන. කැඩුණු දත් කෑල්ල අතින් ගෙන ගෙදර ආවේය.
අම්මා. චන්දනව අතින් ඇදගෙන පොලිසි ගියේ ය. කැඩුණු දත් කෑල්ලත් සමඟම. ඒ ඕඅයිසී මහත්තයා සිටි පොලිසියට ම.
ඕඅයිසී මහත්තයා. කථාව අසා සිටියේ ය. සමන් හා පවුලම ගෙන්නුවේ ය. ඒ කථාවත් ඇසී ය.
" පොඩි උන්ගෙ රණ්ඩුවක්" කියා සමාදාන කලේ ය.

දවස් හතරක්. ඉස්කෝල හන්දියේ සිට දේවාල පාර දක්වාත් කළුවාගේ පොට් එකේ සිට අශෝකාරාමය දක්වාත් මාතෘකාව වූයේ සභාපති තුමාය.
චන්දන. ගෙදර ගියේ ය. අම්මා සමඟ. බැනුම් අසමින්. අම්මාගෙන්.
වෙන කිසිවෙක්. චන්දන ගැන කථා නොකලෝ ය.

පස්වන දවස. සභාපති තුමා ගෙදර ආවේ ය. නිදහස් ව.
චන්දන. පාසල් ගියේ ය. වෙන දා මෙන් ම.

සභාපති තුමා. ප්‍රජා සත්කාර කලේය. ඔල්වරසන් ලැබී ය.
චන්දන. විභාග අසමත් වූයේ ය. බැනුම් ඇසී ය.

මාස හයකින්.
සභාපති තුමා. මහ චන්දයට ඉල්ලී ය. දිනුවේ ය. මන්ත්‍රී තුමා වූයේ ය.
චන්දන. බදාම සැපයී ය. මේසන් බාස් වරුන්ට. ටිකක් බිව්වේ ය. හවසට.

මන්ත්‍රී තුමා. චූදිතයකු වී ය. නඩුවක. ස්ත්‍රී දූෂණයක් ගැන.
අත්අඩංගුවට පත්වී ය. රිමාන්ඩ් වී ය. උපවාසයක් ඇරඹී ය. බොරු චෝදනාවලට එරෙහිව.
අත එසවී ය. ආචාර කලේ ය. කැමරාවලට. පැමිණි වාර්තාකරුවන් අත වූ.

චන්දන. කළුවාගේ දුවගේ පපුව අත ගාන්නට ගියේ ය. පදම වැඩිවූ දිනක.
බැනුම් ඇසී ය. ගුටි කෑවේ ය. සිහිසුන්ව ඇද වැටුණේ ය. කළුවාගේ ගෙදර ඉදිරිපස කාණුවට.
යලි සිහි ලැබීය. නැගිට ගත්තේ ය.ගෙදර ගියේ ය. මන්ත්‍රී තුමා අතවනනු දිටී ය. ගෙදර යන ගමන්. නන්දෙ අයියලාගේ රූපවාහිනීය තුල. 

සති එක හමාරක්. මන්ත්‍රීතුමා ගැන කථා කලෝ ය. පත්තර ද රේඩියෝ ද රූපවාහිනී ද මිනිස්සු ද.
චන්දන ගැන. එහෙමට කථාවක් නොවී ය. දුටු තැන බැනුම්  නම්  වී  ය. 

එකොළොස්වෙනි දවස. මන්ත්‍රී තුමා නිදහස් වී ය. සාක්ෂි නැති හෙයින්.
චන්දන. වැඩට ගියේ ය. නින්දා නොලබා ම. අමතකව ගිය හෙයින්. මිනිසුන් ට.

මාස අට හමාරකින්.
මන්ත්‍රී තුමා. ඇමති පදවියක් ලැබී ය. මාධ්‍ය සාකච්ඡා විසිතුනක් තැබී ය.
චන්දන. බාස් වැඩයට අත තැබී ය. ගෙවල් තුන හමාරක් කපරාරු කළේ ය.

ඇමති තුමා. ගමට ගියේ ය. අළුත් නිවසට.  අමුත්තන් පිරිසක් කැටිව.
චන්දන. සීගිරි ගියේ ය. ඉහලට නැග්ගේ ය. ගිනි ගහන අව්වේ.

ඇමති තුමා. සෝඩා පමණක් බිව්වේ ය. අමුත්තන් විස්කි බොද්දී.
දඹරන් පිළිමයක්. ටීපෝව මත විය. ඇමති තුමා හා අමුත්තන් අතර. විස්කි බෝතලයට වඩා කොටට.

චන්දන. නතරවූයේ ය. කැටපත් පවුර අසල.වටපිට බැලී ය. සාක්කුවට අත දැමී ය. ඇණයක් ගත්තේ ය. කුණු හරුපයක් ලීවේ ය. කැටපත් පවුර මත.

මිනිස්සු. කුලප්පු වූහ. ආරක්ෂකයන්. දිව ආහ.
චන්දන. එතැනින් පැන ගත්තේ ය. සීගිරි ගල ඉහලටම දිව්වේ ය. වලකන්ට ආවුන් තල්ලුකරමින්, හපමින් සහ ඇණයෙන් සූරමින්.
නැවතුණේ ය. ගල ඉස්මත්තේ. හැරුණේ ය. එළවා ආවුන්ට මුහුණ ලා. හති ලමින්.
අඩියක් පිටුපසට ගියේ ය. කෑ ගැසී ය.
" ආවොත් පනිනවා"

පොලීස් කණ්ඩායම් දෙකක්. මුලින් පැමිණියේ ඇමතිතුමාගේ ගෙදරට ය. අනතුරුව සීගිරි ගල මුදුනටය. විනාඩි තිස්තුනක පරතරයකින්.

චන්දන. එතැනම සිටියේ ය. ගල අග්ගිස්සේ. ලඟට එන උන්ව බිය කරමින්. කෑගසමින්. නොසන්සුන් ව. සන්සුන් වෙමින්.
එකවරම. ඉදිරියට ආවේ ය. පොලිසියට බාර විය. පඩි බසිමින් පහලට ආවේ ය. සීගිරියෙහි.

ඇමති තුමා. කලබල වූයේ ය. දුරකථන ඇමතුම් ගන්නට තැනී ය. කුණුහරුපෙන් බැන්නේ ය. පුටුවක වාඩි ගත්තේ ය. හතිලෑවේ ය. පොලිසියට අවනත විය. පඩි බසිමින් පහලට ආවේ ය. විසල් නිවසෙහි.

මිනිස්සු. පහල සිටියෝ ය. දෙතැන ම. කැමරා ඇටවී තිබිණි. දෙපොලේම.
ජීප් රථ. දෙකක් විය.
දෙදෙනාම. ඇවිද ගියෝ ය. ජීප් රථ දෙසට. ආපසු හැරුණෝ ය. කැමරා දෙසට.
ඇමති තුමා. සිනාසුනේ ය. " කුමන්ත්‍රණයක් !" යැයි කීවේ ය.
චන්දන. විරිත්තී ය. " ජයවේවා !" යැයි කීවේ ය.
සිනාසුණෝ ය. අත් ඉහලට එසවූවෝ ය. මාංචු පිටින්. දෙදෙනාම.

මාංචු. එකම යකඩින් තනා තිබිණි. යතුරු පමණක් වෙනස් ව.

Sunday, April 12, 2015

:: හඳ එළිය සහ රැහැයියෝ ::

පඬු පාට හඳ යටින්
දිලේ රතු විදුලි එළි
රැහැයියෝ කෑ ගසත්

Friday, April 10, 2015

::අඹ මල් සහ බෝට්ටු ::

සොඳුර,
ඒ මහා වැස්සට
අඹ මල් බොහෝ වට බව සැබෑය.

නමුත්,
ගස නොකපනා තාක්
තව බොහෝ මල් පිපෙනු ඇත.

ඉඳින්,
කඳුළු පිසදා එන්න
රැඳි දිය කඩිති මත
කඩදාසි පා කරමු.