Friday, January 12, 2018

ආකාස හීන - 01


ඉන්දික ගුණවර්ධන මිය ගියේ ය.
ඔහු ගැන බොහෝ දේ ලියැවිණි. කියැවිණි.
ඉදිරියේ ද කියැවෙනු ඇත. ලියැවෙනු ඇත.

මේ සටහන ඔහු ගැන නොවේ. සිය මතකයන් පොත් තුලද හිත් තුලද රඳවා මැකී ගිය ඔහුගේ වියෝවෙන් දැනෙන කාංසාව හෝ පාළුව ගැන ද නොවේ.

ඉන්දික ගුණවර්ධන නමින් දැන සිටි රූපකාය කොළඹ අතහැර ගියදා ජයරත්න මල්ශාලාවේදී කෙරුණු අතුරු කතාවක දිගුවකි. ඒ ඔස්සේ නැඟුණු ගෙතුණු මතක හා අදහස් පෙල ගැසුමකි.

ජීවත් වීම ඇතුලෙ ඉතුරු වෙන්නෙ පුංචි පුංචි සතුටුදායක සැණෙළි විතරයි බං. ඒ පුංචි දේවල් මොන තරම් එකතු වෙනවද කියන එක උඩ තමයි අපි සතුටින් ජීවත් වුණා ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ”

දීර්ඝ කතාබහක් අතරතුර මේ කොටස කියන්නේ සමන් අයියා ය. කේ කේ සමන් කුමාර ය. නැතහොත් සර්පයා ය.

සමන් අයියාගේ කතාව යළි අකුණක්ව පුපුරන්නේ ඊට සති එකහමාරකට පසු දැනගත් සිය දිවි නසා ගැනීමක් ගැන පුවතකිනි. සිය කැමැත්තෙන් දිවිය අතහැර ගොස් තිබුණේ භද්‍ර යෞවනයෙකි. ජීවිතය තව බොහෝ විඳීමට තිබූ අයෙකි.

ජීවිතය බොහෝ දිග විය හැකිව තිබියදී සියදිවි නසා ගන්නේ ඇයි ?
ජීවත්වීම දුකක් වූ තැන ය. බියක් වූ තැන ය. බරක් වූ තැන ය. වදයක් වූ තැන ය.
ජීවත්වීමෙහි සතුටක් නැති වූ තැන ය.

සමන් අයියා කියූ කුඩා සතුටුදායක අවස්ථාවන්, ක්ෂණිකව නිවී දැල්වුණ නිමේෂයන් වටින්නේ එහෙයිනි. ඒවා ජීවිතාශාව වඩවන නිසා ය. ආරම්මණයන් තනන නිසා ය. සිහින් කෙඳිව ජීවිතය වියන නිසා ය.

මේ පොළොවේ ගැහැනුන්ට මිනිසුන්ට හිඟව ඇත්තේ එවන් නිමේෂයන් ය. අමතකව ඇත්තේ එවන් නිමේෂයන් ය. මඟහැරී ඇත්තේ එවන් නිමේෂයන් ය.

ඒ නිමේෂයන් තනන්නේ ද වනසන්නේ ද අපම ය. මිනිසුන්ම ය. ගැහැනුන් ම ය.
ඒ නිමේෂයන් මඟ හැරෙන්නේ ද අපටම ය. මිනිසුන්ටම ය. ගැහැනුන්ටම ය.

ජීවත් වෙද්දී ය.

ජීවත්වීම යන වදනත් සමඟ එකවනම මට සිහිවන කලා නිර්මාණයන් තුනක් වෙයි.
එක. අකිර කුරසෝවාගේ 'ජීවිතය උදෙසා' ( Ikiru) චිත්‍රපටය ය.
දෙක. රොබින් විලියම්ස් රඟපෑ 'පැච් ඇඩම්ස්' .
තුන. ඇල්බෙයා කැමූ විසින් ලියූ 'මහාමාරිය' (The Plague) නවකතාව ය.

එකදාස් අටසිය අසූ අටේ දී ලියෝ තෝල්ස්තෝයි අතින් ලියැවුණු ' ඉවාන් ඉල්යිච්ගේ මරණය' කෙටි නවකතාව ආශ්‍රයෙන් එකදාස් නවසිය පනස් දෙකේ තැණුනු 'ඉකිරු' සළරුවෙහි ප්‍රධාන චරිතය වන කන්ජි වතනබේ තමාට වැළඳී ඇති උදර පිළිකාවක් හේතුකොටගෙන තමාට ජීවත් වීමට ඇත්තේ වසරකටත් වඩා අඩු කාලයකැයි දැනගත් පසු ඇතිවූ ආතතියෙන් මිදෙනු වස් බොහෝ දෑ උත්සාහකොට අවසන තම මරණයට පෙර ලොවට යමක් ඉතිරි කිරීමේ අරමුණින් නගරයේ පාලනාධිකාරිය විසින් එතෙක් කල් මඟහරිමින් තිබූ ව්‍යාපෘතියක් වන ළමා උද්‍යානයක් ගොඩ නැංවීම වෙනුවෙන් වෙහෙසෙයි. ගැටෙයි. අවසන මිය යයි. එහෙත් ඔහු තම අවසන් කාලයේ ඔහුගේම සිහිනය තුලත් සදාකල් අපේ සිත් තුලත් ජීවත් වෙයි.

එක් කැලැන්ඩර වර්ෂයක් තුල තුන්වරක්ම සියදිවි නසා ගැනීමට තැත් කල යෞවනයකුගේ සිට මානුෂිකත්වය ද සිනහව ද මිශ්‍රකොටගත් සෞඛ්‍ය ක්‍රමවේදයක් බිහිකරගත් වෛද්‍ය වෘත්තිකයකු දක්වා වෙනස් වූ දොස්තර හන්ටර් ඩොරති ඇඩම්ස් ගේ ජීවිතය ඇසුරෙන් එකදාස් නවසිය අනූ අටේ තැණුනු ' පැච් ඇඩම්ස් ' චිත්‍රපටයේ දී දොස්තර ඇඩම්ස් තමා ආදරය කල තමා විසින් සුන්දර කරන්නට යත්න දැරූ ලෝකයේම එකෙකු විසින් තමා වැඩිපුරම ආදරය කල ගැහැණිය කෲර ලෙස මරා දැමූ බව දැනගත් පසු ලෝකය ද මිනිසුන් ද තමා ද ගැන විශ්වාසය බිඳගෙන යළිත් වරක් තමා විසින්ම ලෝකය අතහැර යාමට ආසන්නව සිටියදී සමනළයෙකුගෙන් පාර අසාගෙන යළි ජීවිතය බදා වැලඳ ගනියි. විශ්වාසය ගොඩ නඟා ගනියි. තම මෙහෙය නොනවත්වා කරගෙන යයි.

ප්‍රංශ කතුවර ඇල්බෙයා කැමූ අතින් ලියැවී එකදාස් නවසිය හතලිස් හතේ දී ප්‍රකාශයට පත් කෙරුණු මහාමාරිය නවකතාවේ එන ඔරාන් නගරයේ මිනිසුන් මාරාන්තික මහාමාරිය රෝගය හේතුවෙන් ලෝකයෙන් හුදකලා කොට දමනු ලදුව හිඳිද්දී දුර්වලයන් විසින් තම ගැලවුම සඳහා මරණයේ මුවවිට හරහා හෝ පලායෑමත් අනෙකුන් මියෙද්දී තම පැවැත්ම රැකගැනීම වෙනුවෙන් සියළු සදාචාරයන් බිඳීමත් තම ආතතිය දුරුකරගැනීම උදෙසා අනෙකුන් පෙලීමත් තෝරාගනිද්දී අතලොස්සක් මිනිසුන් විසින් ජීවිතය රැකගැනීම උදෙසා හෝ ආත්මාර්ථයට ඉඩක් නොතබා මියෙන උන් සනසන්නට රෝග ව්‍යාප්තිය වළකන්නට එකෙකු හෝ බේරන්නට තමාට හැකි සෑම දෙයම කරති. ජීවිතය අරුත් ගන්වති. අවසන ඇතැමුන් මියෙති. නමුත් මහා බරක්ව අප සිත්හි කිඳා බසිති. රැඳෙති.

යලි උපුටමි.
ජීවත් වීම ඇතුලෙ ඉතුරු වෙන්නෙ පුංචි පුංචි සතුටුදායක සැණෙළි විතරයි බං. ඒ පුංචි දේවල් මොන තරම් එකතු වෙනවද කියන එක උඩ තමයි අපි සතුටින් ජීවත් වුණා ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ”

අපි සියල්ලෝම තමා ආදරය කල උන් විසින්ම රැවටීමට ලක්වුණ ලක්වීමට නියමිත ආදරණීයයන් අහිමි කෙරුණු අහිමි කිරීමට නියමිත කෙදින හෝ මරණයට පත්වන ව්‍යාධීන්ගෙන් පෙළෙන ඔරාන් නගරයක සිරගතවූවන් වන්නෙමු.

ඔබේ එහා පැත්තේ හෝ මෙහා පැත්තේ සිටින්නාගේ ජීවිතයේ මේ මොහොත මත සතුටු සැණෙළි දැල්වීමත් ජීවිතයේ අසීරුම තීරණය ගතයුතු මොහොතකදී පෙර සතුටු මතකයන් හෝ ඉදිරි සතුටුදායක මොහොතවල් කෙරෙහි වන බලාපොරොත්තුව මත තම ජීවිතය විවීමත් බාර ඔබටම ය.

දා ගිය හේන්වල වුව වැසි කල පැලවීමට තරම් බිජුවට සැමදා ඉතිරි වන්නේ ය