Thursday, May 5, 2016

:: කුළු පොලු ::

එදා ද විරෝධතාවයක් තිබිණි. උද්ඝෝෂකයෝ ද මඬින්නෝ ද සූදානම්ව සිටියෝය. එකිනෙකා කෙරෙහි හොරෙන් බලමින්. අහඹු ලෙස නෙතු පැටළුන විටෙක මළානික සිනා පාමින්. වරෙක සැකයෙන්. අනුකම්පාවෙන්. නොසැලකිල්ලෙන්. තරහෙන් පිලිකුලෙන්.

විරෝධයට ලක්වන්නෝ ද අණ දෙන්නෝ ද දුරින් සිට බලා සිටියහ. පොළොවට මීටර් ගණනක් උසින්. වීදුරු තුලින්. ජනෙල්වල හෝ වීඩියෝ තිරයන්හි.

යකඩ. ගල්. වතුර. රබර් හා ලී. විවිධාකාර හැඩයෙන් යුතුව තැන තැන තිබිණි. නිශ්චලව. නිශ්චිත කාරියක් ඇතිව. වීදුරු. වයර් හා ප්ලාස්ටික් පසෙකින් ඇතිව.

අවශේෂ ජනයා ද සුළඟ ද අවුරැස් ද ඔහේ පාවෙමින් පැවතුණෝ ය. සංසාර චක්‍රය පුරමින්.

සාම්ප්‍රදායානුකූල බෝඩ් ඉස්සීම කෑ ගැසීම ගීත ගායනා කිරීම යන අංගයන්ගෙන් පසු ඇරඹුනේ විරෝධතා පා ගමන යි.

නියමුවෝ ද නියමුවන් ගේ ඉදිරි අනුප්‍රාප්තිකයන් ද ඉදිරියෙන් ම ගියහ. කැපවීමෙන් අභිමානයෙන් හා බලාපොරොත්තුවෙන්.

පසුපසින්ම යන්නෝ ද සිටිය හ. බෑ කියන්නට බැරි කමට කොන් වීමට බියෙන් චේන්ජ් එකකට හෝ තම සිත් ගත් අයවළුන් යන හෙයින් වැනි නේක කාරනාවන් තිබූ.

මැද්දෙන්. සාමා ද අමර ද ඈන් ද ටාරෝ ද මුරු ද ඇවිද ගියෝය. සරෝජා සමඟින්.

බැරියරය. යකඩ වැටවල් තුනකින් යුතු විණි. එක පෙලට සිටවූ. පාර දෙකට බෙදමින්. පෝස්ටර් ද බැනර් ද බෝඩ් ද එක් පසෙකටත් කුළු ද පොලු ද කඳුළු ගෑස් ද උණ්ඩ ද තව පසෙකටත් වෙන් කරමින්.

ඉදිරියෙන්ම ගිය අය. බැරියරයේ හැපී නොහැපී මෙන් නතර වූහ. ආපසු හැරුණා හ. කෙලින් සිට ගත්හ. පෙලෙහි මැද්දෙන්ම සිටි කෙනා අතට මෙගා ෆෝනයක් පත්කල හ.

මෙගා ෆෝනය. සුපුරුදු සංඛ්‍යාතයන්ගෙන් කම්පනය වීම ඇරඹීය. සුපුරුදු අනුපිළිවෙලින්ම.

බොහෝ විස්තරකිරීම් වලින් පසු ඒ රණකාමී වදන්පෙල පිට කෙරිණි. බැරියරයෙන් එහා පැත්ත ද මෙහා පැත්ත ද පාරේ දෙපැත්ත ද වීදුරු වල ඉදිරියද අමන්දානන්දයට පත් කරමින්.

" මේ විදිහට බාධක පිට බාධක දැම්මත් එකා පිට එකා වැටුනත් අපේ ගමන අපි යනවා...!!! අපිව නවත්තන්න කාටවත් බැහැ!! "

අනතුරුව. තත්පර හතලිස් තුනක නිහැඬියාව.

මුලින්ම අත තැබූයේ මෙගාෆෝනයට දෙදෙනෙක් දකුණින් සිටි කෙනා ය. ඒ මැදින් තිබූ යකඩ වැටට ය.

ඒ මොහොතේම. අනෙක් අය ක්‍රියාත්මකවන්නට කලින්. ටාරෝ ඉදිරියට ආවේ ය. අතින් ඇද්දේ ය. මෙගාෆෝනයෙන් වර්ධනය කල හඬ හිමියාගේ.

" අයියෙ! ඇයි මේක කඩාගෙන යන්නෙ? "
ඔහුට පිළිතුරු ලැබුණි. විශ්මයෙන්. නොරිස්සුමෙන් නමුත් ආඩම්බරයෙන්.
" මේ ඉල්ලීම් ටික මහ එවුන්ට බාර දෙන්න"

ඊලඟ ප්‍රශ්නය තිබුණේ සාමාට ය. නමුත් ඊට පෙර ක්‍රියාව හා ප්‍රතික්‍රියාව ඇරඹී තිබිණි. යකඩ බැරියර් තුනම එහාට මෙහාට ඇදෙමින්. බලතුලනය වන ලක්ෂ්‍යයන් විසින් තැනෙන රේඛා වෙනස් කරමින්.

මුරු. මෙගාෆෝනය සියතට ගත්තේ ය. 'කීං' ගාන ප්‍රමාණයට වඩා මඳක් අඩුවෙන් ශබ්ද පරිමාව සැකසී ය. මයික්‍රපෝනය සාමා දෙසට ලං කලේ ය.

ගැහැණු විලාපයකට බොහෝ දෑ කල හැක. එහෙයින්ම සියල්ලෝ තම කටයුතු නවතා මෙගාෆෝනයෙන් ඇසුණු " අම්මේ...." ආකාරයෙන් වූ හඬ දෙසට හැරුණහ. බැරියර්. මඳ අස්වැසිල්ලක් ලද හ.

ඒ ලද නිමේෂයේ සාමා තමන්ගේ ප්‍රශ්නය ඇසුවා ය.

" ඔය ලියුම අදම දෙන්න ඕනෙ ද ? මෙච්චර කරදර විඳගෙන ! "

ඇතැමෙක් සිනාසුන හ. ඇතැමෙක් විශ්මයට පත් වූහ. බොහෝ දෙනා කෝප වූහ. සාමා වටකරගත් හ. සරෝජා ද අමර ද ඈන් ද ටාරෝ ද මුරු ද සමඟින්.

ඇතැමෙක් පහර දෙන්නට තැනූ හ. නියමුවන් ඔවුහු වැලකූ හ.

" පිස්සු ද ? "

නියමුවකු ඇසූ පළමු ප්‍රශ්නය විණි. අනතුරුව පැහැදිලි කිරීම.

" හෙට මේක දෙන්න ගියාම උන් බාරගයි. ඒත් උන්ට දැනෙයි ද? මීඩියාවලින් අපිට කවරේජ් එකක් දෙයි ද?
වෙන එකක් තියා පැළුණු ඔළුවක්වත් නැතිව මිනිස්සු අපි කියන දේ අහයි ද ? "

සාමා ද අමර ද ඈන් ද ටාරෝ ද මුරු ද සරෝජා ද හැරුණෝ ය. බැරියර දෙසට. ඉඩ පාදා ගනිමින් ඉදිරියට ගියෝ ය.

බැරියරයෙහි එහා පස. වික්ෂිප්ත දෑස් රැසක් බලා සිටියෝ ය.

සාමා ද අමර ද ඈන් ද ටාරෝ ද මුරු ද ඇවිද ගියෝය. සරෝජා සමඟ. කැතට ඇදවී තිබූ බැරියරය සැකසූ හ. පෙර පරිදි ම.

පොලොවට උඩින් වෙසෙන අය. නොසන්සුන් වෙමින් සිටියෝ ය.
ප්‍රශ්න ඇසූ හ.

" සර් ! උන් බැරියර් එක ආපහු හැදුවා!!" යන්න පිලිවදන් ලැබූ හ.

සාමා ද අමර ද ඈන් ද ටාරෝ ද මුරු ද සරෝජා ද ආපසු සිය පිරිස දෙසට හැරුණෝ ය. තැනින් තැන විසිරී ගියෝ ය. උද්ඝෝෂකයන් මැඳ. ලඟ සිටියවුන් වැලඳ ගත් හ. උන් හා අත්වැල් බැඳගත් හ. උන්ටත් එසේ කරන්නැයි කීහ.

උද්ඝෝෂකයන්. සෙමෙන් සෙමෙන් උන් හා එක් වූහ. මුලින් සැකයෙන්. පසුව සෙනෙහෙන්.

බැරියරයට මෙහායින්. අත්වැල් දම්වැලක් තැනී තිබිනි.

උද්ඝෝෂකයෝ නිවෙමින් සිටියෝ ය. ලඟ සිටින එකා හා හිනැහෙමින්. වඩා පැහැදිලිව හඳුනාගනිමින්.

අනතුරුව. ජනප්‍රිය ප්‍රේම ගීයක් ගැයීම ඇරඹූහ. මුලින්ම තැනින් තැන. තතනමින්. පසුබාමින්. පසුව ඒකතානයෙන්. ජවයෙන්.

වීදුරු ද වයර් ද ප්ලාස්ටික් ද ඔවුන් දෙසට හැරුණෝ ය. පාරේ පාවෙමින් සිටි ප්‍රෝටීන් හා කැල්සියම් රූපයන් ද මොහොතකට හෝ සිතිවිලි ලබමින් නතර වූහ.

පෝස්ටර් ද බැනර් ද සිය ස්ථාන වෙනස් කරගනිමින් සිටියෝ ය. උද්ඝෝෂකයන් හා බාහිර පරිසරය අතරට පැමිණෙමින්.

පොලොවට උඩින් වෙසෙන අය. නොසන්සුන් වෙමින් සිටියෝ ය.
ප්‍රශ්න ඇසූ හ. නියෝග නිකුත් කල හ.

" සර්! ගහන්න පටන්ගන්නවත්, මුන් වැරැද්දක් කරන්නෙ නෑනෙ!" යැයි පිළිතුරු ලද හ.