Friday, January 28, 2022

කළු අඩි සහිත රතු සපත්තුව

 

කළු අඩිය සහිත රතු සපත්තුව


චෝදනාව: ජනාධිපතිතුමා ඝාතනයට තැත් කිරීම.

චේතනාව: ජනාධිපතිතුමා ඝාතනය.

උපක්‍රමය : ජනාධිපතිතුමා ගමන් කළ වෙඩි නොවදින රථයට කාන්තා සපත්තුවකින් දමා ගැසීම.


සිද්ධිය වුණේ උදේ. ජනාධිපතිතුමා ආවෙ වාහන හයක. මුලින්ම පලවෙනි පරිවාර වාහනේ. ඊට පස්සෙ දෙවෙනි වාහනේ. පරිවාර වාහනයක් වගේම පෙනුනට ඒක තමයි වාහනේ. ඒකෙ ඉස්සරහ වීදුරුවට තමයි රතුපාට කාන්තා සපත්තුව වැටුණෙ. පැත්තකින් ගැලවුණ කළුපාට අඩියක් තිබ්බ.

ඇස් මානෙට මොකක් හරි පාත්වෙනව දැකපු ගමන් වාහනේ රියැදුරා එකතැනම තිරිංග පෑගුවා. ඒ ගැම්මට පිටිපස්සෙන් ආව වාහන හතරම තිරිංග තද කළා. පිළිවෙලට.

ඊළඟට පිටිපස්සෙ වාහන හතරෙ දොරවලුත් ඒ පිළිවෙලටම ඒ කාල අන්තරයෙන්ම ඇරුණා. ටිකක් ඉස්සරහට ගිහින් සිද්ධිය දැකපු නිසා පළවෙනි පරිවාර වාහනේ තිරිංග පෑගුණෙත් දොරවල් ඇරුණෙත් ටිකක් පහුවෙලා.

දොරවල් ඇරුණ ගමන් කට්ටිය එළියට පැන්නා. එක තුන හතරෙන් කාකි ඇඳුම් ඇඳපු අය. පහෙනුයි හයෙනුයි වයිවාරණ පාට අය. රියැදුරොයි ජනාධිපතිතුමයි එතුමගෙ ඔඩොක්කුවෙ හිටපු කුක්කයි විතරයි බැස්සෙ නැත්තෙ.

තත්පර විස්සක් යන්න කළින් කාකි ඇඳුම් ඇඳගත්ත අය දෙවෙනි වාහනේ වටේ හිටගත්තා. ජනාධිපතිතුමාගෙ ඔඩොක්කුවෙ ඉන්න කුක්කා ඉන්න වාහනේ.

කාකි වලල්ලට පිටින් වටපිට ඇහැලාමින් පාට පාට අය කැරකුණා. එයින් කෙනෙක් තමයි බොනට්ටුව උඩ තිබුණු කාන්තා සපත්තුව දැක්කෙ. සපත්තුව දැකපු බැල්ම උඩට අරන් යනකොට එයා ජනාධිපතිතුමාගෙ මූණත් දැක්කා. ඉස්සරහ වීදුරුව ඇතුලෙන්. ඒ මූණ කළුම කළුයි. කළුපාට සපත්තුවෙ අඩිය ගානටම. සමහරවිට ඊටත් වඩා.


පාට පාට කෙනාට පණිවිඩේ තේරුණා. සපත්තුව අතට ගත්තා. කුක්කා හිටපු වාහනේ ඉස්සරහින් බුල්ඩෝග් ලීලාවෙන් හැරුණා. පාරෙ වම්පැත්තෙ තිබුණු බස් නැවතුම දිහාට ඒ ගමනින්ම ඇවිදගෙන ගියා. එහෙම ඇවිදගෙන යන අතරෙ මුලින්ම මුණ ගැහුණු කෙනාට ගැහුවා. මූණ පුරවලා.

ඒත් එක්ක පාට පාට රෑනම ඇවිස්සුණා. හිස් ලූ ලූ අත පැනගෙන ගහගෙන ගහගෙන යන්න පටන් ගත්තා.
මිනිස්සු. ගෑනු. පිරිමි. ගුටිකාපු අය. නොකාපු අය. ඉහ හැරුණු අතේ දිව්වා.

සුරංග.

දිව්වෙ නෑ.

පුපුරු ගහන කම්මුල අතකින් තදකරගෙන එහෙමම හිටියා.

පාට පාට රෑන සුරංගව වටකරගත්තා. කාකි රෑන පාට පාට රෑනව වටකරගත්තා.

එතකොටම මාධ්‍යය ඇවිත් කට්ටියව වටකරගත්තා.


අන්තිමට.

ජනාධිපතිතුමා පිඹලා ගියා. කුක්කයි රෑනයි එක්කම.

සුරංගව පොලිසියට අරන් ගියා. මාධ්‍යය පොලීසිය පස්සෙන් ගියා.

පොලීසියෙදි.

මාධ්‍යයට එළියට වෙලා ඉන්න වුණා. සුරංගට ඇතුලටම යන්න වුණා.

මාධ්‍යය හිටගෙනම හිටියා. සුරංගව ඉන්දෙව්වා.


" ඒ සෙරෙප්පුව කාගෙද?"

ඉන්දවපු සුරංගගෙන් හිටගෙන හිටපු නිළධාරියා පළවෙනි ප්‍රශ්නෙ ඇහුවා.

" මට බඩගිනියි "

සුරංග උත්තර දුන්නා.


" තෝ පිස්සෙක්ද?"

දෙවෙනි ප්‍රශ්නෙ ඇහෙන ගමන් කන හරහා අත් පාරක් ඇදිලා ගියා.

ඒ පාරට සුරංග පුටුවත් පෙරළගෙන ඇද වැටුණා. ඇද වැටුණු සුරංගට සිහි නැති වුණා.

වතුර ඉහුණා.

ඉන්දවුණා.

හුළං ගැහුණා.

සිහිය එවුණා.


සිහිය ඇවිත් ටික වෙලාවක් යනකොට පොඩි මේසයක් ආවා.

මේසෙ සුරංගට කිට්ටු වුණා.

කිට්ටු වුණ මේසෙ උඩට පාන් බාගයයි මාලු හොද්දයි දීසියයි පිඟන් දෙකයි වතුර වීදුරුවයි ආවා.


වෙන නිළධාරියෙක් කන්න කියලා අඟවමින් ඔළුව වැනුවා.

සුරංග හොදි බෙදා ගත්තා. පාන් කඩා ගත්තා. මාලු හොද්දෙ පොඟවලා පාන් කෑවා.

පාන් බාගෙ ඉවර වුණාම වතුර බිව්වා.

මේසෙ අයින් වුණා. වෙන නිළධාරියා සුරංග ඉස්සරහින් ඉඳගත්තා.


" ඒ සෙරෙප්පුව කාගෙද?"

" දන්නෙ නෑ"


" කොහෙද තිබ්බෙ?"

" දන්නෙ නෑ"

" එහෙනම් තමුන් ඒකෙන් ගැහුවෙ"

" මොකේටද?"

වෙන නිළධාරියටත් සෑහෙන්න තරහ ගියා. එයා හිටපු පුටුව පෙරළෙන්න තරම්. ඇත්තටම ඒක පෙරළුණේ අහම්බෙන්. එයා හිටගත්ත වේගෙට.

හිටගත්ත එයා ටිකක් හිටියා. වැටුණු පුටුවෙ සද්දෙ නතරවෙනකල්. ඊට පස්සෙ ඊට වඩා ටිකක් අඩු සද්දෙන් ප්‍රශ්නෙ ඇහුවා.

" එතකොට තමුසෙ නෙවෙයිද ගැහුවෙ?"

"මං නෙවෙයි තමයි ! "


ඒ ගමන නම් සද්දෙ වැඩි වුණා. පුටුව වැටුණු සද්දෙටත් වඩා.

" එහෙනම් මොකද යකෝ දිව්වෙ නැත්තෙ?"


සුරංග ඒකට උත්තර දුන්නෙ නෑ.

ටික වෙලාවකට පස්සෙ වෙන නිළධාරියා ආපහු ඒ ප්‍රශ්නෙම ඇහුවා. වෙන වචනවලින්. අඩු සද්දෙන්.

" ඇයි තමුසෙ දිව්වෙ නැත්තෙ?"


සුරංග තවත් ටික වෙලාවක් නිහඬව හිටියා.

ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන ඔලුව ඉස්සුවා.

හැඟීමක් නැති ස්වරෙකින් උත්තර ප්‍රශ්නයක් ඇහුවා.


" කොහෙට කියල දුවන්නද?"

Wednesday, January 26, 2022

අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. Translation: Tonight I can write the saddest lines by Pablo Neruda

 Translation of the poem " Tonight I can write the saddest lines"  by Pablo Neruda

අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. 


ලිවිය හැක,  නිදසුනක් ලෙස.
" රාත්‍රිය පුපුරා හැලී ඇති අතර නිල් තාරකා දුරින් හිඳ වෙව්ලයි " 


රාත්‍රී සුළඟ නුබ සරයි ගයමින්. 


අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. 

ඇයට මම පෙම් කළෙමි, ඉඳහිටක ඇය ද මට පෙම් කරද්දී. 


මෙවන්ම නිශාවන්හි ඈ මගේ දෑතෙහි දරා සිටියෙමි 

නිම්නැති අහස යට අතෝරක් නැතිව ඈ සිඹිමින්. 


ඉඳහිටක ඇය මට පෙම් කළා ය, මා ද ඇයට පෙම් කරද්දී. 

කිසිවකු කෙලෙසින් පෙම් නොකරද්ද ඒ විසල් නිසල් දෙනෙතට. 


අද රැයෙහි මට ලිවිය හැක දුක්බරම පද. 

නැතැයි මට ඇය සිතන්නට. නැතිවිනැයි ඇය මට දැනෙන්නට. 


ඇය නැතිව තව තවත් විසල්වන අසීම රැය වෙත සවන් යොමන්නට.
තණ බිමට පිනි වැටෙන ලෙස කවි හැලෙයි ආත්මය මත. 


ඇය රඳවනු නොහුණු මගේ පෙම කුමක් කරන්න ද. 

රාත්‍රීය පුපුරා හැලී ඇතිවිට ඇයත් මා අස නොමැතිව. 


සියල්ල හමාරය. දුරින් ගයයි අයෙක්. ඈතට වී  හිඳ. 

නොසැනහේ මගේ ආත්මය ඈ අහිමිව ගිය හෙයින්. 


ඈ වෙත යනු රිසින් මා දෑස ඈ සොයයි. 

හද ඇය විමසයි ඈ නොවේ මා හා.


සුදු පැහැය තවරයි ඒ රැයම ඒ තුරු මතම. 

එදා සිටි අප දෙදෙන තවත් එළෙසෙම නොවෙයි. 


නිසැකවම. හමාරය මා ඇයට පෙම් කොට. මෙතෙක් කොතෙක් කෙසේ පෙම්කොට තිබුණද. 

ඈ ඇසුම් පහස ලබනු රිසියෙන් සුළඟක් සොයයි මගේ හඬ. 


තවෙකකුගේ ය. තවෙකකුගේ වන්නී ය ඈ. මගේ පෙර සිපුම් විලසම.

ඇගේ හඬ. ඇගේ දිදුලන වත. ඈ සතු අනන්ත දෙනයන. 


හමාරය මා ඇයට පෙම් කොට. එහෙත් මා ඇයට පෙම් කළ යුතුවා ද විය හැක. 

ප්‍රේමයන් ඉතා කෙටි වෙද්දී මතක නැතිකෙරුම් දිග්ගැස්සී යයි 


මෙවන්ම නිශාවන් පුරා ඈ දරා සිටියෙන් මේ දෑත් මත 

ඇගේ වියෝවෙන් නොසෑහී තැවෙයි මා හද 


මේ ඈ තැනූ අවසාන විඳවුම ද විය හැක 

ඈ වෙනුවෙන් ලියනා අවසාන පදවැල ද විය හැක.