Monday, November 26, 2012

:: මතක අමතක ::














පරණ මතක
ඉඳහිටක අළුත්වන
හොරෙන්ම හිනැහෙන
අනෙකකු හා බෙදෙන
කෙබරයක් තෙපරබා හිනැහෙන
ඉඳහිටක ඇත්තම කියවෙන

රූ රටා
පෙම් සුවඳ වියැකුණ
දෙපසෙහිම ඇලවෙන
නොදන්නා සේ හිඳින
අනුන් රවටා අපද රැවටෙන
දකින්නත් ඇතැයි සිතමින


පෙම් කථා
හරබරව වියමින
එතරම්ම පෙමින
වෙනකකු හා බැඳෙමින
පැරණි ප්‍රේමය ඔපයට එල්ලන
උඩඟු බැල්මෙන් එ‘වග දොඩවන

Wednesday, November 21, 2012

:: ලේ සහ කඳුළු ::










කඳුළු....!
මිණි කැටව බිම වැටිය යුතුමය
ස්නේහ පැතුමෙන් විලිබරව මිස
ගාසාහි මෙන් මර බියෙන් නොව

ඇස්....!
විවර වී මඟ බැලිය යුතුමය
මාපියන් මඟ එත්ද වග මිස
අහස බිඳ එන ගිනි පුලිඟු නොව

කඳුළු...!
නෙතඟ දිලිසී තිබිය යුතුමය
ප්‍රේම පහසින් ඔකඳවී මිස
තල් ගසක් යට වෙව්ලමින් නොව

දෙපා....!
ජවය යොදමින් දිවිය යුතුමය
වසත් සමයෙක කෙළිදෙලෙන් මිස
ක්‍රෑර අවියක ගිනි බියෙන් නොව

කඳුළු...!
කොපුල් රූරා ගැලිය යුතුමය
පිය සම්පයෝ තුටින් මිස
මැරුණු මවුපිය නැති සොවින් නොව

ලේ.....!
නහර සූරා ගැලිය යුතුමය
සිය දරුට කිරි බිඳක් වී මිස
නිසරු පොළවක පොහොර වී නොව

Wednesday, November 7, 2012

:: තාර මිනිසුන් ::

















පාරවල් වන් මිනිසුන්ද ඇත...!
බොරළු ගල් සඟවාන
මටසිළුටු තාරයෙන් හිනැහෙන.
ටයර පා රිදෙතැයි
තව තවත් ගෙවී මුදුවෙන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තුනී තනි වැස්මකින්
පැරණි වලවල් වසාලන.
කැඩී සුන්වී ගියද
මඟ දමා දුර නොයන.

පාරවල් වන් මිනිසුන්ද ඇත...!
තැලී පොඩිවී වුවද
ඉමක දුර රැගෙන යන.
මඳහසක් වෙනුවට
දුම් රැසින් තුති ලබන.