Sunday, December 24, 2017

CLASS M6 788

ගුරු ගීතය. ඔහු ඇයට තෑගි දුන් මුල්ම පොත විය.
ඔහු ලියූ කවි පොත් දෙකක් තෑගි දුන් පසුව.

පොත් බැඳීම. ඇගේ තුන්වෙනි රැකියාවේ එක් කාර්යයක් විය. නගරයට පාව ආ පසු ලැබුණු. උපන් තැනින් ද වැඩුණු තැනින් ද කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ.

ඔහු. විනෝදය පිණිස කවි ලිවීය.
ලියූ කවි පොත් කළේ ය. මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට අවනතව.

පරිගණක පිටු සැකසුම. ඇගේ අනෙක් රාජකාරිය විය. පොත් බැඳීම හා ඡායා පිටපත් ගැනීමට අමතරව.

ඔහු. මුල්ම දින ආවේ ඡායා පිටපත් ගැනීමටය. 'කෆ්කා මුහුදු වෙරළේ' නම් පොතක.
බළලා. ඇය බළලා දෙස අවධානයෙන් බැළුවේ දෙවන වර ය. කවරයෙහි සිට තමා දෙස හොරැහින් බලා සිටි.

දෙවන දින. මුල්ම දිනට දින විසි අටකට පසු ආයේ ය.
ඔහු. සිය අලුත්ම කවි පොත රැගෙන ආයේ ය.
අතින් ලියූ. පරිගණක පිටු සැකසුම උදෙසා.

අකුරු. වචන. කවි.
ඇය වචන පටලා ගත්තා ය. යතුරු පුවරුව ඔබද්දී.

ඔවුහු.
ඇස් පටලා ගත් හ. සිනහ පටලා ගත් හ. අදහස් පටලා ගත් හ.
සෝදුපත් බලද්දී අත් පටලාගත් හ.

......................................................................................................................................................…

පාරදිගේ. ඔහු ඇයට තෑගි දුන් අවසාන පොත විය.
දෙදෙනාම එක පොරෝනයක් පටලාගත් දිනෙක.

චිත්‍රපට කතා. ඇය කියවා තිබුණේම නැත.
චිත්‍රපට බැලීම හා ඇසීම හැරුණු විට.

ඇය පාරදිගේ කියෙව්වා ය. ඉතා සෙමෙන්. උගනිමින්.

ඔහ විදෙස් ගත වුණේ ය. වැඩිදුර ඉගෙනුමට.
පවුලේ ඡායාරූපයක් ෆේස්බුක් දැමී ය. මුල්වරට.

ස්වර්ණා හඬා වැටුණා ය. නවාතැන්පලෙහි වැසිකිලියට වැද.
කඩදාසි පටියක් අතින් ගෙන. රතු පැහැති ඉරි දෙකක් සටහන් වුණ.

කෑම අඩු කළා ය. ෆේස්බුක් මැසේජ් යැව්වා ය. පිලිතුරු නොලද්දා ය.
බලාගත් අත බලා සිටියා ය. හුස්ම අදිමින් හැඬුවා ය.

හඬා අවසන නැඟිට්ටා ය.

නිවාඩු දැම්මා ය. කාරණය ලෙස විවාහය සටහන් කරමින්.
ගෙදර ගියා ය. කිලෝමීටර් එකසිය අසූ නවයකට දුරින් වූ.
සතියක් හිටියා ය. ආපසු ආවා ය. විවාහයකින් තොරව.

යළි ගෙදර නොගියා ය. මාස හතක්.

................................................................................................................................................................

කුස. නෙරා ආයේ ය.
ඇය. තනිව ක්ලිනික් ගියේ ය.
සැමියා. කටාර් වල යැයි කීවා ය.
විවාහයට නිවාඩු දැමූ හෙයින් දැන්ම එන්ට වෙන්නේ නැතැයි කීවා ය. ඇසූ අයට.

සැමියා නැතත් පොඩි මල්ලී ආවේ ය.
කුස දෙස බලා සිටියේ ය. විශ්මයෙන්. අවිශ්වාසයෙන්. සැකයෙන්. තරහෙන්. දුකෙන්.
ආපසු ගියේ ය.

ස්වර්ණා. හඬා වැටුණා ය. හෝටලයක වැසිකිලියට වැද.
ඇය. හඬා වැටුණා ය. නවාතැන්පලෙහි ඇඳෙහි වැතිර.

නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය. ඇහැරුණා ය. නිදාගත්තා ය.


ඇහැරුණා ය. දුරකතනය නාද වන හඬින්.

තිරය දෙස බැළුවා ය. බිය වූවා ය. දුක් වූවා ය. සැලුණා ය.
නැඟිට ගත්තා ය. ඇඳෙන්.
දිව ගියා ය. දුරකතනයෙන් දුරට.

අඩි පාර දිගේ. කොන්ක්‍රීට් පාර දිගේ. කාපට් පාර දිගේ. කොන්ක්‍රීට් පාර දිගේ. තාර පාර දිගේ.

නැවතුණා  ය. කෝච්චි පාර මැඳ.

...........................................................................................................................................................

Amma.
දිව එමින් සිටියා ය. ඇය පසුපසින්. විලාප නඟමින්. දෙස් තියමින්. හඬමින්.
දුරකතන තිරයෙන් පැනවිත්.

CLASS M6 788.
ඇදී එමින් තිබුණේ ය. කිලෝමීටර් තුනක් දුරින්. ඒ කෝච්චි පාරේ ම. ඇගේ මුහුණ දෙසට තම අංකය හැරෙන සේ.

අම්මා. ඇය තනන්නට ගත් වෙහෙස කියවමින් සිටියා ය. ලොකු මහත් කරන්නට ගත් වෙහෙස කියවමින් සිටියා ය. කොටහලු දා සිහි කරමින් විලාප තබමින් සිටියා ය.

කෝච්චිය. නළාව පිම්ඹේ ය. වංගු දෙකක් දුරින් හිඳ.
ඇය. නතරව සිටියා ය. කෝච්චි පාර මැඳ.
අම්මා. විලාප නඟමින් සිටියා ය. ඇගේ හිසතුල. ඇයට පිටුපසින්.

ඇය. හැරුණා ය. සිතෙහි වූ අම්මාට වැන්දා ය. සිතෙන්.
ඉදිරිපස හැරුණා ය. කෝච්චියට මුහුණ පා.
ඇස් පියා ගත්තා ය.

ඊට තත්පර තිස් දෙකකට පසු.
තවමත් හරියට නොවැඩුණු පාදයක්. තම මුල්ම පා පහර එල්ල කලේ ය. තම මවගේ ගර්භාෂ බිත්තියට.
කෝච්චිය මීටර් හත්සිය හැත්තෑවක් දුරින් තිබියදී.

..........................................................................................................................................................…

ඇය.
ඇස් ඇරියා ය. කුස අත ගෑවා ය. දෙවන පහරද ලැබුවා ය.
කෝච්චි පාරෙන් ඉවතට පැන්නා ය.

Friday, December 8, 2017

:: රතු මල් ::

චිත්ත සංනිවේදනය.
සංකල්පයක්ව සිට මේ දක්වා යෝධ පිමි තුනක් පනිමින් පැමිණ තිබිණි. දශක දෙකහමාරක් මුළුල්ලේ.
ජංගම දුරකථන හා වෙනත් සන්නිවේදන සේවාවන් අනුකුලක බවට පත් කරමින්.
භාෂාවන් දෙවෙනි තැනට ඇද දමමින්.
දින ගණනක් පුරා කථා කිරීමට තිබූ සංවාද නිමේශයන් කිහිපයකට සීමා කරමින්. වචන වලට වඩා හැඟීම් ඉතා වේගවත් වූ හෙයින්.

මේ ගමන. කිසිසේත්ම පහසු වූවක් නොවූයේ ය.

මුලින්ම චිත්ත තරංග හඳුනා ගතයුතු විණි. අනතුරුව වර්ධනය කිරීම හා අනෙකා වෙත සන්නිවේදනය කිරීමෙන් පසු ග්‍රාහකයා විසින් හඳුනාගෙන ආදානය කිරීම යන පියවරවල් සාර්ථකව පසුකල යුතු වූයේ ය.

විද්‍යාඥයන් මනෝ වෛද්‍යවරුන් යෝගීන් යකැදුරන් ආදී මෙකී නොකී ප්‍රවර්ගයන්ට අයත් දහස් ගනන් පිරිසක් එක්ව කල මහන්සියේ ප්‍රතිඵලයක්ව ප්‍රතිදාන හා ආදාන උපාංගයන් දෙකක් මුලින්ම තැණුනි.

අතුරු කථාව. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානීත්වය දැරූ මහාචාර්යවරයා මූලික අදියරයේ පවත්නා උපකරණ කට්ටලයක් සිය බිරිය හා එක්ව අත්හදා බැලූ අතර එහි අවසන් පතිඵලය වූයේ ඔවුන් දෙදෙනා දික්කසාද විමයි. එතැන් සිට මහාචාර්යවරයාගේ ප්‍රධාන ඉලක්කය වූයේ මෙම ක්‍රමවේදය හරහා සන්නිවේදකයාට අවශ්‍ය තෝරාගත් සිතිවිලි පමණක් අනෙකා හා සන්නිවේදනය කලහැකි වන පරිදි පෙරහන් උපක්‍රමයක් දියුණු කිරීම යි.

මුලින් හිස් පලඳනාවක් ආකාරයෙනුත් අනතුරුව ඇඳුමෙහි හෝ ශරීරයෙහි පැළඳිය හැකි උපාංග ආකාරයෙනුත් වෙළඳ පොලට ආ මෙම උපාංග කෙරෙහි මුලින්ම කිසිවකුගේ දැඩි විරෝධයක් නොතිබිණි. ආගමික කල්ලි කිහිපයකගේ හැර.

විරෝධය. එය දැඩිව නැඟ ආවේ ඉහල අහසේ රඳවන බැලූන් වල ආධාරයෙන් සියළු දෙනාට නොමිලේ උපාංග රහිතව තම සන්නිවේදන කටයුතු කරගෙන යෑමේ පහසුකම ලබාදෙන බවට රජයන් නිවේදනය කිරීමත් සමඟම ය. ඇතැමුන් ඊර්ෂ්‍යා පරවශව මේ ජාතික ධනය අපතේ යැවීමකැයි කියමින් උද්ඝෝෂණයන් ඇරඹු හ. තවත් අය මේ හරහා ලෝක බලවතුන් ට රජයට හෝ පහසුකම් සපයන ආයතනයට ඔනෑම අයෙකුගේ සිතිවිලි කියවීමට ගබඩා කිරීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට ඉඩ ලැබෙතැයි යන තර්කයෙහි සිට සිය විරෝධයන් පෑ හ.

නමුත්  අවසානයේ දී මාධ්‍ය හා සමාජජාල මෙන්ම සාමාජයීය බලපෑම් කලහැකි කණ්ඩායම් හරහා කල විශාල පරිමාණයේ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණි. ඇල් මැරුණු විරෝධය පෑම් කිහිපයක් මැඳ.

නොමිලේ සන්නිවේදන පහසුකම් ලද මිනිසුන්. කොහොඹා කංකාරිය නැටූ හ. ටිනික්ලින්ග් නැටූ හ. කිරි කොරහ නැටූ හ. ප්‍රාවෝ හොරෝ නැටූ හ. බුලෝ නැටූ හ. කොලෝ නැටූ හ. තම මුල් ඇදුණු සංස්කෘතීන්ගෙන් ශේෂව පවතින. සතුට අතිශයෝක්තියට නැංවෙන සැම විටකම එළිබැස නැටවෙන.

සමාගම් හා රජයන්. රාජ්‍ය උපදේශකයන්. ආර්ථික හා ආරක්ෂක ප්‍රවීනයන්. විරෝධයන්ගෙන් ගතහැකි සියළුම යහපත් ආදර්ශයන් ගත් හ. සියවස් ගණනක් පුරාවී ඇති පරිදි ම.

සාප්පු සංකීර්ණ පුරා සිතිවිලි කියවනයන් සවි වූ හ. පාරිභෝගිකයන්ගේ අදහස් ලබා ගැනුම ට. ඔවුන්ගේ කැමැත්ත ඇතිව ම. ප්‍රතිඵල ලෙස පුද්ගල කේනද්‍රීය අලෙවිකරණයන් වඩා ව්‍යාප්ත වූ හ. අට වයස් දරුවන් වැලන්ටයින් තෑගි ලැබූ හ. දෙමාපියන් දැනගැනීමටත් පෙර දියණියන් ට පූර්ව ප්‍රසව උපදේශන සේවාවන්ගෙන් කථා කල හ.

රියැලිටි වැඩසටහන්හි සිතිවිලි ප්‍රක්ෂේපණයන් ආකර්ශණී ය විය. තැති ගැන්වෙන සුළු විය. හාස ජනක විය. පිළිකුල් ද විය. නමුත් විකිණිය හැකි විය.

සියල්ලට මත් වඩා. ලෝකයේ සියළුම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයන්. රාජ්‍ය ගොඩනැඟිලි. සිතිවිලි කියවනයන් මූලික කොටගත් ආරක්ෂක උපක්‍රම වලින් සන්නද්ධ වූයේ ය. ආරක්ෂක නිළධාරීන් සංඥා සළකුණක් පමණක් බවට පත් කෙරෙමින්. තාප්ප බිඳ දමමින්. දොරවල් සුළං ආවරණ බවට පත් කරමින්. ලෝහ හා ආයුධ පරීක්ෂකයන් කුණුගොඩවලට  යවමින්.

අනිසි සිතුවිලි ඇති යමෙකු මේ වෙත ආයේ නම් ඔවුන් ට බොහෝ කරදර ගෙනෙමින්. රාජ්‍ය විරෝධී හැඟීමක්. වෛරී සිතිවිල්ලක්. සොරකමක් පිළිබඳ ආශාවක්.

මුලින්. තම සිතිවිලි මෙලෙස නිරීක්ෂණය කිරීම කෙරෙහි බොහෝ ජනයා විරුද්ධ වූ හ.
නමුත් බීජිං හි, දිල්ලියෙ හි හා අබුඩාබි හි සිදු වූ බෝම්බ පිපිරීම් මෙන් ම නිව්යෝක් ඇම්ස්ටර්ඩෑම් හා සිඩ්නි නගරවල සිදු වූ වෙඩි තැබීම් මුලින් දැන ගැනීමට හෝ වලක්වා ගැනීමට පවතින ආරක්ෂක උපක්‍රමයන් හා ක්‍රමවේදයන් අසමත් වූ බව තේරුම් ගත් ජනයා සිය විරෝධය හකුළා ගත් හ.

සමාගම් අනුගමන ය කලේ වෙනස් ක්‍රමයකි. ඔවුහු සිතිවිලි කියවනයන් විසින් ආවරණය කෙරෙන සාප්පු සංකීර්ණ වලදී ඇදහිය නොහෙන තරම් වැඩි වට්ටම ලබා දුන් හ. පසුව ඉතිරි සාප්පු සංකීර්ණ වසා දැමූ හ. පාරිභෝගිකයන් අඩුවූ හෙයින්.

* * * * * * * * * * * * *

රතු මල්. ජොආනා සිතා සිටියේ තමා ලබන සතුට තමා  සතුවන රතුමල් වල ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වන බව ය.


සත්‍ය වශයෙන්ම ඇය ට ඒ බව ඒත්තු ගන්වා තිබුණේ සිය අසල්වැසියෙකු විසිනි. නගරයේ විශාලම සාප්පු සංකීර්ණයේ සේවය කල. වසර කිහිපයකට පෙර රැකියාවෙන් නෙරපුණ. හානිකර සිතිවිල්ලක් ඇතිවීම හේතුවෙන්.

රැකියාවෙන් එළියට දැමුණු ෆෙඩ්‍රික් නිවසටම වී කාලය ගත කලේ ය. රැකියාවකට නුසුදුසු ලෙස ලැයිස්තුගත වූ හෙයින්. ඒ අතරතුර අසල්වැසි ජොආනා හඳුනා ගත්තේ ය. සිරුරෙන් මේරුව ද මනසින් නොමේරූ.  ඇය හා ඇසුරට වැටුණේ ය. රතුමල් ගැන කථා කලේ ය.

වසරක් තුල. ජොආනා දකින දකින රතුමල කඩා ගැන්මට තරම් දියුණු වූවා ය. ආශාවෙන්. හඹාගොස්.

වෛද්‍යවරුන්. ඇයට ප්‍රතිකාර කල හ. චර්යාත්මකව ද ඖෂධීය ද ලෙස. නමුත් ප්‍රතිඵල නොලද් හ.

**********************
එක් දිනෙක.
සියල්ලෝ ම කැළඹී සිටිය හ. ලෝකයේම. වෙනසක් නැතිව. පාලකයන් ද පාලිතයන් ද. ධනවතුන් ද දුප්පතුන් ද. මහ උන් ද කුඩා උන් ද ලෙස. මාධ්‍ය මෙහෙයුම් පැය විසිහතර පුරා විකාශය කෙරිණි. ප්‍රවෘත්ති ආවරණයන් හා සාකච්ඡා කැටිව. චිත්‍රාගාරතුල සිට විද්වත් අදහස් ද මහපාරේ සිට මහජන අදහස් ද ගොනුව.

ලෝකයේ විශාලම සාප්පු සංකීර්ණයක බෝම්බයක් පුපුරා ගොස් තිබිණි. ලෝකයේ අවසන් බෝම්බ පිපිරීම වාර්තා වී වසර පහමාරකට පසු. මිනිසුන් එකසිය තුනක් මරා දමමින්. තව බොහෝ අයට තුවාල කරමින්.

බෝම්බය ගෙන ආ අයගේ යැයි සැක කෙරෙන සිරුරු කොටස්. සාප්පු සංකීර්ණයේ මැද මිදුලෙහි වූ රතු ටියුලිප් මල් සුන්බුන් හා මිශ්‍රව තිබිණි. වසර දෙකකට පෙර ෆෙඩ්‍රික් විසින් වගා කෙරුණු. පසුව වෙන අය අතින් නඩත්තු වූ.

Thursday, August 10, 2017

:: නිමි ::

නුඹේ තොට අස නැඟුම් ලනු පෙර
බොහෝ තොටුපළ පසුකලෙමි මම්
විටෙක මුදු විය විටෙක සැඩ විය
ඒ සියල් මඟ බිඳුණු තැන්


සිතුවමක හිස් ඉඩ පිරී ඇත
නේක වර්ණෙන් නොම වුවත්
එකම එක පැන්සල් ඉරක් වුව
බිඳ දමාලයි හද නිවන්


යළි පාන්නට හෝ ලබන්නට
අත ඉතිරි නැත  ස්නේහයක්
ඔරුව මා වෙමි සැඩෙන් ගැලවී
සදා නුඹ අස සුව සොයම් 

Monday, July 3, 2017

:: නම් නැති 15 ::

වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
 හිටිවන ම පිටවුම ට.

දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත. 

විරහව ද එලෙසම ය.

Sunday, July 2, 2017

:: නම් නැති 14 ::

අහඹු පුපුරකින් ගිනිගත්
කළු ගැහුණු පුළුන් පෙඳ.

 සුළං රළ වළකයි
දිග හැඩති සෝපාව.

Saturday, July 1, 2017

:: නම් නැති 13 ::

දැවී හළු වන්ට පෙර
යන්තමින් හෝ සිඹිමැයි
පොළොවටම එයි ඇතැම් තරු

දිවෙනට වරම් නොමැතිව
දිලෙමින් ම සැනහෙති
නුබ ඉතිරි තව බොහෝ තරු

Thursday, March 23, 2017

::හිත්::


ගිලිහුණත් පැටලෙති
යලි යලිත් තව තවත්
කාසිමොඩෝ තරම්ම කුදුවට
එස්මෙරෙල්ඩා තරම් හැඩට
දෙදෙනා විලසම තදට...!

Tuesday, March 21, 2017

:: නම් නැති 12 ::

.
ඇඳීමි
දියමත ඉරක්.

කප්පරක් පාසි
හරියටම ඒ ඉරමත..!

Saturday, March 18, 2017

::සත්තු::



වලාවක් ඇදුනා පහලින්
මුවාකර උකුසුවෙස
කිසිවක් නොදත් කිරලෙක්
නැඟුණා වලෙක හිඳ

ඉඳහිට වහන කපුටෙක්
බින්දත් සමාධිය
අව්වෙත් නිදති යහතින්
අම්බරුන් නිහඬව

Sunday, February 26, 2017

:: නම් නැති 11 ::

ආ මඟ ම මෙහි බෝ දිගයි
ඇණී පෑහුණු කටු බොහොයි
වංකගිරිය ද මෙය යි
තැබූ මං ඉඟි පැටලවෙයි

මතකයේ ඉඩ හරි අඩුයි
සිහිය සැම විට බොඳ කරයි
මීදුමක සුව දෙන උදාසන
සැඩ දවාලක් බව නොම කියයි

Friday, February 24, 2017

:: පද්ධති විශ්ලේශණය ::

" ඔච්චර දෙන්න එපා !"
අපට දකුණු පසින් ආසන තුනක් ඉදිරියෙන් ඇවිද ආ යදියාට දෙනු වස් මා ලඟ තිබූ අවම නෝට්ටුවට වඩා වැඩි නෝට්ටුවක් අතට ගනිද්දී ඔහු පැවසී ය. මගේ වම්පසින් හිඳගෙන.

මම. ඔහු දෙස බැලී මි.

"පිනට දුන්නට කමක් නෑ. හැබැයි ඔය මනුස්සයට ඔච්චර දෙන්න එපා. "
ඔහු පිලිවදන් දුන්නේ ය. මගේ ප්‍රශ්නාර්ථ බැල්මට. සිනාසෙන දෙනෙතකින්. අඩු ස්වරයෙන්. ස්ථිරසාරව. මඳ විධානයකින් යුතු ව.

මම. වහා අතේ තිබූ නෝට්ටුව මාරු කලෙ මි. ඊට වඩා අඩු අගයකට. යදියාට දුන්නෙ මි.

යදියා. බැස ගියේ ය.

අපි. විනාඩි තුන හමාරක් නිහඬව සිටියෙමු. එකිනෙකා දෙසට හැරුණෙ මු. කථාව ඇරඹී මු. එකවිට.

මම. ඔහුට ඉඩදී කථාව නැවතූයෙ මි. ඇරඹූ තැනම.

ඔහු. බාධාවකින් තොරව කථා කරගෙන ගියේ ය. ඇරඹූ ලෙසින්ම.
" මනුස්සය හොරෙක් වංචාකාරයෙක් නෙවෙයි. හැබැයි මිනිහට වැඩිපුර සල්ලි එකතුවුණොත් ඒකෙන් බොනවා. ඉතිං බොන්න ගියාම ගෙදර යන්න පරක්කු වෙනවා. එහෙම දවසට අර කියපු ඇස් පේන්නැති අම්මටයි ඉස්කෝලෙ යන නංගිට යි කෑම පරක්කු වෙනවා"

" අහ්! සමාවෙන්න ...!"
ඔහු.
කථාව නැවැත්වී ය. එකවනම.
යළි ඇරඹී ය. තමා කවුදැයි හඳුන්වා දුන්නේ  ය.
මගේ නම කීමට අවකාශ ලබා දුන්නේ ය. රැකියාව අසා දැන ගත්තේ ය.
ජනේලයෙන් ඉවත බලා ගත්තේ ය. පසුවී යන  අහස දෙසට. සිනාසෙන දෙනෙතින් ම.


ආපසු හැරුණේ ය. ටික වේලාවකින්.  
" වළාකුළු යි  හුළඟ යි කුරුල්ලොයි හැසිරෙණ විදිහට අද හවස් වෙද්දි වහියි"

මම.
අහස බැලීමි. වළාකුළු කිහිපයක් දැරූ. ලා අළු පැහැති.
සුළඟ සෙවීමි. ගස් අතු අතරින් හමායන. මඳ වේගයකින්.
කුරුල්ලන් දිටිමි. ඔහේ පියාඹන. වෙනසක් නැතිවම.

" එහෙම බැහැ. වෙන වෙනම නෙවෙයි. වළාකුළු යි හුළඟ යි කුරුල්ලොයි එකට බලන්න ඕන. ඒ අය එක එක්කෙනාට ප්‍රතිචාර දක්වන විදිහ"
ඔහු පැවසී ය. මගේ දර්ශන පථයට වචන දමා ගසමින්.

අනතුරුව. පාදා ගත් ඉඩ හරහා තව තවත් වචන එවන්නට වූයේ ය.
" ඒක හරියට දර්ශක  කීපයක් තියෙන පද්ධතියක්  දිහා බලා ඉන්නවා වගේ  වැඩක්. එක එකකින් ලැබෙන්නෙ වෙනස් පරාමිතීන්. හැබැයි ඒ හැම එකක්ම පද්ධතිය පිලිබඳ ප්‍රතිදානයක් වෙනවා. ඒ ඔක්කොම එකට ගත්තොත් තමයි හරියටම පද්ධතිය පිළිබඳ ව අදහසක් ගන්න පුළුවන් වෙන්නෙ"

මම දරාගන්නට උත්සාහ දරමින් සිටියෙමි.  බසයේ වේගයත්. ශබ්ද විකාශනයේ හඬත්. පසුකර යන අහසත්. ඔහුගේ වචනත්.

ඔහු.  කථාව නැවැත්වී ය. එකවරම. මගේ අපහසුව දැනීමෙන් දෝ.
" සමාවෙන්න. මෙතන මෙහෙම දේවල් කථා කරන්න පුළුවන් තැනක් නෙවෙයි නේද?"
හිනැහුණේ ය. කල්පනාවට වැටුණේ ය.

විනාඩි. තුන්කාලක් ගෙවී ගියේ ය.

" මෙහෙම කරමු. මං බහින්නෙත් ඔයා බහින තැනින්ම යි. තාම රෑ වෙලානැති නිසා රෙස්ටොරන්ට් වල සෙනඟත් නැහැ. පැය බාගයක් පරක්කුවෙලා ගෙදර යමු"


මම. තුෂ්නිම්භුතව සිටියෙමි.  මඳ වේලාවක්.
එකඟතාවය පලකරමින් හිස වැනීමි. සිනා පිරි මුවින්. සුරා ලෝලයෙන් ද කුතුහලයෙන් ද පෙලඹෙමින්.

නැවතුම් හතරකට පසු.
අපි ඇවිද යමින් සිටියෙමු.
මා ඔහුගේ පසෙකින්. සුරා ලෝලයෙන් ද කුතුහලයෙන් ද පෙලඹෙමින්. මටම දොස් පවරාගනිමින්. පින් අඩි ගසන්නෙකුට හසු විනැ යි සිතමින්.

ඇණවුම් කලේ ඔහු ය. සියල්ල මා නිතර ඇණවුම් කරන  දෑ ය. කටගැස්ම පවා. මෘදුකාරකය පමණක් වර්ග දෙකකින්.

ඔහු. නැවැත්වූ තැනින් කථාව ඇරඹී ය. ආටෝප සාටෝප නැතිවම.
" මෙහෙම හිතන්න. දැන් මේ විදුලි බුබුල ගත්තොත්. ඒක එළිය දෙනවා. ඒ තමයි ප්‍රතිදානය. මේ ප්‍රතිදානය හරියට විශ්ලේශණය කලොත් අපිට පුළුවන් ඒ ප්‍රතිදානයට හේතු වුණ ආදානයන් ගැන
සෑහෙන විස්තර ගොඩක් හොයාගන්න. ඒක විදුලි බුබුල ඇතුලෙ තියෙන සූත්‍රිකාවේ ඉඳන් ඒ හරහා ගලන විදුලිය නිපදවන්න හේතුවුණ ශක්ති ප්‍රභවය දක්වා විශාල පරාසයක පැතිරුණු දේවල් ගැන අදහසක් ලබා දෙනවා"

මම. ආකර්ශණය වෙමින් සිටියෙ මි.
ඔහු. වීදුරු පිරෙව්වේ ය.
අපි. මුල් වඩිය බීවෙමු. එකවර. එකවිට.

"තවත් උදාහරනයක් විදිහට කියනවා නම් වර්ණාවලි විශ්ලේශණය මඟින් අදාල සංයෝගය හඳුනාගැනීම කියන්නෙත් මේ විදිහෙම දෙයක්. "

" අපිට මේ දේවල් මෙහෙමම යොදාගන්න පුළුවන් අවට පරිසරය හෝ මිනිසුන් විශ්ලේෂණය කරන්නත්. නමුත් එතැනදී මතුවන ලොකුම ගැටළුව තමයි අපට විශාල පරාසයක විහිදුණු ප්‍රතිදානයන් රාශියක් එක්වර ලැබීම හා ඒවා අතර අන්තර් සම්බන්ධයන් වඩා සංකීර්ණ ඒවා වීම. "

" ඔබට මේ දේවල් මොනතරම් දුරට ග්‍රහණය කරගත හැකිවේද කියන දේ මත ඔබේ නිගමනයන් වෙනස් වනවා.
ඔබට මතක ඇති හවස වහින බවට මා කියූවත් ඔබට වැහි ලකුණක් හෝ සොයාගත නොහැකි වූ බව. ඒ අප එකිනෙකාගේ නිරීක්ෂණ හා විශ්ලේෂණ ශක්‍යතාවයන් නිසා සිදුවන්නක් "

එතැනින් මට ද ඉඩක් ලැබිණි. කථාකිරීමට.
" ඒත් තාම වැස්සෙ නෑනෙ"

ඔහු.මඳ සිනා පෑවේ ය. සුපුරුදු ලෙසම.
මුවින් වදන් හසුරුවමින් වීදුරුව මා දෙසට එවී ය. අතින්.
" තාම හවස ඉවර නෑනෙ ! "

අත පිසදැමීමට තිබූ කොලයක් දිග හැරියේ ය. අඩක්. හිස එසවී ය.
" පෑනක් තියෙනව ද ? "

මම.  බෑගයට අත දමා පෑනක් සෙවීමි. අතට හසුවූ පෑන ඔහු වෙතපෑවෙමි.

" න්‍යාස මතකයි නේ ද? මැට්රික්ස් ? "

මම හිස සැලීමි. මතක බව අඟවමින්.

"  ඕනෑම පද්ධතියක ආදානයන් හා ප්‍රතිදානයන් අතර සම්බන්ධය අපට න්‍යාස ආකාරයෙන් දක්වන්න පුළුවන්. එහි ආදානයන් ප්‍රතිදානයන් හා ඒවා අතර අන්තර්සම්බන්ධතා යොදාගෙන.
එවිට ඔබට ලැබෙන්නේ  ප්‍රදානයන් හා ඒවා අතර අන්තර් සම්බන්ධතාවයන්ගෙනුත් ප්‍රතිදානයන් හා ඒවා අතර අන්තර් සම්බන්ධතාවයන්ගෙනුත් යුක්ත න්‍යාස දෙකක්. මේ දෙක සර්ව සමයි. "

මට වීදුරුවේ තුන්කාලක්ම පෙවුණෙේ ය. එක හුස්මට.
ඔහු කොලය මත න්‍යාස දෙකක් ඇඳ තිබුණෙේ ය. සඟල වරහන් වලින් වසා. ආදානයන් ප්‍රතිදානයන් හා සම්බන්ධතාවයන් විචල්‍යය ලෙස ගෙන.

 " මේක තව පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. අර බස් එකට නැඟපු මනුස්සය හිටිය නේද ? මිනිහගෙ ඇස්, කටහඬ, වචන උච්චාරණය, අංග චලනයන් මේ හැම දෙයක්ම ප්‍රතිදානයක් හෝ ප්‍රතිදාන රැසක එකතුවක්. ඒ දෙවල් නිරීක්ෂණය කරන්න තරම් ඔබ දියුණුයි නම් විශ්ලේශනය කරන්න තරම් සිත නිරවුල් නම් ඔබට පුළුවනි මේ සම්පූර්ණ න්‍යාසය විසඳන්න. ඔහු ගැන දැන ගන්න. "

එතැන් සිට. ප්‍රශ්න හා පිලිතුරු වටය ඇරඹිණි.
" ඉතින් ඔයාට ඒවා දැනෙන්නේ කොහොම ද? ඔයා රහත් වෙලා ද? "
" ඇතැමුන්ට පොත් කියවන්න කණ්නාඩි අවශ්‍යය යි. ඒ ඇස් දුර්වල වූ විට. ඔබේ ඉන්ද්‍රියයන් දියුණුයි නම් ඔබට උපකරණ වල සහායක් නැතිව බොහෝ දෑ සංවේදනය කල හැකි යි.
ඇන්ටනාවක් නියමිත දිශාවට හරවා නිසි පරිදි සුසර කර ඇත්නම් එයට බොහෝ නිවැරදි  සංඥාවන් ග්‍රහණය කල හැකියි. ඔබේ ඉන්ද්‍රියයන් නිසි පරිදි සහුරුවන්නේ නම් ඔබට බොහෝ තියුණු ආදානයන් ලබාගත හැකියි.
අරමුණටම අරමුණු කරගත් සිතකින් වඩා සාර්ථක හා සංකීර්ණ විශ්ලේශණයන් කල හැකියි. "



එවර. මම ම මාගේ වීදුරුව පුරවා ගතිමි. උගුරු දෙකටඅවසන් කලෙමි.

පෙට්‍රෝලියම් දැල්ල හා එය දැවෙන විට පිටවන ආලෝකයේත් උෂ්ණත්වයේත් සම්බන්ධයේ සිට චුති සිත් පූර්ව භවයන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයන් හරහා ගලා ගිය කථාව අපට අතර මැදදී නවත්වන්නට  සිදුවිය. අවන්හල් බිල හා මගේ මත්බව හරස් වූ හෙයින්.

අපි. පාරට ආවෙමු.

මම අවසන් ප්‍රශ්නය ඇසී මි. වෙන්ව යෑමට පෙර. බිවූ සුරාවෙන් ද ඇසූ වදනින් ද බමන හිසින් ද යුතු ව.
" කොහොමද දැනගත්තෙ අපි දෙන්නම බහින්නෙ එකම තැනින් කියලා."

"ආ ඒක ද? ඒක සරලයි.
ඔයා ටිකට් එක ගන්නකොට බහින තැන කියනවා මට ඇහුණා "

අහස. විදුලි කෙටුමකට ඉඩ දුන්නේ  ය.  සිහින් ගෙරවුමක් ද ඉවසමින්.


*******************************************************************************
දර්ශක : Indicators
පද්ධතිය : System
පරාමිතීන් : Parmeters
ආදානය : Input
ප්‍රතිදානය : Output
විදුලි බුබුල : Electric Bulb
සූත්‍රිකාව : Filament
ශක්ති ප්‍රභවය : Energy Source
වර්ණාවලි විශ්ලේශණය : Spectrum Analysis
න්‍යාස : Matrix
විචල්‍යය : Variables

Sunday, February 19, 2017

:: කාටු ::


කපා ගෙන ගොස් කමත අතුරා
හලාගෙන තම අග්‍ර සාරය
අසුරවා ගැට ගසා මලු තුල
රැගෙන යත් දී උදාරම් ලෙස

වැලඳගෙන ඉපනැලින් බිම වට
හීන් කඳුළැලි දිය බිඳිති කැළ
අරෝවක් තරහක් නොමැතිවයි
ඔහේ උන්නේ මහ ලියැදි පෙල

අව් රැසින් වියළී බිඳී ගොස්
සුළං රැළි හා හාද වී ගෙන
යළිත් එන හැම පිදුරු කොටයම
පාරවයි ඒ ලියැදි හදවත.



Monday, February 13, 2017

සමූහ මෝහනය

හැන්ද. රිදියෙන් තනා තිබිණි. මුලු ශාලාවටම තිබූ එකම ලෝහමය ද්‍රව්‍යය එය පමණක් බවට පත්කරමින්.
ආචාර්යතුමා. හැන්දෙහි බර කිරුවේ ය. තරාදියකින්. ජල උත්තෝලකයක පාවෙන ලී තැටියකින් තැනූ. මේසය මත වූ කඩදාසියක යමක් සටහන් කලේ ය. බැරෑරුම් මුහුණකින් යුතුව. කෝදුවක් ගත්තේ ය. ලීයෙන් තැනූ. සෙන්ටිමීටර තිස් හතරක් දකුණු දෙසට මැන්නේ ය. බිම සලකුණක් ඇඳී ය. ලී පුටුව ගත්තේ ය. සලකුණ මැදිවන සේ තැබී ය. ඒ මත හිඳ ගත්තේ ය.
ප්‍රේක්ෂකයෝ. (සමාවන්න. ' ශිෂ්‍යයෝ' ). සුදු පැහැති දුහුල් පිලියෙන් සැරසී සිටියෝ ය. කිසිදු ලෝහමය කොටසක් නොපැලඳගෙන. ආචාර්යතුමා දෙසම බලාගෙන සිටියෝ ය. එක ඉරියව්වක් හෝ වදනක් මඟ නොහරිමින්. මිලි මීටර් පහක තරමේ කොටු ඇති දැලකින් සම්පූර්ණයෙන් වටවූ ශාලාව තුලට වී.
ආචාර්යතුමා. දීර්ඝ හුස්මක් ගත්තේ ය. සෙමෙන් ප්‍රාස්වාශ කලේ ය. ඒ අතර හැන්ද දෙසට නෙත් යොමු කලේ ය. ඒකාග්‍ර බැල්මෙන් බලා සිටින්නට වූයේ ය. විනාඩි තුනක්. කිසිවක් සිදු නොවිණි. ශිෂ්‍යයෝ. බලා සිටියෝ ය. අවධානය අත නොහැර. එකසිය අනූ තුන්වෙනි තත්පර ය. ආචාර්යතුමාට දහදිය දමමින් තිබිණි. දැමූ දහදිය. අසලම වූ පන්දම් එළියෙන් දිලිසුනේ ය.
නිම්සරා. ඉදිරිපස සිට පස්වන පේලියේ මැඳින් හිඳගෙන සිටියා ය. හැන්ඳ එසවෙනු මුලින්ම දුටුවේ ඇය ය.ඉන්පසු. එකිනෙකා වෙන වෙනම එය දැක්කෝ ය. මුලින් සුළු පිරිසක් ද පසුව එහි ගුණාකාර ද ලෙස. මෙම ආශ්චර්යය එකවනම දකින්නට වරම් නොලදවුන් ද කෙමෙන් කෙමෙන් එය දකින්නට පටන්ගත් හ. හොර බැලුම් කිහිපයකට පසු. වම් පසටත් දකුණටත් යොමුවුණු.
ආචාර්යතුමා. සිය බැල්ම එලෙසම යොමුකරගෙන සිටියේය. එක එල්ලේ. හැන්ද වෙත. ගිනිගත් පන්දම් දෙකකට මැදිව. වීර්යය නිසා උපන් දහදිය ගලද්දී.
නිම්සරා සහ පිරිස. එසවුණු හැන්ද නැවී යනු දැක්කෝ ය. අනතුරුව බිමට වැටෙණු. දැහැනෙන් මිදුණෝ ය. හැන්ද වැටෙන හඬ හේතුවෙන්.
ආචාර්යතුමා. පිරිස ඉදිරියේ හිටගෙන සිටියේ ය. නැවී ගිය හැන්ද අතැති ව. තැන් දෙකක වූ සීරීම් වැසෙන සේ අල්ලා ගෙන.
අනතුරුව හැන්ද මේසය මත තැබීය. සෙමෙන්. කථාව ඇරඹී ය. මඳක් ඉහලින්.
" ඒක තේරුම් ගැනීම ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි" පිරිස අමතමින් පැහැදිලි කරන්නට වූයේ ය. ස්ථිරසාර ස්වරයෙන්. පැහැදිලිව හා තියුණු බැල්මකින් සන්නද්ධව.
" මේ හැම දෙයක්ම විද්‍යාවේ බොහොම මූලික නියමයන් කිහිපයකින් පැහැදිලි කරන්න පුළුවන්" කථාව මඳක් නතර කලේ ය. ශාලාව සිසාරා බැල්මක් හෙලී ය. තැනින් තැන සවිකර තිබූ පන්දම් හා පහන් වලින් එළිය කෙරුණු. දැවමුවා මේසය මත තිබුණු මැටි ගුරුලේත්තුවෙන් වතුර හලාගත්තේ ය. පොල්කට්ටකට. හලාගත් වතුර බිව්වේ ය. උගුරු තුනකට. යලි සිය කථාව ඇරඹී ය. ප්‍රේක්ෂාව ගිලිහෙන්නට පෙර.
" එකක් තමයි ඔබට ශක්තිය විවිධ ස්වරූප වලට පරිවර්තනය කරන්න පුළුවන් බව. ඒ වගේම යම් වස්තුවක් මත බලයන් එකකට වඩා ක්‍රියාත්මක වන අවස්ථාවක දී සියළු බලයන්ගේ සම්ප්‍රයුක්තය මත අවසාන ප්‍රතිඵලය තීරණය වන බව."
තම ස්වරය පහත් කලේය. රහසක් කියන්නාක් මෙන්. වඩා ස්ථිරව වදන් පිට කලේ ය.
" වැදගත්ම දේ. අප පිලිගත යුතුයි මිනිස් සිරුර කියන්නෙ ශක්ති ප්‍රභවයක් බව. අප නිතර භාවිතා කරන ' චිත්ත ශක්තිය' කියන වචනයට භෞතික විද්‍යාත්මක අර්ථයක් තියෙන බව. දැන් ඔබ මොහොතකට කලින් දුටු හැන්ද පාවෙද්දි සිද්ධ වුණේ ගුරුත්වාකර්ශන බලය චිත්ත ශක්තිය මඟින් ඉක්මවා යෑමක්." මඳ සිනාවක් නඟා ගත්තේ ය. සුළු ප්‍රමාණයක සරදමක් ද මුසුව.
" මා දන්නවා මෙතැන භෞතික විද්‍යාව පිලිබඳ ප්‍රාඥයන් සිටින බව. ඒ වගේම එයින් ඇතැමෙක් මා විසින් කරන්නේ ඇස්බැන්දුමක් පමණක් බව ඔප්පු කරන්නට ඉතා කැමැත්තෙන් සිටින බව. වෙනකක් තබා මෙතරම් පිරිසක් තම ඇස් දෙකෙන් දුටු දේ තමා දැක්කා ද නොදැක්කා දැයි යන සැකයෙන් ඔවුන් පෙලෙන බව." " අවාසනාවකට විද්‍යුත් ශක්තිය චිත්ත ශක්තිය හා ඉතා ආසන්න පරාසයක පවතින්නක් නිසාත් ප්‍රමාණාත්මකව බැලූවිට දැනට අප විසින් හැසැරවිය හැකි චිත්ත ශක්ති ප්‍රමාණය ඉතා අඩු නිසාත් විදුලි උපකරණ මෙතැන භාවිතා කිරීමට නොහැකි යි. ඒ හේතුව නිසා ඔබගේ සැක දුරු කිරීම පිණිස පටිගතකල දර්ශනයක් ලබා දීමේ නොහැකියාව තිබෙනවා."
වේදිකාවෙන් බිමට බැස්සේ ය. ශාලාවෙහි අනුරාගීම ය මුණු මුණුවක් පතුරමින්. සභා ගැබට ඇවිද යන ගමන් වචන පිටකලේ ය.
" මගේ භෞතික විද්‍යාවේදී මිතුරන්ට තර්කයක් තියෙන්න පුළුවන්. මා තිරස්ව බලාගෙන සිටිය නිසා තිරස්ව විහිදෙන බලයක් මඟින් සිරස් ව ක්‍රියාකරන ගුරුත්වාකර්ශනය අබිබවන්නේ කෙසේ ද කියා."
" ඔබේ සැකය නිවැරදියි. මන්ද එකිනෙකා කෙරෙහි අභිලම්බව ක්‍රියා කරන බල දෙකක් මඟින් එකිනෙකා අතික්‍රමණය වීම විය නොහැක්කක් නිසා."
නතර වුණේ ය. ශාලාව සිසාරා බැල්මක් හෙලී ය.
" නමුත් මා තිරස්ව බලා සිටීම යනු මා විසින් චිත්ත බලය තිරස්ව යොමු කිරීම නොවෙ යි. මගේ බැල්ම විසින් කෙරෙන්නේ මගේ චිත්ත බලය එක්රැස් කිරීමට අරමුණක් ලබා ගැනීම පමණයි. අනෙක් සෑම බලයක් මෙන්ම චිත්ත බලය කියන්නේත් දෛශිකයක්. එසේත් නොමැති නම් විශාලත්වයක් හා දිශාවක් ඇති රාශියක්. ඔබ චිත්ත බලය පාලනය කිරීමට හැකියාවක් දක්වනවා යනු, ඔබ එහි විශාලත්වය මෙන්ම දිශාව ද පාලනය කිරීමට හැකියාව ලබා ගන්නවා යන්නයි. "
මඳ විරාමයක් ගත්තේ ය. යලි කථාව ඇරඹී ය.
" මා බලය යොමු කලේ සිරස් දිශාවෙන්."
අාචාර්යතුමා. යලි වේදිකාව වෙත ආවේ ය. තවත් බොහෝ දෑ පැහැදිලි කලේ ය. පිටතින් එන තරංග පාලනය සඳහා සම්පූර්ණ ශාලාවම ලෝහමය දැලකින් ආවරණය කිරීමේ සිට රැස්ව සිටින පිරිසගේ අක්‍රමවත් චිත්ත බලයන් හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා සුළු නිද්‍රා ජනකයක් ලබා දීම දක්වා.
ශිෂ්‍යයෝ. වචනයක් පාසා සැක දුරුකර ගනිමින් හුන් හ. වඩ වඩා ආශක්ත වෙමින්. ආචාර්ය තුමාට.
ආචාර්යතුමා. සියල්ල පැහැදිලි කිරීමෙන් අනතුරුව ටිවිටර් හා ෆේස්බුක් හරහා තමා හා එකතු වන්නැයි පිරිසට ආරාධනා කලේ ය. ඇතැම් නිකමුන් පදනම් විරහිත කථා පතුරමින් සමාජජාලා හරහා තම බුද්ධි ගවේශණයට එල්ල කරන බලපෑම් සියල්ලන් එක්ව පිටු දැකිය යුතු යැයි පැවසී ය.
මීළඟ දේශනය මාස හයකින් පවත්වන බවත්. එතරම් කාලයක් අවශ්‍ය වන්නේ තමා යලි ශක්තිය එක් කරගත යුතු නිසා බවත් පැහැදිලි කලේ ය. එම දේශනය සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් සියළුම ප්‍රවේශ පත්‍ර වෙන්දේසි කිරීමට කීරණය කල බවත්, තම වෙබ් අඩවිය හරහා ඒ සඳහා ලංසු තැබිය හැකි බවත් දැනුම් දෙමින් කථාව අවසන් කලේ ය.
වේදිකාවෙන් බැස්සේ ය. පිරිසට හිනැහෙමින් ශාලාවෙන් නික්මුණේය. පිරිස මැඳින්. තම සුඛෝපභෝගී රථයට නැංගේ ය. පිටුපස අසුනට බරවුණේ ය. නෙත් පියා ගත්තේ ය. මඳ සිනාවක් සහිතව.
" සමූහ මෝහනය කියන්නෙ කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. එකම දේ තමා කරන බොරුව මොන තරම් ලොකුවට මවන්න පුළුවන් ද කියන එකයි ඒ මැවීම වැඩිම ඔළුගෙඩි ගානකට දන්නවන්නෙ කොහොමද කියන එකයි විතරයි "
එකසිය පහලොස්වෙනි වතාවටත් තමාටම කියා ගත්තේ ය.