Monday, February 13, 2017

සමූහ මෝහනය

හැන්ද. රිදියෙන් තනා තිබිණි. මුලු ශාලාවටම තිබූ එකම ලෝහමය ද්‍රව්‍යය එය පමණක් බවට පත්කරමින්.
ආචාර්යතුමා. හැන්දෙහි බර කිරුවේ ය. තරාදියකින්. ජල උත්තෝලකයක පාවෙන ලී තැටියකින් තැනූ. මේසය මත වූ කඩදාසියක යමක් සටහන් කලේ ය. බැරෑරුම් මුහුණකින් යුතුව. කෝදුවක් ගත්තේ ය. ලීයෙන් තැනූ. සෙන්ටිමීටර තිස් හතරක් දකුණු දෙසට මැන්නේ ය. බිම සලකුණක් ඇඳී ය. ලී පුටුව ගත්තේ ය. සලකුණ මැදිවන සේ තැබී ය. ඒ මත හිඳ ගත්තේ ය.
ප්‍රේක්ෂකයෝ. (සමාවන්න. ' ශිෂ්‍යයෝ' ). සුදු පැහැති දුහුල් පිලියෙන් සැරසී සිටියෝ ය. කිසිදු ලෝහමය කොටසක් නොපැලඳගෙන. ආචාර්යතුමා දෙසම බලාගෙන සිටියෝ ය. එක ඉරියව්වක් හෝ වදනක් මඟ නොහරිමින්. මිලි මීටර් පහක තරමේ කොටු ඇති දැලකින් සම්පූර්ණයෙන් වටවූ ශාලාව තුලට වී.
ආචාර්යතුමා. දීර්ඝ හුස්මක් ගත්තේ ය. සෙමෙන් ප්‍රාස්වාශ කලේ ය. ඒ අතර හැන්ද දෙසට නෙත් යොමු කලේ ය. ඒකාග්‍ර බැල්මෙන් බලා සිටින්නට වූයේ ය. විනාඩි තුනක්. කිසිවක් සිදු නොවිණි. ශිෂ්‍යයෝ. බලා සිටියෝ ය. අවධානය අත නොහැර. එකසිය අනූ තුන්වෙනි තත්පර ය. ආචාර්යතුමාට දහදිය දමමින් තිබිණි. දැමූ දහදිය. අසලම වූ පන්දම් එළියෙන් දිලිසුනේ ය.
නිම්සරා. ඉදිරිපස සිට පස්වන පේලියේ මැඳින් හිඳගෙන සිටියා ය. හැන්ඳ එසවෙනු මුලින්ම දුටුවේ ඇය ය.ඉන්පසු. එකිනෙකා වෙන වෙනම එය දැක්කෝ ය. මුලින් සුළු පිරිසක් ද පසුව එහි ගුණාකාර ද ලෙස. මෙම ආශ්චර්යය එකවනම දකින්නට වරම් නොලදවුන් ද කෙමෙන් කෙමෙන් එය දකින්නට පටන්ගත් හ. හොර බැලුම් කිහිපයකට පසු. වම් පසටත් දකුණටත් යොමුවුණු.
ආචාර්යතුමා. සිය බැල්ම එලෙසම යොමුකරගෙන සිටියේය. එක එල්ලේ. හැන්ද වෙත. ගිනිගත් පන්දම් දෙකකට මැදිව. වීර්යය නිසා උපන් දහදිය ගලද්දී.
නිම්සරා සහ පිරිස. එසවුණු හැන්ද නැවී යනු දැක්කෝ ය. අනතුරුව බිමට වැටෙණු. දැහැනෙන් මිදුණෝ ය. හැන්ද වැටෙන හඬ හේතුවෙන්.
ආචාර්යතුමා. පිරිස ඉදිරියේ හිටගෙන සිටියේ ය. නැවී ගිය හැන්ද අතැති ව. තැන් දෙකක වූ සීරීම් වැසෙන සේ අල්ලා ගෙන.
අනතුරුව හැන්ද මේසය මත තැබීය. සෙමෙන්. කථාව ඇරඹී ය. මඳක් ඉහලින්.
" ඒක තේරුම් ගැනීම ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි" පිරිස අමතමින් පැහැදිලි කරන්නට වූයේ ය. ස්ථිරසාර ස්වරයෙන්. පැහැදිලිව හා තියුණු බැල්මකින් සන්නද්ධව.
" මේ හැම දෙයක්ම විද්‍යාවේ බොහොම මූලික නියමයන් කිහිපයකින් පැහැදිලි කරන්න පුළුවන්" කථාව මඳක් නතර කලේ ය. ශාලාව සිසාරා බැල්මක් හෙලී ය. තැනින් තැන සවිකර තිබූ පන්දම් හා පහන් වලින් එළිය කෙරුණු. දැවමුවා මේසය මත තිබුණු මැටි ගුරුලේත්තුවෙන් වතුර හලාගත්තේ ය. පොල්කට්ටකට. හලාගත් වතුර බිව්වේ ය. උගුරු තුනකට. යලි සිය කථාව ඇරඹී ය. ප්‍රේක්ෂාව ගිලිහෙන්නට පෙර.
" එකක් තමයි ඔබට ශක්තිය විවිධ ස්වරූප වලට පරිවර්තනය කරන්න පුළුවන් බව. ඒ වගේම යම් වස්තුවක් මත බලයන් එකකට වඩා ක්‍රියාත්මක වන අවස්ථාවක දී සියළු බලයන්ගේ සම්ප්‍රයුක්තය මත අවසාන ප්‍රතිඵලය තීරණය වන බව."
තම ස්වරය පහත් කලේය. රහසක් කියන්නාක් මෙන්. වඩා ස්ථිරව වදන් පිට කලේ ය.
" වැදගත්ම දේ. අප පිලිගත යුතුයි මිනිස් සිරුර කියන්නෙ ශක්ති ප්‍රභවයක් බව. අප නිතර භාවිතා කරන ' චිත්ත ශක්තිය' කියන වචනයට භෞතික විද්‍යාත්මක අර්ථයක් තියෙන බව. දැන් ඔබ මොහොතකට කලින් දුටු හැන්ද පාවෙද්දි සිද්ධ වුණේ ගුරුත්වාකර්ශන බලය චිත්ත ශක්තිය මඟින් ඉක්මවා යෑමක්." මඳ සිනාවක් නඟා ගත්තේ ය. සුළු ප්‍රමාණයක සරදමක් ද මුසුව.
" මා දන්නවා මෙතැන භෞතික විද්‍යාව පිලිබඳ ප්‍රාඥයන් සිටින බව. ඒ වගේම එයින් ඇතැමෙක් මා විසින් කරන්නේ ඇස්බැන්දුමක් පමණක් බව ඔප්පු කරන්නට ඉතා කැමැත්තෙන් සිටින බව. වෙනකක් තබා මෙතරම් පිරිසක් තම ඇස් දෙකෙන් දුටු දේ තමා දැක්කා ද නොදැක්කා දැයි යන සැකයෙන් ඔවුන් පෙලෙන බව." " අවාසනාවකට විද්‍යුත් ශක්තිය චිත්ත ශක්තිය හා ඉතා ආසන්න පරාසයක පවතින්නක් නිසාත් ප්‍රමාණාත්මකව බැලූවිට දැනට අප විසින් හැසැරවිය හැකි චිත්ත ශක්ති ප්‍රමාණය ඉතා අඩු නිසාත් විදුලි උපකරණ මෙතැන භාවිතා කිරීමට නොහැකි යි. ඒ හේතුව නිසා ඔබගේ සැක දුරු කිරීම පිණිස පටිගතකල දර්ශනයක් ලබා දීමේ නොහැකියාව තිබෙනවා."
වේදිකාවෙන් බිමට බැස්සේ ය. ශාලාවෙහි අනුරාගීම ය මුණු මුණුවක් පතුරමින්. සභා ගැබට ඇවිද යන ගමන් වචන පිටකලේ ය.
" මගේ භෞතික විද්‍යාවේදී මිතුරන්ට තර්කයක් තියෙන්න පුළුවන්. මා තිරස්ව බලාගෙන සිටිය නිසා තිරස්ව විහිදෙන බලයක් මඟින් සිරස් ව ක්‍රියාකරන ගුරුත්වාකර්ශනය අබිබවන්නේ කෙසේ ද කියා."
" ඔබේ සැකය නිවැරදියි. මන්ද එකිනෙකා කෙරෙහි අභිලම්බව ක්‍රියා කරන බල දෙකක් මඟින් එකිනෙකා අතික්‍රමණය වීම විය නොහැක්කක් නිසා."
නතර වුණේ ය. ශාලාව සිසාරා බැල්මක් හෙලී ය.
" නමුත් මා තිරස්ව බලා සිටීම යනු මා විසින් චිත්ත බලය තිරස්ව යොමු කිරීම නොවෙ යි. මගේ බැල්ම විසින් කෙරෙන්නේ මගේ චිත්ත බලය එක්රැස් කිරීමට අරමුණක් ලබා ගැනීම පමණයි. අනෙක් සෑම බලයක් මෙන්ම චිත්ත බලය කියන්නේත් දෛශිකයක්. එසේත් නොමැති නම් විශාලත්වයක් හා දිශාවක් ඇති රාශියක්. ඔබ චිත්ත බලය පාලනය කිරීමට හැකියාවක් දක්වනවා යනු, ඔබ එහි විශාලත්වය මෙන්ම දිශාව ද පාලනය කිරීමට හැකියාව ලබා ගන්නවා යන්නයි. "
මඳ විරාමයක් ගත්තේ ය. යලි කථාව ඇරඹී ය.
" මා බලය යොමු කලේ සිරස් දිශාවෙන්."
අාචාර්යතුමා. යලි වේදිකාව වෙත ආවේ ය. තවත් බොහෝ දෑ පැහැදිලි කලේ ය. පිටතින් එන තරංග පාලනය සඳහා සම්පූර්ණ ශාලාවම ලෝහමය දැලකින් ආවරණය කිරීමේ සිට රැස්ව සිටින පිරිසගේ අක්‍රමවත් චිත්ත බලයන් හේතුවෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා සුළු නිද්‍රා ජනකයක් ලබා දීම දක්වා.
ශිෂ්‍යයෝ. වචනයක් පාසා සැක දුරුකර ගනිමින් හුන් හ. වඩ වඩා ආශක්ත වෙමින්. ආචාර්ය තුමාට.
ආචාර්යතුමා. සියල්ල පැහැදිලි කිරීමෙන් අනතුරුව ටිවිටර් හා ෆේස්බුක් හරහා තමා හා එකතු වන්නැයි පිරිසට ආරාධනා කලේ ය. ඇතැම් නිකමුන් පදනම් විරහිත කථා පතුරමින් සමාජජාලා හරහා තම බුද්ධි ගවේශණයට එල්ල කරන බලපෑම් සියල්ලන් එක්ව පිටු දැකිය යුතු යැයි පැවසී ය.
මීළඟ දේශනය මාස හයකින් පවත්වන බවත්. එතරම් කාලයක් අවශ්‍ය වන්නේ තමා යලි ශක්තිය එක් කරගත යුතු නිසා බවත් පැහැදිලි කලේ ය. එම දේශනය සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් සියළුම ප්‍රවේශ පත්‍ර වෙන්දේසි කිරීමට කීරණය කල බවත්, තම වෙබ් අඩවිය හරහා ඒ සඳහා ලංසු තැබිය හැකි බවත් දැනුම් දෙමින් කථාව අවසන් කලේ ය.
වේදිකාවෙන් බැස්සේ ය. පිරිසට හිනැහෙමින් ශාලාවෙන් නික්මුණේය. පිරිස මැඳින්. තම සුඛෝපභෝගී රථයට නැංගේ ය. පිටුපස අසුනට බරවුණේ ය. නෙත් පියා ගත්තේ ය. මඳ සිනාවක් සහිතව.
" සමූහ මෝහනය කියන්නෙ කොහෙත්ම අමාරු වැඩක් නෙවෙයි. එකම දේ තමා කරන බොරුව මොන තරම් ලොකුවට මවන්න පුළුවන් ද කියන එකයි ඒ මැවීම වැඩිම ඔළුගෙඩි ගානකට දන්නවන්නෙ කොහොමද කියන එකයි විතරයි "
එකසිය පහලොස්වෙනි වතාවටත් තමාටම කියා ගත්තේ ය.

2 comments: