Thursday, October 9, 2014

:: වැස්ස නම් එහෙම ය ::















ගත නලෙන් සනහා
වත පොදෙන් පිරිමැද
නුබ නේක පැහැ මවා
හෝස් ගා වටනේ ය

සිරි සිරින් කන් පුරා
සර සරින් බිම සරා
දිය කඳුරු ඇලි තනා
සයුරට ම අදනේ ය

මඳ සිහිල් පිනි බිඳි ද
වක ගැසුණු වල වල් ද
හෙණ ගැසූ මහ ගස් ද
එහෙම්ම ම තියෙද් දී .....

' ඉතිං මට මහන්සියි.....! '
සැනින් කියා - වැරෙන් නික්ම
අදිසිව ම යන්නේ ය..................

Wednesday, August 13, 2014

:: අරුම::














ප්‍රේමය අරුමයක්මය
ලෙහි හොවා නැලවෙන
නෙත් අතර පැටලෙන
මුදු සිනහ වැපිරෙන

ප්‍රේමය අරුමයක්මය
උණුසුමට ගුලිවන
සත් බියෙන් අත්මිදෙන
ලොවම අතැඹුල කරන

ප්‍රේමය අරුමයක්මය
නෙත කැළුම වත එලන
වත සුවඳ සිත පුරන
සිත සුසුම දසත ලන

ප්‍රේමය අරුමයක්මය
නියත වියොවක්ම දැන
එහිම ගැලෙමින් ඇලෙන
දිවිය ඒ මත වියෙන

Wednesday, August 6, 2014

:: නො නිවි ::

සයුර මුසුවන මොහොතකට පෙර
පළල් වී උඩ බලයි
මඟ දිගට දිය කඳුරු
ගිල දැමූ නදී තෙම
වස්සානයකට මඟ හැරුණු
හීන් වැහි පොඩිත්තක් හෝ
පෙමින් විත් වෙලෙතැයි

නන්ද කුමාර වස්තුව ...! (2)















නන්දය..!
පෙමෙහි තව වෙසක් ඇත

ගඟක් සේ ගලනු රිසි
හිමි කරගනු නොරිසි
කොටු කරගනු ඇවැති
පෙමින් පමණක්ම සරි
පෙමෙහි තව වෙසක් ඇත

නන්දය..!
ගඟ දිය එසේ යැයි
දිස්වුවද මතු පිටින්
ගං දියට හෑරුණු
ගඟ පතුල හඳුනයි
ගඟ විඳින මහා දුක

නන්දය...!
ඒ පෙමද එලෙසමය
ගඟ පතුල දියමෙන්
මනස කළඹා ලාය
ගඟ මුදුන වත මෙන්
ලොවම රවටා ලාය

එහෙයින්ම...!
උදාසන ගඟ දියෙහි
දකින පිළිඹිබු මෙන්
මාන වළා මඟහැර
ප්‍රේමයේ මුල සොයා
නසා කටයුතුමය

ඉඳින්..!
බලව අර පඬුපුල
ශක්‍රයා නොරඳන



නන්ද කුමාර වස්තුව ...! (1)
http://wasnthayeaga.blogspot.com/2013/07/blog-post.html

Saturday, April 26, 2014

:: කක්කුස්සි ::











නෝනෙ ..!
ඔහේට නෙවේ
ඔයැයිගෙ පුතා
ඕක හැදුවෙ මට.

බොරුනම් බලන්න
පැලෑන් එකෙත් ඇති
සර්වන්ට් ටොයිලට් විදිහට.

Saturday, March 15, 2014

:: ප්‍රේමාකෘති ::














එම්බා ප්‍රේමය ..!
මෙහි එව.

නැත..!
නොමරිසිය නුඹ දැහැන් අද
මම මේ මෙතැන හොඳ සිහියෙන්මි
අද නම් කෙසේවත් මත් නොවෙමි

ඉඳින් ..!
දැන් කියව ඒ රහස
හතරැස් තුන් හුලස්
වටකුරුද මතු නොව
නාරි විලසක සැඟව ආවද
කිසිදු වෙනසක් නැතිවම
මුලින් මධු වී පසුව විස වෙන

Friday, February 7, 2014

:: ගිනි සිසිල ::

ගිනි ගහන සිසිරයක වුව
සිටිය නොහැකිද ලිහිණියෙක්
බිඳුණු තටු පිරිමදින
කුමරෙකුගෙ උර මත

Saturday, February 1, 2014

:: හූනන් ::

පැහැර ගනිති
මකුළු දඩයම්
බිතෙහි ඇලි
හූනන් ...!

Saturday, January 11, 2014

:: තරු වැට ::














බෝ කලකට පෙර
නළලත සිඹ
නෙතින් දොවාගන
සීරුවෙන් ගෙන
දෙදෙනාම එක්ව
සඳට මඳක් එහායින්
පරෙස්සමින් එල්ලුව
කඳුළු තරු කැටය

විස පතොක් කට්ට කණු
උල් තියුණු කටු කම්බි
ඉරී ගිය පටසේල
බෙදා තරු වපසරිය
හරි මැදින් එක දිගට
ඔබේ අඩ මගේ අඩ
අඩුත් නැත වැඩිත් නැත


Thursday, January 9, 2014

:: තිත ::





















කම් නැත
මගේ නම නොවුණාට
දුක නැත
කවරය තැලුණාට
අනැවැසිය
මල් ගෙත්තම් බැමි

හැකිනම් එවන්න
එකම එක ඇරයුමක්
නමද තැනද සටහන්කර
වේලාව කළුයෙන් වසා

දරන්නට නොහැකියි තවත්
බලාපොරොත්තුවේ මේ මහාබර

Wednesday, January 8, 2014

:: ඩීල් ::


 
 
 
 
 
 
ගම !
අනුරාධපුරේ
මොනරාගලත් වෙන්න පුළුවන්

ඇවිත් !
අවුරුද්දයි
නැහැ ගියමාසෙ
තාම අළුත්

ඇයි !
රවට්ටලා
ඒක නෙවෙයි
මිනිහ බෙබේ
බීල මලා.

පව් !
ඔව් එහෙමයි
පව් තමයි
මොකට අහනවද
ආ වැඩේ නොකර

මහත්තයො!
ඉඹින්නෙපා බෙල්ල
විකුණන්නෑ ඒ හරිය.

Monday, January 6, 2014

:: සුදු සහ නිල් ::




















සුදු මල්. පාර දෙපස සිටුවා තිබූ වතුසුදු ගස්හි පිරී තිබිණි.
නිල් මල්. වැසී ගිය කාණු අස්සෙන් මතුව ආ කටරොල් වැල් මත එල්ලී තිබිණි.

සුදු කාරය. අතුරු පාරෙන් විත් ඉදිරියට හැරවීමට යත්න දරද්දීම නතරවිය. නිල් කාරයෙහි මඟ අවුරමින්. තිරිංගයන්හි ඵලයක් ලෙස. තදින් පෑගුණු පැඩලයකට යාවුණු.
නිල් කාරය. ප්‍රධාන පාර මැද්දෙන් නතර විණි. එවැනිම යාන්ත්‍රණයකින් තදවුණ තිරිංගයන් හේතුවෙන්.  සුදු කාරය පිටුපසට යනතුරු ඉදිරියට යා නොහී.  රියැදුරු අසුන මත මා දරාගෙනම.

මම. එ'දවස ඇය ගෙනැවිත් හැරලූ පාරෙහි උන්නෙමි. වසර පහකුත් මාස හතරයි දින දහතුනකට පසු. සුදු රැවුල් කොට කප්පාදු නොකරම. සමුගන්නාදා වැදුණු කර්කෂ වදන් පොහොරින් වැවුණු.

සුදු සහ නිල් කාරයන්. මඟ අවුරාන නතරව සිටියෝය. ඉදිරියෙන්ද පසුපසින්ද වමෙන්ද එන අයට.

ඇය. කාලි දෙවඟනව රියෙන් බැස්සාය. මට ශිව වන්නට නොහැකි විය.
මම. අන්ධභූතව බිමට බටුයෙමි. ගැලවූ සපත්තුව කාරයේ තිබෙද්දීම.

කාලිය. ඒ උසින්ම මඳක් මහත්ව සිටියාය. මා දැක පසුබෑවාය. ආරූඨය අත් හැරියාය. නෙතෙහි පමණක් ශේෂව.

සුළඟ. අප වටකොට හැමුයේය. පෙර මතක සුවඳ ගෙන.
මතක. ඇගේ කම්මුල් රතු කලේය. ස්වාසනාලයෙන් ගොස් කේශ නාලිකාවල නතරව.
කම්මුල්. මඳක් පිරී තිබිණි. මගේ ලවනත ගැටෙද්දීට වඩා.

හදවත්. තවමත් කොඳුරමින් සිටියෝය. එදවස මෙන්ම. වදනකුදු නොදොඩා.
මම. ඒ ස්නේහය විඳිමින් සිටියෙමි. දින එකදහස් නවසිය හැට දෙකකට පසුත්.

දකුණෙන්. කටරොල් මලක් වූයේය. ඇගේ මඟහැරි බැල්ම විඳිමින්.
ඇය. තැවෙමින් සිටියාය. උඩඟුවද අඩුවක් නැතිවම. ප්‍රේමයෙහි වගක්වත් නොපෙන්වා. සෙල් මුවා පිළිමයක්ව.

මම. ඇය දැන සිටියෙමි. එහෙයින් දනිමි. ඇය විඳ ඇත්තෙමි. එහෙයින් දනිමි. ඇය දරා ගත්තෙමි. එහෙයින් දනිමි. පෙම. රිටිගල කන්ද මෙන් ශේෂව පවත්නේය.
දෙපා. එ'පෙම දරාගත නොහී ඇයට වද දෙන්නේය.

අවසන. ඈ හිස එසෙව්වාය. ගෙල අංශක විසි තුන හමාරක් වමටද, නිකට අංශක නවයක් උඩටද හරවමින්.
කඳුළු. ගලා හැලුනේ නැත. නෙත් කෙවෙනි පිරවූවා පමණි. ඇගේ ප්‍රේමය මෙන්ම.
පසුතැවුම. ඇයට යුතු නැත. නික්මෙන්ට පෙර පෙම් කල හෙයින්ම.

මම. ඇය සනසාලන්නෙමි.

මේස්. දෙකකුල් දරාගෙන ඉදිරිමං බැලුවෝය. නොහැඬිය යුතු බව කියන්නට. තරහ නැති බව කියන්නට. ඇවැසි නම්. ප්‍රේමයම පතන්නට.

අප. ලංව සිටියෙමු. එදවස මෙන්ම. ඇගේ ප්‍රාශ්වාසය මාද මගේ ප්‍රාශ්වාසය ඇයද ආශ්වාස කරමින්. දිගු කලකට පසු දිගු වැලඳගැන්මක් රිසිව.


මම. දෙඅත් දෙපසට විහිදාලීමි. සෙනෙහසින්.
ඇය. උරිස් හැකිලුවාය. පැනසරින්.

අනතුරුව. හඩ අවදිකලාය.
" මං රිවස් කරන්න දන්නෙ නෑ......!"


නලා.
ඉදිරිපසින්ද, පසුපසින්ද, වමෙන්ද වූ වාහන වලට සවි වී මහ හඬ නඟමින් සිටියෝය.