Monday, August 26, 2019

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්‍රකාශන

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්රකාශන
මේ පොත කියවීම අරඹනතුරු 'tourism poems’ එසේත් නැතිනම් ' සංචාරක කවි' කියා කවි ප්ර්රභේදයක් ගැන අසා නොතිබුණෙමි. ඉන්පසුව කෙරුණු සරල ගූග්ල් සෙවීමකින්වත් ශාස්ත්රී ය ප්රකාශනයකවත් මේ ගැන සෑහිය හැකි තරම් දෙයක් නොලැබිණි.
ඉඳින් සංචාරක කවි යනු මේ පොතේ ඇති කවි ආකාරය යැයි පූර්ව නිගමනයෙන් තෘප්තිමත්ව පොත කියැවීමි. දැන් මේ විඳීම බෙදාගනිමි. පොතෙහි ඇති කවි තිස් අටක් පුරා ඇත්තේ කවියා විසින් ඇවිද ගිය ඇවිද යෑමට සිදුවූ හෝ ඇවිද්දවා ලූ තැන් තැන් වලින් ලද අනුභූතීන්ගෙන් හටගෙන ලියැවුණ කවි ය.
ඒ කවි. ඇතැම් තැනක හුදු පරිසර වර්ණනයකින් එහාට නොගියද බොහෝ තන්හි මුලු ඉතිහාසයක් කැටිකොට කියන්නේ ය.
විටෙක උත්තමපුරුෂයෙන් ලියැවෙන තැනක කවියාද ඒ මොහොතෙහිම දියව යමින් අප ග්රහණයකොට ගන්නේ ය. උදාහරණයක් ලෙස හත්වන කවිය වන ' නන්දි හි කඳු මුදුන් ' ගැනීමට කැමැත්තෙමි. මේ කවිය ලියැවී ඇත්තේ කවියා මෙරටින් නෙරපූ කාලයේ දී යැයි උපකල්පනය කරමින්.
ඉන්දියාවේ ශිම්ලාහි පිහිටා ඇති නන්දි කඳුමුදුන් අමතන කවියා සිය කවිය අරඹන්නේ මෙසේ ය. “ ඔබ සිටී මුහුණ ලා මා පැමිණි මාවතට මම හිඳිමි මුහුණ ලා මට අහිමි දේශයට "
අවසානයේ ඒ අසල පිහිටි 'තිප්පු හෙල ' නම් ලද පෙම පැරදි පෙම්වතුන් පැමිණ පැන දිවි තොරකරගන්නා ස්ථානයේ දී කවියා සිය පියඹට මෙසේ කියන්නේ ය. ඒ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ මනෝභාවයන් කදිමට සනිටුහන් කරමින්. “ තිප්පු හෙළ පතුළතෙහි සැඟැවීම බාල පෙම් පලහිලව්වකට මිස අපට ගැළපෙනු නොවෙයි. යථාවට ඇහැරීම ඇහැරිලා නන්දි කඳු බැස යාම දැන් ඉතිං ඉඳුරා ම හොඳ තමයි.”
මීට පෙරද සටහන් කර ඇති පරිදි මේ පොත කියවීම සඳහා සාපේක්ෂව අන් කවි පොතකට වඩා වැඩි කාලයක් ගතවූයේ ය. ඒ සඳහා බලපෑ ප්රධානම හේතුව විය යුත්තේ 'කවිය නම් මේ යැ' යි කියා කාලාන්තරයක් මුලුල්ලේ අප සිත්හි වැඩුණු ආකෘතිය තුල මේ කවි පිහිටන්නේ නැති කම යැයි සිතමි. සාමාන්යය පෙළ සිංහල විෂයය ඉගෙනීමේදී සිට පුවතපත් කවි පිටුද සමාජ මාධ්යය ද හරහා නිතර ඇසුරට ලැබුණු යම් විරිතකින් යුතු පබැඳුමක් කවියකැයි කියා ජීර්ණය කරගත් අවිඥානයකට එලෙස නොවන්නා වූ කවි දක්නට ලැබුණු විට යම් ප්රතිරෝධයක් ඇතිවීම සාමාන්ය ය. උදාහරණ ලෙස මුල්ම කවියඒ ගණයට අයත් වන්නේ ය. ඒ හේතුවෙන්ම කවි දෙකතුනක් කියවා පොත ගැන අදහසක් ගන්නා යම් කියවන්නෙක් වේ නම් මේ කවිය විසින් ඔහු අධෛර්යයට පත්කරනු නොඅනුමාන ය. නමුත් ඉන්පසු හමුවන කවි තුල ලේඛකයා විසින් මානව වර්ගයා කෙරෙහි වූ ප්රේමයත් ඒ ඒ ස්ථානීය අනුභූතීන්ගේ පාරිසරික හෝ ඓතිහාසික තොරතුරුත් මනා භාෂා ගෙත්තමක යොදා ඉදිරිපත් කරන්නේ විටෙක අපව කම්පනය කරමින් හා මේ පොත පසුගිය වසරේ අඩුම අවධානයට ලක්වූ කවි පොතක් වීම ගැන කණගාටුවක් දනවමිනි.
උදාහරණ ලෙස පහත උපුටනයන් කියවන්න ( සම්පූර්ණ කවි මෙහි සටහන් නොවේ). “ නිවා රතුවන් රාග එළි ඇස්
සාන්තය දැන් නුවර දහවල කැඩෙන්නෑ රතු ට්රැෆික් එළි වුව, සිටී ඉවසා වැටෙන තුරු කොළ
රැය ය දහවල කියා දෙකකට බෙදාගෙන ඇති බැවින් ලෝකය රෑ දවල් දෙක වෙනස දන්නෙ ය, නගර කෙළවර පසිඳු වීදිය.”
- උදේ රැයින් ටාෆලයට එන ලිංගික ශ්රමිකාව

“ උදුන් තුළ ගිනියමින් පූදින
රත් යවට ගිනිබෝල වීදුරු
සුසුම් පණ පිඹ පුබුදුවා ලමි
හැඩ තබා සිහිනෙක නො පීදුණු
එන්න ගොන්ඩෝලාව පැදගෙන
හීන ලෝකෙට සොඳුරු වීදුරු
හිඳිමි ගිනියම් උඳුන් ගෙයි
සඟවමින් වත ගිනිසැරට මැලවුණු"
- වීදුරු සල්පිලේ දේදුනු පුබුදුවන්නා
“සියුම් සසැලුම්
සුළං දහරකි
ඔතාගෙන
අප
ලිහී විසිරෙන
ලිහී යයි
ඒ සුළං දහරෙ ම
අඳුර
කැටි වී තිබුණු
අප'තර
ඉදින් හර්මන් හෙසෙ ඔබ මා
මෙතැන,
මේ පාලමේ තනිව ම
ඉවුර අතහැර
බලා ගඟ දෙස "
- කළු වනය මැද සිදුහත් සිරිත
“ මම ටොනික් එක්ක ජින් බොන්නේ
ජීවය ලබා ගන්න
ඔබ අමුවෙන් ජින් බොන්නේ
ජීවය මරාගන්න"
- ජින් ( ලලිත්පූර් අවන්හලේ යුවතිය)
මීට වඩා උපුටනයන් දැක්වීම කියවන්නෙකුගේ කියවීම වෙත මගේ කියවීම බලෙන් පැටවීමක් විය හැකි හෙයින් නවතිමි. බොහෝ කවිවල කියැවෙන තැන්ගැන වැඩියමත් සටහනක් යොදා ඇති 'අත්වැල' හේතුවෙන් කවියට එහා ගිය දැනුවත්වීමක් හරහා ලැබෙන විඳීමක්ද ඇතිබව එක් කරමින්.

Wednesday, August 14, 2019

ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර | ග්‍රන්ථ


ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර | ග්‍රන්ථ


ඉසුරුගේ පොත කතාංග හතකින් යුතු ය. සිය මුල් කෙටිකතා පොතෙන් ඇරඹි භාෂාමය ලැසි ගමන වඩා ලාලිත්‍යයෙන් අලලවමින් ලියැවුණු. ඇතැම් තැනක ඉතා සරල අන්තර්ගතයක් තුල අපව තිගස්සවමින්. විටෙක උවමනාවටත් වඩා ඇදෙමින් යන තැන් කිහිපයකින් බාල වෙමින්.

ගැහැනු පිරිමි මල් පලතුරු" සුලබ කවුරුත් දන්නා යෙදුමක් වන්නාක් මෙන්ම ඉසුරු තම කෙටිකතා තුල හසුරුවන මිනිසුන්ද ජීවිතයද සුලබ එදිනෙදා හමුවන ඒවාම වන්නේ ය. අප දන්නා දෙබස් කියන. අපට දැනෙනා හැඟීම් හැඟෙන. අප සිතනා සිතිවිලි සිතන.
ඉසුරු ඒ සුලබ අමුද්‍රව්‍යය ගෙන ඇවැසි දෑ ඇවැසි තැන ඇවැසි ලෙස යොදමින් කියවන්නා මෝහනය කරන්නේ ය. ප්‍රහර්ෂයට නංවන්නේ ය. පෝදා මිදුලක හඳ එළියෙන් රටා අඳින කොස් ගසක් මෙන්.

මීට පෙර මේ පොත ගැන කෙරුණු බොහෝ සංවාද වලදීද සටහන් තුලදීද බොහෝ දෙනා ඉසුරුගේ භාෂා යොදාගැනීම සරල එකක් ලෙසත් ආඛ්‍යාන ශෛලිය කතාන්දර වැන්නක් ලෙසත්ඉතා අසාධාරණ ලෙස ලඝු කොට තිබෙණු දිටිමි.
මට නම් ඉසුරුගේ භාෂා හැසිරවීම කිසිසේත්ම සරල වන්නේ නැත. මන්ද ඔහු සිය කතා තුලදී සරල භාෂාව ඉතා ලෝභ ලෙස හසුරුවන හෙයිනි. සරල වදන් යොදාගෙන කියවන්නා වෙහෙස නොකර කියවන්නා කම්පනය කරන හෙයිනි. වඩා වැදගත් ලෙස සෑම කතාවකම පාහේ යෙදෙනා ඉතා කුඩා ඡේදයක් පවා කතාවෙන් ගලවා වෙනම තැබූවිට අති සරල යෙදුමක් පමණක් වෙතත් කතාව තුලදී අතු ඉති විහිදා වැඩුණ ගසෙක කොටසක් මෙන්ම වන හෙයිනි.
උදාහරණයක් ලෙස ‘සාන්ත’ කතාවෙහි මේ ඡේදය කතාව මෙතැන මෙහෙම සටහන් වෙද්දීත් කතාව මැදදී මුලින්ම කියවද්දීත් කතාව කියවා අවසන යළි සිහි කරද්දීත් ඔබට දනවන අර්ථය ද දැනෙන හැඟීමද විඳින්නට ආරාධනා කරනු රිසියෙමි.
එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබුණි. එහි තෙතක් විය. ඔහු හිරකරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.”

ඒ භාෂාව හා ආඛ්‍යානය හැසිරවීම දැනුණ හැටි ය. කතාන්දර කීම ගැනද කියන්නට ඇත්තේ එයම ය. බැලූ බැල්මට ඉතා සරල කතාන්දරයක බහා විසල් සමාජ වපසරියක බර කියවන්නා මත තබන්නට ඉසුරු ශූර වන්නේ ය. ඒ සඳහා '' නම් කතාව පමණක් වුව හොඳම උදාහරණයකි.

කතා හත ගැන කෙටියෙන් ලියා තබමි.
'
නිල් මල් ගවුම ' නම් මුල්ම කතාව ඉසුරුගේ කතා විදිය ගැන අදහසක් ලබා දෙයි. එහි තැනින් තැන යෙදෙන ඇතැම් කෙටි දෙබස් හා යෙදුම් වත්මන් මිනිස් ජීවිත ගැන ක්ෂණිකාලොකයක් එල්ල කරවයි. උත්ප්‍රාසයෙන් බහුලව. සමස්ත කතා හා සසඳද්දී මට නම් මේ කතාව මදි ය. මීට වඩා අඩු වචන සංඛ්‍යාවකින් කියන්නට තිබූ කතාවක් ඒ ජාතියේ කතාවක සිටිනා මිනිසුන්ගේ සමස්තයම ලියා දැක්විමට යෑම නිසා විසිරුණු ස්වභාවයකින් යුතු ය. අවසානය අනුමාන කිරීමට හැකි හෙයින් කියවන්නා කතාව මැදදී වාර්තාවක් කියවන්නෙකුගේ තත්වයට පත් කරයි.
එ හා ලඟින්ම යන හයවන කතාව 'පෙරේරා මහත්මිය' වන්නේ ය. අවසානය අනුමාන කිරීමට හැකි වුවත් ඒ කෙසේ වන්නේ දැයි යන ආශාව විසින් කියවන්නා කතාව හා බැඳී සිටියි. මුළු කතාව පුරා පෙරේරා මහත්මියගේ ඇසින් මුළු ජීවිත කතාවක් කියන ඉසුරු ඉතා සාර්ථක කෙටිම කෙටි කතාවක් ලියා තබයි. ඒ ගැන උනන්දුවන අයට හොඳ උදාහරණයක් සපයමින්. ඒ ශානරයේ කතාවල ප්‍රභලත්වය ප්‍රකට කරමින්. කතාවද කියන ආකාරයද කියන වචනද නිසි ලෙස නිසි ඉලක්කයකට යොමු කළ විට කුඩා සිද්ධියක් වුව මොන තරම් ප්‍රභලව දනවිය හැකිදැයි උදාහරණ සපයමින්.

කිඳුරු වෙරළ නම් තුන්වන කතාවද සමස්ත කතා ගොන්න හා සැසඳීමේදී තනුකව ගිය කතාවකි. උවමනාවටත් වඩා සිද්ධි හා දෙබස් යෙදීම මඟින් මුඛ්‍ය කතාංගය යටපත් කිරීම නිසාවෙන්. නමුත් මේ තුල ඉසුරු ඉතා සාර්ථකව කියවන්නාට තමාගේම අර්ථ දැක්වීම් වලට යෑමට ඉඩක් නොතබා ඔහුගේ භාවයන්ට පමණක් කතාව හා අනුනාද වීමට බල කරන්නේ ය. අනිවාර්යයෙන් ඕනෑම සංවාදයකදී බෙහෝ නිර්මාණශීලී අදහස් දැක්වීම් වලින් පිරී යා හැකි මෙවන් ප්‍රස්තුතයක් යොදාගෙන ලියන කතාවක විය යුතු සේම.

ගැහැනු පිරිමි මල් පලතුරු' ඕනෑම කියවන්නෙකුට හෝ කියවන්නියකට තමාව කැඩපතක් තුලින් බලන්නාක් මෙන් බලන්නට ඇරයුම් කරන ඉඩ සලසන කතාවකි. කෙටිකතාවක් තුල තල දෙකක කතා දෙකක් එකිනෙකා හා හැඩට ගොතමින් ලියූවකි. එකක් අනෙකට බාධා නොවන ලෙස. මෙහිදීද ඉසුරු මහා විජ්ජා නොපෙන්වයි. එදිනෙදා ජීවිතය හා බැඳි සිද්ධීන් වස්තූන් තුලින්ම අපට අපවම පෙන්වයි.

දෙවන කතාව වන 'සාන්ත' මහා ඛේදවාචකයක් නිහඬව කියාපාන සිතිවිලි වියමනකි. විවිධ හේතූන් මතින් දරුවන් මත පැටවී ඇති දරිද්‍රතාවයද අසරණභාවයද ඔවුන්ට ඉතිරිකර ඇත්තේ මොන තරම් පටු අවස්ථාවන් ද යන්න සංයමයකින් ලියැවුණ කතාවකි. මුලින් කියවන්නාගේ සිත තුලට පහසුවෙන් වැදී පසුව ගඩුවක්ව වේදනා දීමට සමත් කතාවකි. මා ආසාම කතාවකි. යළි යළිත් සිහිකරමින් කම්පනයට පත් කරවන කතාවකි.

'. කෙටි කතාවක් කියද්දී සමස්ත සමාජ වටපිටාව ග්‍රහණය කරගැනීමට සමත් ආඛ්‍යාන රටාවක් යොදා ගැනීමට හොඳ උදාහරණයකි. එහි එකිනෙකාගේ කතාන්දර ලෙස ඉසුරු ගෙන එක අතුරු සිද්ධීන් එකක්වත් මුඛ්‍ය කතාංගයට බාධා නොකරන්නේ ය. ඒ වෙනුවට ඒ කතාව ලියවැලක් කොටගෙන එහි පිපුණු මල් ලෙසින් සමස්ථ කතාංගය වඩා ආකර්ශණීයද විචිත්‍රවත්ද එකක් කරන්නේ ය.

සුදු අයියා' ඉසුරුගේ දැනට මට වඩාත්ම දැණුනු හා මා කම්පනය කළ කතාව ය. පිටු හයක් පමණ දිගින් යුතු මේ කතාව 'යුද්ධය' නම් සාධකය හුදු මතුපිටින් අතගා කෙරෙන විග්‍රහයන් හෝ මහේක්ෂ තලයේ සමාජ විසංයෝජනයන්ගෙන් කෙරෙනවාට වඩා තදින් කියවන්නා කම්පනය කරවීමෙහි සමත් ය. 'යුද්ධය' තවමත් අපේ මිනිස් ජීවිත තුල සිතුවිලි තුල මොනතරම් දුරට විසිරී පැතිරී සවිඥානිකවහා අවිඥානිකව අපව පාලනය කරනවාද යන්න ඉතා සරල භාෂා වියමනක් තුල ඉදිරිපත් කරමිනි. හිටිගමන් තුවක්කුවක් ගෙන මතුව ආ 'සුදු අයියා' මෙන් අපව සසල කරවන මට්ටම ගැන තක්සේරුවක් සපයමින්. පුද්ගලයකු පවුලක් හෝ සමාජයක් ලෙස.

ඉසුරු චාමර සෝමවීර.
කෙටිකතාව සොයා යන්නෙකුට අගනා උදාහරණ සපයමින් ඔබ කළ මහන්සියට ස්තූතිය පුදමින් මේ සටහන තබමි


Saturday, July 13, 2019

ස්වර්ණකාය | ප්‍රභාත් ජයසිංහ | සරසවි



ඇතැම් පොතක් කියවා ඒ ගැන සටහනක් තැබීම ඉතා අසීරු ය.
ඒ පොත කියවීම ම ඔබ කෙතරම් මිටි දැයි හඟවන නිසාවෙන්.
තමා ලියන අකුරකින් හෝ එයට අසාධාරණයක් වෙතැයි යන බිය කැන්දන හේතුවෙන්.

එවන් එක් පොතක් අනුරාධ මහසිංහගේ බැමිණිතිකාලය ය. තවම ඒ ගැන අදහස හරියකට ගොනු කරගන්නට බැරි වූ.
දැන් තවත් පොතක් පස්වෙනි වතාවටත් කියවා හමාර කළෙමි. දින තුනක් තිස්සේ.
ස්වර්ණකාය නම් ලද. ප්‍රභාත් ජයසිංහ විසින් රචිත.

නොලියා හිඳුමට සිතා ඒ ගැන ලියන්නේ එවැන්නක් ගැන ලිවිය යුතුම යැයි යන හැඟීම නිසාවෙනි.

කතුවරයා විසින් සිය මුල්ම කෙටිකතා සංග්‍රහය වූ ' වයඹ දිග වැසියකුගේ සටහන්' හි සිට ප්‍රගුණ කර දක්වන්නා වූ තම කතාව තුලින් මුලු මහත් සමාජ වපසරියක්ම ග්‍රහණය කරගෙන පාඨකයාටත් බාධාවක් නොවන සේ මූලික කතාවෙහිම ලා ඉදිපත්කිරීමේ ක්‍රමවේදය ස්වර්ණකාය පුරාමත් පැතිරී ඇත්තේ ය. අන් බොහෝ කෙටිකතාකරුවන් අසමත්වන්නා වූත් ඒ අසමත්භාවය නිසාම තම කෙටිකතාව හෑල්ලක් බවට පත්කරගත්තා වූත් මෙම වපසරිය තුල ප්‍රභාත් ජයසිංහ පහසුවෙන් හැසිරෙයි. විටෙක දෙබස් ලෙසත් විටෙක පරිසර වර්ණනාවක් හෝ කෙටි ස්මරණයන්හි දිගුවක් ලෙසත් කතා මැද කතා කියමින්.

ඒ පිළිබඳව හොඳම උදාහරණයක් ලෙස ' කොල්ලෙක් ' නමින් වූ හතරවෙනි කථාවෙහි මානසික අසමතුලිතභාවයට පත් පුද්ගලයා විසින් කාර්යාලයෙහි අධ්‍යක්ෂවරයාට බැන පහරදීම හේතුවෙන් ඔහු වීරයකු කරගන්නා කාර්යාල සේවකයන්ට සිනාසෙන්නට පාඨකයාට ඉඩ හරින කතුවරයා ඊට ඡේද කිහිපයකට පසු ඒ සිදුවීම අසූ අට අසූ නවය කාලයේ ' කොල්ලන්' ට හුරේ දැමූ සමාජය හා සමපාත කරනා අවස්ථාව ගත හැක. මුලින් කාර්යාල සේවකයන්ට සිනාසුණ පාඨකයාට තමාද ඇතුලත් සමාජයමද එම කාර්යාල සේවකයන් හා සම නොවන්නේ ද යන්න සිහි කරවමින්. කතාවෙහි ගලා යෑමට දශමයක හෝ බාධාවක් නොකරමින්. එක් එක් ඡේද අතර චලනයන් සුමට කරලමින්.

තම සිව්වන කෙටිකතා සංග්‍රහය වන ස්වර්ණකාය තුලදී කතුවරයා විසින් තමා මෙතෙක් පවත්වාගෙන ආ ආඛ්‍යාන ශෛලිය යම් වෙනසකට ලක් කර ඇති ආකාරයක් දිස්වෙයි. වඩා සැහැල්ලු භාෂා භාවිතයකට යමින්. වඩා පරෙස්සමින් කතාවෙහි අනුපිළිවෙල පෙළගස්වමින්. ‘කිඳුරු සිංහයා සහ නජීබ්’ නම් කතාවෙහිදී හැර අනෙක් කෙටිකතා හයේදීම.
එසේ වුවත් එම සැහැල්ලු කිරීමට වන්දි ලෙස තම කතාවෙහි හරය හෝ රසය කැප නොකරන්නට ද කතුවරයා දක්ෂ වෙයි. පරෙස්සම් වෙයි.

හීන බන්ධන' නම් මුල්ම කෙටිකතාව පාඨකයා ඇදගන්නා ආකාරයේ වේගරිද්මයකින් ඇරඹී, විකාරරූපී ආකාරයෙන් ඉදිරිපත් වෙන සිද්ධි දාමයක් හරහා පාඨකයා ගෙනයමින් අවසන් පිටු හතර තුල පීතෘ - දුහිතෘ සම්බන්ධයක් මත ගොඩනගන කූට ප්‍රාප්තියක් තුල පාඨකයාව අති ආතතියකට පත්කර ලන කතුවරයා අවසාන ඡේද දෙකෙන් ඒ සියල්ල සමෝධානයට පත්කර කියවන්නාගේ ආතතිය සමනය කරලන්නේ මෙතෙක් මාකියවා ඇති හොඳම අවසානයකින් යුතු කතාවක් හැටියට ය.

ඊට හාත්පසින් වෙනස්ව 'අශ්ව මූණ සහ මුගටි මූණ' නම් දෙවන කතාවේදී අතුරුකතාවක් වන අශ්ව මූණ සහ මුගටි මූණ ආශ්‍රිත පුරාවෘත්තය යලි යලිත් සිය කතාව තුලදීම කියවීමට සැලැස්වීම මඟින් සිදුවීමට නියමිත ඛේදවාචකය වෙනුවෙන් පාඨකයා සූදානම් කරවන කතුවරයා කතාව අවසන් කරන්නේ ඒ හරහා එවන් අවස්ථාවක දැනෙන කම්පනය කිහිප ගුණයකින් වැඩිකරවමිනි.

තුන්වන කතාව වන 'ස්වර්ණකාය' තුලින් කතාවන වාර්ගික අර්බුධයකට මැඳිවූ රටක මිනිස් සිත්සතන් හැසිරෙන ආකාරයත් ආත්මාර්ථයත් මහා ව්‍යසනයකට පසු මිනිස් සම්බන්ධතා ගැනත් ඒ ඉදිරිපත් කර ඇති ආකාරයත් මෙවන් කෙටිසටහනකට ලඝු කිරීම කළ නොහෙන හෙයින් ඒ කතාව ආගමික හෝ ජාතික සංකල්පයන් නිර්මාණයකදී යොදාගැනීමට ගන්නා ලද නිර්භීත වූත් ඒ නිර්භීත කම සමඟම අවශ්‍යය වන්නා වූ සංයමයෙනුත් යුතු වන්නා වූ නිර්මාණයකට හොඳම උදාහරණයක් ලෙස දක්වා ලමින් පමණක් සෑහීමට පත්වන්නෙමි. කෙසේවෙතත් මෙහිදීද කෙටිකථාවක තිබිය යුතුම යැයි මා විශ්වාස කරන්නා වූ එකම කේන්ද්‍රයක් වටා ගෙතුණු මුඛ්‍ය කතාවට හානියක් නොවන පරිද්දෙන් සමස්ත සමාජයම අල්ලාගෙන තැනින්තැන මතුකරලන බුහුටි ආකාරය ගැනද නොකියාම බැරිය.

ඉහතින්ද සටහන් කර ඇති 'කොල්ලෙක්' කතාව ඒ හරහා ඉදිරිපත් කෙරෙන දේශපාලන උත්ප්‍රාසය තිබියදීත් මිනිස් සිත හා මිනිස් බැඳීම් ගැන ලියවුණක් සේ කියවාගනු කැමැත්තෙමි. කතාවෙහි එන සැමියා මානසික අසමතුලිතතාවයෙන් පෙලෙන කාළයේදී මදුරු දැල තුලට මදුරුවන් රිංගා ඇතැයි කළබල කිරීම ඔහුගේ මානසික අසමතුලිතතාවයෙහි රූපකයක් ලෙස ගන්නා කතුවරයා එම රූපකය යොදාගෙන බිරිඳගේ මානසික ස්වභාවයත් ඇය පත්ව ඇති අනුකම්පා සහගත තත්වයත් කතාවෙහි අවසාන වාක්‍යය හයෙහි ලා ඉදිරිපත් කරන්නේ එම ආතතිය පාඨකයාටද දනවමිනි.

මෙම කෘතියෙහි ඇති අන් කතා වලට වෙනස්ව ආකෘතිමය වශයෙන් ද භාෂාමය වශයෙන්ද බොහෝ හරඹ ඇතුලත්වන්නාවූත් කෙටිකතා සංග්‍රහයෙහි ඇති දිගම කතාව වන්නාවූත් 'කිදුරු සිංහයා සහ නජීබ්' කතාව මට දනවන්නේ අතුඉති විහිදා වැඩුණු ගසක ස්වභාවයකි. දේශපාලන අරගලයක ද පරම්පරා පරිවර්තනයක ද කතාව පිටු අතර අතු ලෙසින් පතුරාලන ගමන් මිනිස් සිත ගැන අපූරු පරිකල්පනීය ඉදිරිපත්කිරීමක් කරමින්.
කෙසේ වෙතත් කතාව පුරාම පරිච්ඡේද එකොළහක් ලෙසින් ඉදිපත්වනඑහෙට මෙහෙට මාරුවෙමින් කතාවන් හේතුවෙන් ද තැනින් තැන යෙදෙන ඉංග්‍රීසි භාෂාමය කවි හේතුවෙන් ද මෙම කෙටිකතාව කියවීම ඉතිරි කතා මෙන් පහසු වන්නේ නැත. ඒ ආකෘතිය එවන් අන්තර්ගතයක් ඉදිරිපත්කිරීමට යොදාගත හැකි හොඳම විදියක් වූවත්. ඒ නිසාම මේ කෙටිකතා පොත කියවන බොහෝ පාඨකයකු අතින් මෙම කෙටිකතාව මඟ හැරී යෑමට විශාල ඉඩක් ඇත්තේ ය.

රිටයර්ඩ් අන්හර්ට් නමින් එන හයවෙනි කතාව මුල් කතා හතරෙහිම ඇති ආකාරයේ නිශ්චිත අවසානයක් කරා යන කතාවක් නොවන අතර කුඩා කාලපරාසයක් තුල විහිදුවන එක් සිදුවීමක් වටා හැඩ දමමින් ගොතන විවිධාකාරයේ මිනිස් සම්බන්ධතාවයන් හා ස්වභාවයන්ගෙන් යුතු කතාවකි. කෙටිකතාවක් ලෙස කිවයුතු තරම් වැරැද්දක් නැතත් ඒ කෙටිකතාවට එරෙහිව එන්නේ ස්වර්ණකායෙහි ඇතුලත් අනෙක් කෙටිකතාවන්ම ය. ඒ කතා තරම් ප්‍රකම්පනයක් ඇති කරන්නට මේ කතාව අසමත්වන හෙයින්.

මෙම කෙටිකතා සංග්‍රහයෙහි එන අවසන් කෙටිකතාව වන 'ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු' කතාව මෙතෙක් මා කියවා ඇති නූතනම කෙටිකතාවක් බව නිබයව පැවසිය හැක්කේ ය. භාෂා හෝ ආකෘති හරඹ නැත්තේ ය. දිගු වාගාලාපයන් හෝ පැහැදිලි කිරීම් නැත්තේ ය. මතුපිටට ගෙන විස්තර කෙරෙන මහා මනෝවිශ්ලේෂණයන් නැත්තේ ය. පිටරටක වෙසෙන වෙනස් ජාතීන් දෙකකට අයත් සිසුන් තිදෙනෙකු අතර සිදුවන මානුෂීය ගනුදෙනු කිහිපයක් ලිවීම මඟින් පමණක් සිය මවුබිමෙහි ඇති යුද්ධයත් ඒ යුද්ධයෙන් හෘදසාක්ෂීන් කෙරෙහි ඇති කරන බලපෑමත් සුරුවට වියන අතරම නිවැරදි යැයි කියනා හෘද සාක්ෂින් කෙතරම් නිවැරදි යැයි යන්නද අපටම ප්‍රශ්න කරන්නට ඉඩ හරිමින් කතාව අවසන් වන්නේ ය.


අවසානයට මේ පොතෙහි එක් එක් කතාවක් වෙන වෙනම ගෙන වුවත් මීට වඩා දිග සටහන් ලිවිය හැකි තරම් එම කියවීම ඇති කළ කම්පනය බලවත් බවත් බොහෝ කෙටිකතාකරුවන් නාස්තිකරගන්නා අනුභූතීන් හා ශිල්ප ක්‍රමයන් සාර්ථකව යොදා ගැනීම හේතුවෙන් නිර්මාණකරණයෙහි යෙදෙන ඕනෑම අයෙකු විසින් කියවා විග්‍රහ කරගත යුතු පොතක් බවත් ලියමින් නවතිමි.

Wednesday, July 10, 2019

:: බිඳි සෙනෙහෙ අවුරා- ළං කළ හැකිද හඬන සිත් තැවෙන සිත් ::


සුර අසුර' ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කෙරෙන්නේ එකදහස් නවසිය අනූ හයේ දී ය. බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයක් ලෙස. වසන්ත කොටුවැල්ල හා වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණය කළ. සිංහල හා දෙමළ අඹුසැමි යුවලක් විලසින්. අසූ තුනේ ජූලි මාසයේ ලංකාව කාලාවකාශය කරගනිමින්. කලු ජූලිය නම් පැල්ලම ඉතිහාසයෙහි සටහන්වෙද්දී මිනිසුන් හැසිරුණේ කෙසේ දැයි ඉඟියක් සපයමින්.

ඒ ටෙලිනාට්‍යය ගැන සමාජයෙහි හෝ සාහිත්‍ය කළා රසවින්දන අවකාශයන්හි ඇති තරම් කතා බහක් ඇති වූවා ද නැත් ද යන්න මා නොදනිමි. ඒ එකල මා කුඩාවකු වූ නිසාත් දැන් මෙන්ම එකල ද එවන් සංවාද ඇතිවන්නා වූ කොළඹ මට බොහෝ දුර වූ නිසාත් ය.

නමුත් ඒ ටෙලිනාට්‍යය වෙනුවෙන් චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ ගීතය අදටත් බොහෝ දෙනා සිහිකරන සොයන ගීතයකි. " වියෝ වී මිහි මඬල ඉකි බිඳී රළු සුළඟ සේ" ලෙසින් ඇරඹී සිංහලෙන් ද දෙමළෙන් ද " සාපයක් දෝ දෙවියන්ගේ, පාපයක් දෝ මිනිසුන්ගේ” යැයි කිහිප තැනෙකම ගැයෙන්නා වූ.

ශාන්තිනී. ( අවුරුදු විසිහතරකට පමණ පසු ප්‍රියන්ත ෆොන්සේකා සොයුරාටත් මටත් මතක හැටියට ඇගේ නම එය විය යුතු ය). එකල මහනුවර යුනෙස්කෝ සංගමය නමින් තනාගත් කුඩා එකතුවේ අප බොහෝ දෙනෙකුට ශාන්තිනී අක්කා වූ ඇය ඒ දේව ශාපයට ගොදුරු වූවකු වූවා ය. පාපී මිනිසුන් අතින් වැපිරුණු.

අසූතුනේ ජූලි මාසයේ දී ඇයගේ පියා මරා දැමුණි. සොහොයුරා පිහි ඇනුම් කෑවේ ය. ඇගේ සිරුරටද බොහෝ තුවාල කැළැල් එක්වී තිබුණේ ය. දළඳාව වෙනුවෙන් කෙරෙන පෙරහැරේ හඬ ඇසෙන මානයේ දී.

ඊට වසර දහතුනකට හෝ දාහතරකට පසු ඇය අපට දෙමළ උගන්වමින් සිටියා ය. සිංහල රැළක එකම දෙමළිය වෙමින්. සිය සොහොයුරාගෙන් කෙරුණූ තර්ජන ද බලපෑම් ද නොසලකා හරිමින්. ගමන් ගාස්තු ද ආහාර පාන වියදම් ද තමා විසින්ම දරමින්. අප විශ්වාස කරමින්. අපටත් වඩා මනුෂ්‍යත්වය විශ්වාස කරමින්.

ඒ විශ්වාසය කොතෙක් ද යත් අපෙන් කිහිප දෙනෙකු සිය පවුලේ විවාහ උත්සවයකට පවා රැගෙන ගියා ය. ගැඹුරටම කැපී ගිය තුවාල පිරිමදිමින් යළි යළිත් වේදනා විඳිමින් සිටි සිය සොහොයුරා පවා සනසමින්.

ශාන්තිනී අක්කා. පුද්ගලිකව මා හා වචන පනහකට වඩා කතා කර නැතුවා විය යුතු ය. එහෙත් අදටත් මා ඉතා ආදරය කරන ගැහැණුන් අතරෙහි ඇය නිසැකවම සිටින්නී ය. ඒ මගේ ජීවිතයෙන් ජාතිය නම් ක්ලේෂය ඉවත් කළ ජීවමාන උදාහරණය බවට පත් වෙමිනි.

චන්ද්‍රිකා සිරිවර්ධන ගයනා ගීතයෙහි කොටසක් යළිත් උපුටමි.
අළු යටින් මතු වී
ඇවිලෙනා ඇවිලෙනා
නොනිවි ගින්නක් වී"

අනූ හයේ දී ගැයුණු ඒ ගීතය අදටත් වලංගු ය. නිමා කෙරුණා යැයි උදම් අනන ව්‍යසනයක සැබෑ තත්වය එයම වන හෙයින්. ජීවිත බිලි දෙමින් බලි ගනිමින් වනසමින් අවසන් වුණ.
තවමත් උල්පා දක්වන වාසියට සටහන් කෙරෙන අවස්ථාවාදී ජඩයන් විසින් වපුරණ අවිශ්වාසය විසින් සක්‍රියව තබා ගන්නා.

සිංහල ද දෙමළ ද මුස්ලිම් ද වෙනසක් නැතිව ම.

ශාන්තිනී අක්කා උදාහරණ කොටගනිමින්ම ලියමි.
මේ අවාසනාව සදහටම නැවතිය හැක්කේ මහ එකාගෙන් උදුරාගෙන අනෙකාට දීමෙන් හෝ අනෙකාට සුරංගනා ලෝක මවා පෙන්වමින් නොවන්නේ ය. ආදරයෙන්ම පමණි.ඒ ආදරය ගැන විශ්වාසය තැනීමෙන්ම පමණක්ම වන්නේ ය. එලෙස විශ්වාසයෙන් ආදරය කළ හැකි අවකාශයන් ද මිනිසුන් ද තැනීමෙන්ම පමණක්ම වන්නේ ය.

ඒ වැඩය අමාරු ය. අමාරු වැඩ කළ යුත්තේ සාමූහිකව ය.

Monday, July 8, 2019

ඉස්කිරීම | දමිත් උදයංග දහනායක | සයුර


විඳීම් සටහනක් පමණි.
' තෙමි තෙමිම මම ' නම් අපූරු කාව්‍ය සංග්‍රහයෙන් තම නම සළකුණු කළ දමිත් එහිම දිගුවක් ලෙස ගද්‍ය කාව්‍යයක් අප අත තබා ඇත. බසෙහිද සිද්ධීන්ගේද හැඟීම්වලද සබැඳියාවන්ගේද යන මොන අංශයෙන් ගත්තත්. නණ ලළ අතහැරීම වැනි ලේබල්ගත රැඩිකල් බස් බිඳීම් වලට එහා ගිය පෙළහරක් පාමින්. ආකෘතියට පවා පණ පිහිටුවමින්.
මෙම කෘතිය නවකතාවක්ද කෙටි නවකතාවක්ද නැතිනම් කෙටිකතාවක්ද යන තාක්ෂණික හරඹයෙන් ගැලවෙනු වස් මම මෙය ගද්‍ය කාව්‍යයකැයි හඳුන්වනු රිසියෙමි. ඒ ලියා එළි දක්වා ඇති හැඟීම් ගොන්න වර්ගීකරණය කිරීමට යෑම ප්‍රේමයට අරුත් සපයන්නාක් මෙනම ඵල රහිත එකක් වන හෙයින්.
දමිත්ගේ කථාව ලිවිය යුත්තේ දමිත් ලියා ඇති ශෛලියෙන්ම වන්නේ ය. මන්ද ඒ තුළ හැඟීම් දැනීම් මිස විඳීම් විඳවීම් මිස මහා කතාවක් ඇතුලත් නොවන හෙයින්. මහා සමාජ වපසරියක් ස්පර්ශ කරනු වෙනුවට තනි මිනිසෙකුගේ මනෝ භාවයන්ම යළි යළිත් පාදමින් ඉස්මතු කරමින් ඒවා ඒවා සමඟම ගටමින් කෙරෙන වියමනක් පමණක් වන හෙයින්.
පාඨකයා විසින් ඉතා සරල ප්‍රේමකතාවක් ලෙස සළකා අතහැර දැමිය හැකිව තිබූ කතාවක් කීමට කාව්‍යාත්මක බසක්ද ඒ කවි බස නිසාම පාඨකයාට පහසුවෙන් මඟහැරිය නොහැකි ලෙස ඒ තුලම අර්ථ දැක්වෙන මිනිස් හේතුඵල සම්බන්ධතාවයන් දාමයක්ද යුතු ඉස්කිරිම අප සැමගේම ප්‍රේමණීය ජීවිත ගැන මතකයන් යළි යළිත් අවුලුවාලයි.
මුල්වර කියවීමේ දී මෙය නව යොවුන් තරුණයකුගේ ප්‍රථම ප්‍රේම අත්දැකීමක විලසින් ලියැවුණ කතාවකැයි දැණුනද දෙවනවරදී ඒ හැඟීම බිඳලමින් ඕනෑම අවධියක ඕනෑම ප්‍රේමයක් මෙබඳුවන්නේ යැයි තහවුරු කරවන්නට තරම් දමිත්ගේ ලියමන සමත් වූයේ ය.
ඉස්කිරිම කියැවූ ඇතැමුන් මෙය මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගයට ලංවන පොතකැයි කියා අදහස් දැක්වූවද මට අනුව නම් කථාව පුරා ගලා යන ආතතිමය ප්‍රේමයත් විරහවත් දෙක වඩා ලංවන්නේ ' මලගිය ඇත්තෝ' වැනි කෘතියකට හෝ ' පත් සිඳුණු වසන්තය' වැනි කෘතියකට වන්නේ ය. ලාලසාව වඩවන බස් හැසීරීමත් සමඟම.
දමිත් සිය චරිතයන්හි මනෝභාවයන් දෙබස් හා විස්තරකිරීම් වලින් ඉදිරිපත් කරණවාට අමතරව ආකෘතිය තුලින්ද ඉදිරිපත් කිරීමෙහි මහන්සි ගන්නේ ය. තම ප්‍රේමය පැලවී වැඩී ඵල දරා අවසන් වනතුරු කාව්‍යාත්මකව කථාව කියන කතානායකයා ප්‍රේමය මඟහැර දුරකට ගිය තැන පටන් කතාව කියන්නේ සම්මත ලියන බසෙනි. ඒ ආකෘතිකමය අත්හදා බැලීම ඒ ජාතියේ හොඳම එකක් බවද ලියා තැබිය යුතු ය.
ඒ නිර්භීතකමටත් කතාව පුරා ඇති සංයමයටත් ඉවසීමටත් ඇවැසි දේ පමණක් ලිවිය යුත්ත පමණක් තෝරා ලිවීමට ගෙන ඇති උත්සාහයටත් ස්තූතිය පුද කරනු කැමැත්තෙමි.

Sunday, July 7, 2019

රෝස මුසැන්ඩාස් පිස්සුව | සුසන්ත මූනමල්පේ | ගොඩගේ



මුලින්ම ලිවිය යුත්තේ මේ ලියමන උක්ත කෘතිය ගැන විචාරයක් යැයි වරදවා නොගතයුතු බව ය.
මෙවන් ලියැවිලි විඳීම් සටහන් වන අතර විචාර යනු මීට වඩා හරබර වූත් මහන්සිවිය යුතු වූත් වැඩ ය.

පිටු හැටපහක් පුරා ලියැවුණු කෙටිකතා හයකින් යුත් මේ කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා හයම නැවුම් ය. අපූරු ය. අනුභූතීන් අතින්. පරිකල්පනය වෙසින්. ඇතැම් තැනකදී ආඛ්‍යාන විදියෙන් පවා.

සුසන්ත මූනමල්පේ ඒ අපූර්වත්වය ගොඩනගන්නේ හැකිතාක් දුරට සම්මත කෙටිකතා ආකෘතිය තුල රැඳෙමින්ම වීමද අපූරු ය. සරල බසකින්. චරිතවලට තම වපසරිය තුල විසිරී යෑමට ඉඩ හරිමින්. බාහිරින් ඇවැසි අඩුම කුඩුම තොරොම්බල් එල්ලමින්. ඇවැසි තැන දී. ඇතැම් තැනකදී අනුපාන වරද්දාගනිමින් වුවත්.

අඩපාඩුවක් කියන්නට දෙයක් ඉතිරි නොකරන ' ස්-මරණය සහ ගස් - මරණය' තුලින් ඇගට පතට නොදැනී පරම්පරාවක කතාන්දරයක්ද මනුස්ස ගනුදෙනුද කියන කතුවරයා ඒතුලින්ම පාඨකයා තම ලියවීම තුලට ග්‍රහණය කර ගනී.
කෙසේවෙතත් එවන්ම ප්‍රකම්පනයකින් අවසන් කළ හැකිව තිබූ දෙවෙනි කතාව එතරම් ඔප මට්ටම් නොවුණු හැඟීම් සමුදායක් එහෙමම කතාන්තරයක් තුලට එබ්බවීම මගින් මෙන්ම කතාවේ රිද්මයට නොගැලපෙන තාක්ෂණික පිමි කිහිපයක් හේතුවෙන් මඳක් සැර බාල වී ඇත්තේ ය.
රෝස මුසැන්ඩාස් පිස්සුව. පොතෙහි ඇති අව්‍යාජම කෙටිකතාව වන්නේ ය. පොත පුරා කතුවරයා විසින් යෙදෙන තම අභිප්‍රායන් හා කතාව එකිනෙක හා ගැටගසන්නට ගන්නා උත්සාහය කූටප්‍රාප්තියට පත් කරන්නා වූ. අනෙක් කතා පහේම ඇති හැඟීම් ද ජීවිතය ද එක මිටට ගත්තා වූ.
විජිතගේ වළලු විජිතය නම් සිව්වැනියට පෙළගස්වා ඇති කතාව බැලූ බැල්මට අභව්‍ය විය නොහැකි යැයි සිතුය හැකි සිද්ධි දාමයක් ශූර ලෙස ලියා ඇති අවස්ථාවක් ලෙස ගත හැක්කේ ය. බසෙහි හෝ ආඛ්‍යානයෙහි මහා ශිල්ප දැකවීම් වලින් තොරවම. හුදු පරිකල්පනයේම හැකියාවෙන් ඉස්මතු කොටගත්. එමෙන්ම කතා හයෙන්ම වඩා උත්ප්‍රාසාත්මකම අවසානයද ඇත්තේ මේ කතාවෙහි වන්නේ ය.
හිස් මල් වට්ටියත් කිහිල්ලෙ ගහගෙන නමින් ඇත්තා වූ පස්වෙනි කෙටිකතාව සුසන්ත මූනමල්පේ නම් කතුවරයා තම අවට පරිසරය එහි මිනිසුන් මොනතරම් ශූරලෙස ග්‍රහණය කරගන්නට සමත්දැයි කියාපාන්නකි. එමෙන්ම තම අත්දැකීම් ප්‍රබන්ධයකට ගෙනෙද්දී කතුවරයකුට මොනතරම් විශ්වාසනීය ලෙස චරිතයක් ගොඩ නැංවිය හැකිදැයි කියන්නට හොඳම උදාහරණයක් ලෙස මුළු කතාව පුරාම නිර්මලාගේ පරෙස්සම් වීම සිහින් හුයක් පතුරා ඇති ආකාරය විශිෂ්ඨ ය.
හයවෙනි කතාව ලෙස ඇති වැව් සාගර සහ සොහොන් අරලියා බැලූ බැල්මට ඉතිරි කතා පහ තරම් බරක් නොදී ලියැවුණක් සේ හැඟී ගිය ද කතුවරයා මුළු කෘතිය පුරාම සාර්ථක ලෙස සිත්තම් කරන්නා වූ සමාජයේ තැන තැන පැලව ඇති වත්මන් ලාංකික මිනිස් ජීවිතය මේ කතාව තුල ද බහා ඇත. වෙනත් ආකෘතියකින්.

ඒ සියලු සාධනීය ලක්ෂණයන් එසේ තිබියදී තම කුළුදුල් කෙටිකතා සංග්‍රහය විශිෂ්ඨ පොතක් වීමට තිබූ ඉඩ කතුවරයා විසින් අහුරා ගන්නේ වත්මනෙහි බොහෝ කතුවරුන් විසින් කරන්නට යෙදෙන පොදු නොසලකා හැරීම් කිහිපයක් හේතුවෙනි. පළමු පොත වීම හෝ හදිසියේ අවසන් කිරීමට යෑම හෝ කතාවෙහි නැති දාර්ශනිකත්වයක් එබීමට යෑම හේතුවෙන්.

මුල්ම වැරැද්ද වන්නේ කතාව අවසන් වූ පසුද කතාව කීමට යෑම හෝ කතාවට අවශ්‍ය නොවන අවසානයක් වෙනත් අරමුණකින් කතාවට පිරිද්දීම ය. ඇතැම් තැනකදී පුරාණ ග්‍රීක නාට්‍යයෙහි එන 'සමෝධානය' වැනි සංකල්පයක් කෙටිකතාවට අවශ්‍ය යැයි යන යල්පැනගිය මතය හා කතුවරයා සිටින්නේද යන සැකය පවාමතු කරමින්. දෙවෙනි සහ පස්වෙනි කෙටිකතාවල දී ඒ කතාවන්හි සම්පූර්ණ ජීවගුණයම නැසීමට තරම් ප්‍රභලවත් අවසාන කතාවේදී යම් දුරකටත්.
දෙවැන්න කතාවෙහි ගලා යෑමට දැඩි ලෙස බාධා කරන භාෂාමය පොලා පැනීම් ය. මේ වරදෙහිලා නම් කතුවරයාට සමාවක් දිය නොහැක්කේ ඔහු විශිෂ්ඨත්වයට පත්කරන සුරල සුගම කතාන්දර විධිය ඔහුගේම නොසැලකිල්ලෙන් තව වරක් හෝ දෙවරක් අවසාන පිටපත් කියවීමෙන් මඟහරවා ගැනීමට හැකිව තිබූ වරදක් හේතුවෙන් නාස්ති කරලීම නිසා ය. පැහැදිලවම ඒ නම් හදිස්සිය විය යුතුම ය.
උදාහරණයක් ලෙස " හිස් මල් වට්ටියත් කිහිල්ලෙ ගහගෙන" කතාවෙහි එක ලඟ යෙදෙන මේ වැකි දෙක සලකන්න.
අතරින් පතර ඇයගේ ඇඟිලිතුඩුවලට හසුවූ ඔහුගේ ගන මාංශපේශිවලින් හා ශක්තිමත් පොරබැදිලි වලින් ඇයට ඔහු කියූ වයසටත් වඩා අඩු තාරුණ්‍යයේ සිටින බවකි. නිර්මලා කිව්වෙ ඇගේ වයසින් හරියටම අවුරුදු තුනක් අඩු කරල.”

අවසානයට. ' රෝසමුසැන්ඩාස් පිස්සුව ' පොත අපූරු කෙටිකතාමය අත්දැකීමකි. එහි එන ' ස්-මරණය සහ ගස් - මරණය' හා ' රෝසමුසැන්ඩාස් පිස්සුව ' ඕනෑම විශිෂ්ඨ සිංහල කෙටිකතාවක් හා එකපෙළට සිටුුවා තැබිය හැකි කතා ය. සුලු වැරදි තිබුණත් ' විජිතගේ වළලු විජිතය' හා ' වැව් සාගර සහ සොහොන් අරලියා' අපූරු පරිකල්පනයක දායාදයන් ය. ඉතිරි කතා දෙක පණ්ඩිත කම හා හදිසිය විසින් නාස්තිකරගත් වැරදියට ඔපදැමූ මිණි කැට ය.


Monday, April 8, 2019

:: ප්‍රේමාලාප ::



හිමියනි
පෙමම සොව තනනා බවද පෙමම බිය තනනා බවද අත්දුට ය සහතික ය

ඒ බියද ඒ සොවද
දිගු කලක් පැසවුණේ මහදුරක් ඇවිලුණේ

මීට බෝ කලකට පෙර ය.

හිමියනි නො ඉසිඹුවෙන් දිව යමි
සොවට බියට නොව
විරහවටවත් වේලා නැතිවම

ආශ්වාදයකින් තවෙකකට පනිමි 
ආදීනවය තුනී කොටලමි 

මේ භවයෙහිම
මියෙමි උපදිමි
යළි මියෙමි

හිමියනි 
බියෙහි බිය නොවන්නෙමි. 
ශෝකයෙහි සෝ නොගන්නෙමි. 

සංජීවයද සංඝාතයද  මෙයම කොටගෙන වසමි