Thursday, February 15, 2018

:: ආකාස හීන 06 ::

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "


Paulo Coelho යන්න සිංහල කියවන්නන් අතර ප්‍රචලිතව ඇත්තේ 'පාවුලෝ කොයියෝ' ලෙස ය.
ඒ නමෙහි හමිකරුවා එකදාස් නවසිය හතලිස් හතේ බ්‍රසීලයේ දී උපන්නේ ය. නවසිය අසූ දෙකේ දී තම මුල්ම පොත ප්‍රකාශනයට පත් කළේ ය. තවමත් ලියන්නේ ය.

Onze Minutosනවකතාව ඔහු ලියන්නේ දෙදහස් තුන වසරේදී ය. පෘතුග්‍රීසි බසින්. දෙදෙනෙකු අතින් සිංහලට පරිවර්තනය කෙරුණු . දෙවතාවක දී. නම් දෙකකින්. ' විනාඩි එකොළහ' හා 'මිනිත්තු එකොළහේ කථාව' ලෙස.

මරියා. නවකතාවේ ප්‍රධාන චරිතය වන්නී ය.
ලිංගික ශ්‍රමිකාවියකි. බ්‍රසීලයෙන් යුරෝපයට සංක්‍රමණය වූ.
රැල්ප්. ගනුදෙනු කරුවෙකි. මරියාට මුණ ගැසුණු.
මුලින් ශෘංගාරය ද පසුව ආදරය ද ගනුදෙනු කරන්නට යෙදෙන.

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "
තම මුල්ම හමුවේ දී රැල්ප් මරියාට කියන්නේ ය.

තමා තමාට ඇවැසි ලෙස හැසිරීම.
බොහෝ විට පිස්සුවකි. විකාරයකි. වදයකි. සම්මතයට අනුව.
නමුත් අප ප්‍රියකරන්නේ ද එයටම ය. අප ආශා කරන්නේ ද එසේ කරන්නට ය.
අප යටපත් කරගන්නේ ද එයම ය. එම ආශාවය.
තමා වීම වෙනුවට වෙනකකු වන්නට ය. අනෙකුන් ආශා කරන.

ඒ අනෙකුන් දිනන්නට ය. හොඳ අයවලුන් වන්නට ය. සැමට ප්‍රිය වන්නට ය.

දිනාගත් පසු.
අපි අපේ ආශාවන් හඹා යන්නට අරඹන්නෙමු.
ආදරයේ දී ද කලාවේ දී ද දේශපාලනයේ දී ද වෙනසක් නැතිවම.

ජීවිතය තරඟ දිවීමක් වූ කල එසේ ය. සැම දෙයම දිනුම් ඉලක්ක කරගත් කල එසේ ය. හැඟීම් ද සබැඳියාවන් ද වගකීම් ද වගවීම් ද ඒ දිනුම උදසා වූ මෙවලම් කරගත් කල එසේ ය.

අපි ඉතා දක්ෂ රවටන්නන් වන්නෙමු. අපව ද අනුන්ව ද නොවෙනස් ව.
අපි ඉතා දක්ෂ රැවටෙන්නන් වන්නෙමු. අපගෙන්ම ද අනුන්ගෙන් ද නොවෙනස් ව.

මට ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට "
රැල්ප් මරියාට එසේ කීවාට අපට කිසිවකු එසේ කියන්නේ නැත.
ඒ නිසාම අප අනෙකාට ඇවැසි ලෙස වෙනස්විය යුතු වන්නේ ය.

අනෙකා. අප ආශා කරන්නා ය. අප විසින් දිනාගත යුත්තා ය. බලය ඇති තැනැත්තා ය.
ආදරයේ දී ද කලාවේ දී ද දේශපාලනයේ දී ද වෙනසක් නැතිවම.

මේ රඟපෑම එහෙයිනි. මේ රැවටීම එහෙයිනි.
බලය ඇත්තා වසඟ කරගනු රිසියෙනි.
එය අසීරු ය. සිත් පෙළන්නේ ය.

මේ චක්‍රව්‍යූහය එලෙස ය. අපට රිසි ලෙස නොවන්නේ ය. එහෙයින් එය ජයගත යුත්තේ ද අපම ය.

මා ඔබට කියන්නේ මරියා ලෙස වන්නට නොව රැල්ප් ලෙස වන්නට ය.

අනෙකා අනෙකා ලෙස දකින්නයැයි කියා ය.
ඔහුට ඔහු ලෙස හැසිරෙන්න දෙන්න යැයි කියා ය.
අඩුම තරමින් ඔබ ළඟදීවත්.

එවිට එක රැවටෙන්නකු ද රවටන්නෙකු ද අඩු වනු ඇත.
චක්‍රව්‍යූහ බිඳලිය හැක්කේ එසේ ය.

No comments:

Post a Comment