Thursday, February 15, 2018

:: ආකාස හීන 03 ::

අපට අතීතයක් ඇත්තේ ය.
සුන්දර ද නොවන අසුන්දර ද නොවන ප්‍රසන්න ද නොවන අප්‍රසන්න ද නොවන.
පුද්ගයන් ද පවුල් ද ගම් ද නගර ද ආදී ලෙස රැස්වුණ ඉතිහාසයක් ඇත.
ඒ මතු නොව ජාතියක් ලෙස ද ශිෂ්ඨාචාරයක් ලෙස ද ඉතිහාසයක් ඇත. ආඩම්බරය ද ලැජ්ජාව ද නොඅඩුව කැටිවුණ.

ඒ ඉතිහාසය අනුව ලංකාවේ මිනිසුන්ට සැමදා සැමතැන සමලෙස සැලකී නැත. අවස්ථාවන් ලැබී නැත. බලය දරන්නට ඉඩ ලැබී නැත.

සිය වසර දහනවයක ශ්‍රී ලාංකික අත්දැකීම් අළලා වර්ෂ එකදාස් හයසිය අනූ එකේ දී රොබට නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයාගේ අතින් ලියැවුණ  ' An Historical Relation of the Island Ceylon' නම් කෘතියෙහි ඩේවිඩ් කරුණාරත්නයන් විසින් ' එදා හෙළදිව' නමින් කෙරුණු පරිවර්තයෙහි දී විග්‍රහ කෙරෙන්නේ නිවෙසක සුදු පිරියම් කිරීමට පවා අවසර නොතිබුණු එසේ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්ව තිබුණු ප්‍රජාවක් ගැන ය.

ලංකාවේ පමණක් නොව ලෝකයේ ද එසේම ය.
මිනිසුන්ට සැමදා සැමතැන සමලෙස සැලකී නැත. අවස්ථාවන් ලැබී නැත. බලය දරන්නට ඉඩ ලැබී නැත. මනුෂ්‍යය ශිෂ්ඨාචාරය පුරාවට. තවමත් නොවෙනස්ව. නේක වේෂයන් ගෙන් පාලනය වෙමින්.

මිනිසුන් ඒ තරම් අසාධාරණ ය. අනෙකා නොතකන සුළු ය. අනෙකා පහතට ලා පහත වැටුණු එකාගේ මට්ටමේ සිට තම මටම්ම මැන තුටු වන්නට තරම් කුහක ය. තමා පවතින බව ඉන්නා බව තමන්ටමත් අනෙකුන්ටත් තහවුරු කරගැනීම ට තමන් ලද දෙය අනෙකාට එරෙහිව යොදමින් සිටින්නේ ය. සිය පැවැත්ම ද ලද අවස්ථාවන් ද හිමි වූ හැකියාවන් ද ලැබූ බලයන් ද තව බොහෝ දෑ ද ඇතුලත්ව.

චින්තනයේ ද භාෂණයේ ද ක්‍රියාවේ ද වගකීම් විරහිතව.

බලය හා වගකීම අතර සම්බන්ධය දක්වන අපූර්ව කියැවුමක් දෙදහස් දෙක වසරේදී තිරගත වූ ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ එයි.

' With Great Power Comes Great Responsibility '

විසල් බලයක් සමඟ විසල් වගකීමක් ද පැමිණෙන්නේ ය.

එකදාස් නවසිය හැට දෙකේ දී  “Amazing Fantasy” නම් කොමික් සඟරාවෙහි මුල් වරට මකුළු මිනිසාව හඳුන්වා දෙමින් මේ උපුටනය ලියැවෙන්නට පෙර තව බොහෝ තන්හි මේ හා සම අදහස් දෙන යෙදුම් ලියැවී ඇත. සඟරාවල කථාවල පමණක් නොව එකදාස් හත්සිය අනූ තුනේ දී ප්‍රංශ ජාතික ව්‍යවස්ථාවට එක්කෙරුණු සංශෝධනයන් හි පවා.


සත්‍යයකි.
විසල් බලයක් සමඟ විසල් වගකීමක් ද පැමිණෙන්නේ ය.
නමුත් පෘථග්ජනයා ඒ බලයෙන් අන්ධ වන්නේ ය. වගකීම අතහරින්නේ ය.
රාජ්‍යයත්වයේ දී. වෘත්තියේ දී. ඉගෙනුමේ දී. මාධ්‍යකරණයේ දී. ආදරයේ දී.
වගකීම. ඔබට ක්ෂණිකව කිසිවක් ලබා නොදෙයි. අඩුතරමින් මිනිසා වැඩිපුරම ආශා කරන අනෙකාගේ අවධානයවත් වහ වහා ලබා නොදෙයි. බලයෙන් වෙනස් ව. නමුත් වගකීම ඔබව ශිලා ස්ථම්භයක් කොට තැන්පත් කරයි. ඉතිහාසය පුරාව ට. කවරදාක හෝ. කොහේ හෝ තැනක. පොතක. රටක. අවම වශයෙන් හදවතක.
එහෙයින් ලියමි.
ඔබ ලද දෙය වගකීමෙන් භාවිතා කිරීම ඔබව දියමන්තියක් බවට පත් කරවයි. තිරුවාණා ගල් වලින් වෙනස්ව.



No comments:

Post a Comment