Monday, June 22, 2015

ඉ - සාහිත්‍යය

සාහිත්‍යය. බොහෝ නිර්වචනයන් ඇති වදනක් වුවද, ඇසූ සැනින් සිතෙහි මැවෙන්නේ ලිවීමකි. නවකථා කෙටි කථා සඳැස් නිසඳැස් වැනි වර්ගීකරණයන්ට යටත් වුවද සාහිත්‍යය යනු පොදුවේ ගත්කල ලිවීමක් වන්නේය. ලියන්නා හා කියවන්නා අතර ගණුදෙනුවක් වන්නේ ය.

ඊ-සාහිත්‍යය. පසුගිය දශක දෙකක පමණ කාලයක් තුලදී ලෝකය පුරාත් එහි අවසාන අඩ තුලදී ලංකාවේත් බෙහෙවින් ප්‍රචලිතව ආ අංකිත ලිවීම් වලම දිගුවකි. ඊ-සාහිත්‍යය යන්න විසි එක්වන ශතවර්ෂයේ ප්‍රචලිතව ගිය ද එහි ඉතිහාසය 1952 තරම් ඈත අතීතයක් දක්වා දිව යයි. ඒ එතෙක් ගණිතකර්ම හා තාර්කික ගැටළු විසඳමින් සිටි පරිගණකය ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තකට යොමුකල මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් ස්ට්‍රැචි (Christopher Strachey) නිසාවෙනි. ඔහු විසින් හඳුන්වා දුන් පෙම් ලිපි ලිවීමේ ඇල්ගොරිතමය, සාහිත්‍යමය අන්තර්ගතයක් සඳහා පරිගණකයක් ආශ්‍රයෙන් කෙරුණු මුල්ම යෙදවීම ලෙස සැලකේ.

ඉන්පසු. හැටේ දශකයේ අගභාගයේදී වදන් සැකසුම් මෘදුකාංග හඳුන්වාදීමත් සමඟ එතෙක් කල් පෑනකින් හෝ යතුරු ලියනයකින් කඩදාසියක ලියවුණ දෑ යතුරු පුවරුවක් හරහා ලියන්නට හැකියාව ලැබිණි. නමුත් අසූව දශකය වනතුරුම, අන්තර්ජාලය පැතිර ගොස් ලෝක ව්‍යාප්තජාලය (World Wide Web) බිහිවනතුරුම වදන්සැකසුම් මෘදුකාංග හා පරිගණක ඉටුකලේ ඉලෙක්ට්‍රොනික යතුරු පුවරුවක කාර්යය පමණි. ලියැවුණ දෑ ගබඩා කර තබා ගැනීමට, මුද්‍රණ පිටපත් ලබා ගැනීමට වැනි මූලික අවශ්‍යතාවයන් ඉටු කිරීම පමණි.

වර්තමානයේ. අන්තර්ජාලයේ පැතිරීම, ග්‍රාෆික මෘදුකාංග, ජංගම පරිගණක උපාංග, ඊ-තීන්ත වැනි අංකිත කියවීමක්ම අරමුණු කොටගත් තාක්ෂණික දියුණු කිරීම් ආදිය නිසා ලිවීම, සංස්කරණය, පිටු සැකසීම, ප්‍රකාශනය හා බෙදාහැරීම වැනි සියළු ක්‍රියාකාරකම් එහෙම පිටින්ම අංකිත අවකාශයක සිදුවන්නක් බවට පත්වී ඇත. කඩදාසි හා ලියවුණ සාහිත්‍යය ඊට හිමි කෞතුකමය හා අතීතකාමී වටිනාකම් මෙන්ම තාක්ෂණික බෙදීයෑමේ විෂමතාද නිසාවෙන් තවමත් යෙහෙන් වැජඹුණ ද, මේ සියළු දේවලින් සන්නද්ධවෙමින් පවතින වයර් දිගේ යන අකුරු සාම්ප්‍රදායික මුද්‍රණ කර්මාන්තයේ පදනමට පහර දෙමින් සිටී.

අර්ථ දැක්වීම. ඊ-සාහිත්‍යය යන්නට අර්ථ සැපයීම සාහිත්‍යය යන වදනට අර්ථ සැපයීමටත් වඩා අසීරු වන්නේ ය. එය අදාල කරගන්නා විෂය පථය ඉතා පුළුල්වීම හේතුවෙනි. ඒ නිසාම මේ ලියවිල්ල දිගටම කරගෙන යෑමේ පහසුව තකා, 'ඉලෙක්ට්‍රොනික සාහිත්‍යය සංවිධානය - Electronic Literature Organization' (https://eliterature.org/what-is-e-lit/) විසින් දක්වා ඇති අර්ථ දැක්වීම යොදාගැනීම වඩා උචිතයැයි සිතමි.
ඒ අනුව ඊ-සාහිත්‍යය යනු, "ජාලගතකල හෝ තනිව පවත්නා පරිගණකයක ශක්‍යතාවයන් හා අන්තර්ගතයන්හි අනුග්‍රහය ලබන්නා වූ සාහිත්‍යයම ය ක්‍රියාකාරකම් " වන්නේය. වඩා සරල කොට කියන්නේ නම්, යතුරු පුවරුවෙන් පරිගණකයකට ඇතුල් කොට, සකසා සුරැකිව තබාගෙන හෝ ජාලයක් තුල බෙදාගෙන ඇති සාහිත්‍යමය ක්‍රියාකාරකම්, බලොග් ලිපි, සමාජජාල අඩවි වල  තැබෙන සටහන් හා ප්‍රතිසටහන්, ඊමේල් හෝ කෙටි පණිවිඩ ආකාරයෙන් හුවමාරු කෙරෙන නවකථා කෙටි කථා කවි ආදියෙහි ගොනු, ඒවා පිලිබඳව හුවමාරුවන අදහස් වැනි දෑ  ඊ සාහිත්‍යයෙහි අංගයන් වන්නේ ය.

බලපෑම. පැහැදිලිවම ඊ-සාහිත්‍යය විසින් මේතාක් කල් මුදල් හා පුද්ගල සාධක මඟින් තනා තිබූ බාධකයන් බිඳදමා ඇත්තේ ය. ඔබට රුචි දෙයක් ලියන්නට, එය පාඨකයන් වෙත ගෙන යෑමට, ඔවුන් හා අදහස් හුවමාරු කරගැනීමට, දැන් ඉතා පහසුය. තීන්ත හෝ කඩදාසි වියදමක් නැත. පොත් මිටි ඔසවාගෙන කඩවල් ගානේ යායුතු නැත. කිසවකුගේ සහතික වලට හෝ වාරණ වලට යටත් විය යුතු නැත. පැහැදිලිවම ඔබේ ලියමනේ පාලකයා ඔබම ය. නිසි බලධරයා ඔබම ය. එහෙයින්ම. ඊ-සාහිත්‍යය මඟින් ලේඛකයා හට අසීමිත නිදහසක් ලබා දෙන්නේ ඒ හා සමාන වගකීමක් ද ඔහුගේ උර මත තබමිනි. ඔබ ලියන දෙයට ඔබ වගකිව යුතු ය. බොහෝ දෙනෙකු සැහැල්ලුවෙන් මඟහැර ගිය ද ඊ-සාහිත්‍යය හේතුවෙන් නැඟෙන්නාවූ ඉතා වැදගත් ප්‍රශ්නයක් වන්නේ " ඔබ කෙතරම් වගකීමෙන් යුත් ලියන්නෙක් ද නැතහොත් අදහස් දක්වන්නෙක් ද ?" යන්න යි.

අන්තර්ක්‍රියාකාරීත්වය. ඊ-සාහිත්‍යයෙහි වඩාත්ම ආකර්ශණීය ගුණාංගය වන්නේ මෙය යි. අංකිත ලිවීමකදී ඔබ තවදුරටත් යම් විශේෂිත වූ මාතෘකාවක් හෝ පරිච්ඡේදයක් සොයා පිටුපෙරලිය යුතු නැත. ඒ වෙනුවට කෘතියේ මුලදීම ලබා දී ඇති සබඳතා පුරුක ඔස්සේ යා හැක. යම් විශේෂිත වචනයක් හෝ යෙදුමක් ඇත්තේ කොතැනදැයි යන්න සෙවීමට සූචිය වෙත යායුතු නැත. එය සොයාදෙන්න යැයි ඔබේ වෙබ් බ්‍රව්සරයට හෝ කියවනයට විධානයක් දීම ප්‍රමාණවත් ය.

කතෘ හිමිකම්. මුද්‍රිත කෘතියක් මෙන් නොව අංකිත ගොනුවක් ඉතා පහසුවෙන් පිටපත් කිරීමට දේශසීමා බාධාවකින් තොරව ලෝකයේ ඕනෑ තැනක ඕනෑම කෙනෙකු හා හුවමාරු කරගැනීම කල හැක. මේ හේතුව නිසාම ඊ-සාහිත්‍යයේදී නිර්මාණ කාර්යය හා නිර්මාණ කරුවා රැක ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකල යුතු වේ. මේ සඳහා විසඳුම් සෙවීම ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ දියුණු වෙමින් පවතී.

ඉන් එක් ක්‍රමවේදයක් නම් 'අංකිත හිමිකම් කළමනාකරණය - Digital Rights Management (RDM)' යන්නයි. මෙහිදී කෙරෙන්නේ අදාල අන්තර්ගතය වෙත පිවිසීම සඳහා මුර පදයක් ඉල්ලා සිටීම හෝ එහි වඩා දියුණු ආකාරයක් වන ලියාපදිංචි වූ උපාංගයෙන් පමණක් අදාල අන්තර්ගතය වෙත පිවිසීමට ඉඩ ලබා දීමයි. උදාහරණ ලෙස පුවත්පතක් කියවීම සඳහා මුරපදයක් ලබා දීමට අවශ්‍යය වීම හෝ ඔබ විසින් බාගත කරගන්නා ඊ-පොතක් එම බාගත කිරීම කල උපාංගයෙන් පමණක් විවෘත වන ලෙස සීමාවන් යෙදීම පෙන්වා දිය හැක.
අංකිත හිමිකම් කලමනාකරණය බොහෝවිට යොදාගන්නේ මුදල් ඉපයීම අරමුණු කොටගත් ලිවීමකදී හෝ ප්‍රකාශනයකදී ය. එමඟින් අනවසර පිටපත් කිරීම් නිසා ලේඛකයාට හා ප්‍රකාශකයාට හිමිවිය යුතු මුදල අහිමිව යෑම වලක්වා ලීමට අපේක්ෂා කරයි.

දෙවැන්න. මෘදුකාංගමය හෝ දෘඩාංගමය බාධාවකින් තොරව යම් රීති පද්ධතියකට යටත්ව කෙරෙන කියවීමක් සඳහා ලිවීම හා ප්‍රකාශනය යි. මෙහිදී යම් ජාලගත ලියවිල්ලක් හෝ ඊ-පොතක්  කියවීමට, බාගත කිරීමට, වෙනස්කම් කිරීමට, යලි බෙදා ගැනීමට කියවන්නාට හැකියාව ඇත. ඒ සඳහා ඇති ප්‍රධාන කොන්දේසි දෙක වන්නේ එම නිර්මාණ කාර්යයයෙහි මුල් හිමිකරුවා ලෙස කතුවරයා හා ප්‍රකාශකයා සටහන් කිරීමත්, එම නිර්මාණය ආශ්‍රයෙන් කෙරෙන යම් නිර්මාණයක් වේ නම් එය නොමිලේ බෙදා හැරීමත් ය. මෙලෙස තැණුන සියල්ලන්ම පාහේ භාවිතාකරන හිමිකම් ආශ්‍රිත ක්‍රමවේදයක් වනුයේ 'ක්‍රියේටිව් කොමන්ස් වරපත් - Creative Commons License' ක්‍රමය යි (http://creativecommons.org/).  මෙමගින් ලේඛකයෙකුට තම නිර්මාණ සොරකමකට ලක් නොවී නිදහසේ බෙදා ගැනීමේ හැකියාව ලැබේ.

සිංහල ඊ-සාහිත්‍යය. වෙනත් ලිපියක් ඔස්සේ කථා කිරීමට තරම් විසිරුණ මාතෘකාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි හෝ වෙනත් ප්‍රධාන ධාරාවේ භාෂාවක් මුහුණ නොදුන් ගැටළුවක් වන අකුරු සහාය සිංහල භාෂාව සඳහා ලැබෙන්නේ ඉතා ප්‍රමාද වී වීම ය. එසේ ලැබුණා වුව ද ඒ සඳහා වූ ඇතැම් බාධාවන් තවමත් ඉවත් වි නොමැති වීම වීම ය. උදාහරණ ලෙස බ්ලොග් අඩවි හෝ ෆේස්බුක් ලිවීම් සඳහා භාවිතා කරන සිංහල යුනිකෝඩ් අක්ෂර රටාවන් සඳහා තවමත් කිසිදු ඊ-කියවනයක් (e-reader), ප්‍රධාන පෙලේ පිටු සැකසීම් මෘදුකාංගයක් ( Desktop Publishing Software) හෝ E-pub වැනි ප්‍රධාන ගොනු මාදිලියක් සහාය නොදැක්වීම පෙන්වා දිය හැක.

මේ ගැටළුව හේතුවෙන් සිංහල ඊ-සාහිත්‍යයක් ගොඩ නැංවීමට බාධා ඇති කෙරුණද බොහෝ දෙනෙකු එයින් මිදීමේ උපක්‍රම සෙවීම නිසා විවිධ මාදිලියෙන් ඉදිරිපත් කෙරුණ සිංහල අන්තර්ගයන් ඇතිවීම නම් සිදුවිය. ඇතැමෙක් සිංහලෙන් ලියා ඡායාරූපයක් ලෙස බෙදාගත් හ, තවත් අය තම ලිවීම සමඟ අවශ්‍ය කරන අකුරු මාදිලි ද අමුණා යැවූ හ. වඩා තාක්ෂණික විසඳුම් සෙවූ අය තමා යොදාගන්නා අකුරු මාදිලියන් අන්තර්ජාලයෙන් ස්වයංක්‍රීයව කියවීමට සැලැස්වූ හ නැතහොත් ගොනුව තුලම අන්තර්ගත කලහ.

මේ සියළු කඩඉම් පසුකොට ආ සිංහල ඊ-සාහිත්‍යය අද අන්තර්ගතය හා ඉදිරිපත් කිරීම් අතින් ඉතා ඉදිරියෙන් සිටී. අද බොහෝ දෙනෙකු බ්ලොග් ලියන්නෝ ය. ප්‍රවීන ආධුනික වෙනසක් නැත. වෘත්තීයවෙදීන් සිසු සිසුවියන් කියා වෙනසක් නැත. වඩා ආකර්ශනීය වූ මාධ්‍යයක් වන සමාජජාලා වල තම අදහස් වපුරන්නෝ ය. සංවාද කරන්නෝ ය.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව පාසල් පෙලපොත් සියල්ලම ද, ගුරු අත්පොත් ද අන්තර්ජාලයෙහි ප්‍රසිද්ධ කර ඇත. පුවත්පත් ආයතන සියල්ලම පාහේ අන්තර්ජාල කලාපයක් ද මුද්‍රිත පිටපතෙහි ඊ-පිටපතක් ද නිකුත් කරන්නෝ ය. මේ අතර අංකිත මාධ්‍යයෙන් පමණක් නිකුත්වන සඟරා ද බිහිවෙමින් පවතී.

එසේ වුවද තවමත් ශ්‍රී ලංකාව තුල ඊ-පොත් හා ඊ-කියවනයන් එතරම් ජනප්‍රිය වී නැත. ඊට ප්‍රධාන හේතූන් ලෙස මේ පිලිබඳව සමාජයේ දැනුවත් භාවය, පිලිගැනීම හා උපාංගයන්හි මිල වැනි දෑ දැක්විය හැක.

එහෙයින් සිංහල ඊ-සාහිත්‍යයේ උන්තිය අපේක්ෂා කරන අය ඒ වෙනුවෙන් පාඨකයා දැනුවත් කිරීම කල යුතු ය. වඩා උසස් ඊ-අන්තර්ගතයක් සඳහා කටයුතු කල යුතු ය. ඊ-පොත් යනු දෙපැත්තම පෙනෙන පරිදි පරිලෝකනය (Scan) කර අනවසරයෙන් බෙදා හරින පොත් නොවන බව පහදා දිය යුතු ය. ඊ-අන්තර්ගතයන් උදෙසා පිලිගැනීමක් ලබා ගැනීමට කටයුතු කල යුතු ය. ඒ සඳහා මා මුලින් කීවාක් මෙන් මෙම අසීමිත නිදහස් අවකාශය වගකීමෙන්,  දැනුවත්ව පරිහරණය කල යුතුය.

2 comments:

  1. කාලයක් යන කොට හරියාවි.. අපි තාක්ෂණය නිසි පරිදි භාවිතා කරනවාද කියන එකත් ලොකු ගැටලුවක්..

    ReplyDelete
  2. අන්තිමේ ඡේදයෙන් කියා තිබෙන දේ මට හිතෙන්නේ තාක්ෂණය පැතිරීමත් සමගම ඉබේම සිද්ධවෙයි. යම් පරිශ්‍රමයක් දරන්න වෙයි. කියවීම ප්‍රමෝට් කිරීම කළයුතු දෙයක්, ඒක ඊ-කියවීමට වඩා පුළුල්. ඊ-කියවීමට යොමු වීම කියන්නේ තාක්ෂණයේ පැතිරීම මත රඳා පවතින දෙයක් කියලා මම හිතන්නේ

    ReplyDelete