Saturday, October 10, 2015

:: සබන් කොල ::

රාත්‍රිය. පැය දෙක හමාරකට පෙර ගෙවීගොස් තිබිණි.
දෙපා. තටු සහසක් ආවද පැන යා නොහෙන සේ කොට්ටයක් තෙරපාගෙන සිටියෝය. උඩින් හා යටින්.

ඇය. වළාකුලකින් බැසවිත් ඇහැරුණාය. කොහු හා රබර් මිශ්‍රිත මෙට්ටයක් මත.
කම්මැලිව පෙරලුනාය. බිත්ති ඔරලෝසුවෙහි වේලාව දැක්කාය. ඇඳෙන් පැන්නාය. මඳක් තෙත වූ තුවාය ගත්තාය. විවර ලැම වටා ඔතා ගත්තාය. කලිසම කකුල් වලින් පන්නා දැමුවාය. කොමුපිලිද සමඟම. එකකින් පාගා අනෙකද, අනෙකින් පාගා එකක්ද ලෙස.

සබන්. කුඩා නාන කාමරයෙහි තිබුණේ නැත.
එලියෙහි. කාමරය තුල. කුඩා සබන් කැටයක් තිබිණි. දවටනය ගලවා යලි එතූ.
දවටනය මත. නිල් ඉලක්කම් දහයක් සටහන්ව තිබිණි.

ඇය. නාන කාමරයෙන් එලියට ආවා ය. නොනා ම.
සබන් කැටය ගත්තා ය. කොලය ලිහාගත්තා ය. සීරුවෙන්.

ප්‍රශ්න.  ඔහු විසින් නාසන ලද්දේ ය. ඒ ඇසුවේද ඇයම ය.
පිලිතුරු. ඔහු මුවින් නොදුන්නේ ය. ඒ වෙනුවට ඇගේ නෙතු එල්ලේ බලා සිටියේ ය. සුදු නරියෙකු ව. ඇස් තදින් විවර කර.
ඇය. මඳක් විපිලිසරව සිටියා ය. නරි දෙනක වන්නට පටන් ගත්තා ය. මුලින් අළු පැහැව. පසුව සුදු වෙමින්. සෙමෙන්. සෙනෙහෙන්.

කිරි සයුර. ඔවුන් විසින් කැළඹෙමින් තිබිණි. ඒක තානයකින්. විටෙක තදින්. යලි සෙමෙන්.
ඒ අතර. ඔවුහු නොකඩවා  රූපාන්තරය වූවෝ ය. අමෘතය සොයමින්. සාවුන්. මුවන්. ගෝනුන්. ගැරඬින්. කොකුන්. පැස්බරුන් වෙමින්.

වෙළඹ. සුරත පා යමක් සෙව්වා ය. දෙපා අතරින්.
අශ්ව දෙනෙතක්. ඇයි දැයි ඇසී ය. ඇගේ වුවනට ඉහලින් එබෙමින්.
ඇය. හිස දෙපසට වැනුවා ය. දෙනෙත් පියමින්.


රබර්. තම මෙහෙය කරමින් සිටියේ ය. අනතුරකට පත් නොවී. වෛරස් ද, බැක්ටීරියා ද, දිලීර මෙන්ම ප්‍රෝටීන ද  වලකමින්.

මකුළු දෙන. මකුළුවා තමා වෙතට ඇද ගත්තා ය. තද කරගත්තා ය. නොකෑවේ ය. සිරුර තුල දියව යෑමට ඉඩ හැරියා ය.

සුදු නරියා. මිනිසෙකු වෙමින් සිටියේ ය. එහෙමම වැතුරුණේ ය. ඇගේ වම් පසින්. සුරත වමතේ පටලාගෙන. ලා නිල්පාට විදුලි සඳට යටින්.
නැඟිට්ටේ ය. ඇවිද ගියේ ය. මුලින් කුණු කූඩය වෙත. අනතුරුව ජල කරාමය වෙත.
යලි ආවේ ය. ඇය දෝතින් උස්සා ගත්තේ ය. යලි කරාමය වෙත.

තුවාය. තෙත්ව ගියේ ය. රඳවනය මතට විසිකෙරුණේ ය.
රාත්‍රිය. තවමත් ඉතිරිව තිබිණි.

ඔහු. කුඩා සබන් කැටය ගත්තේ ය. වටා තිබූ තුනී කොලය ගැලවීය. මේසය ලඟට ගියේ ය. කොලයෙහි යමක් ලිවීය. මුල් වරට කථා කලේ ය.

" ඔයාට ඕනෙ නම් තියාගන්න පුළුවන්. නැත්නම් වතුරට දාන්නත් පුළුවන්. ලේසියෙන් දියවෙනවා."

සබන් කොලය. යලි සබන් කෑල්ලෙහි එතිණි.
ඔහුගේ සුරත. ඇගේ වමතතෙහි එතිණි.

" යන්නෙ නැත් ද?"
" ඔයාට නින්ද ගියා ම"

ඇය. මඳක් පසුබා ගියා ය. කැමැත්තෙන්. බියෙන්.

" නින්ද ගියාම මොකුත් නැතුව මොකුත් කරන්න එහෙම එපා"
ඔහු. නැඟිට්ටේ ය. ඇඳුම් රඳවනය වෙත ගියේ ය. ආපසු ආවේ ය. 
පවුරක් ඇන්දී ය. මියුළු නුවර වටකොට.
ඈ. සිනාසුණා ය. ඇඳෙහි වැතිරුණා ය. නිදාගත්තා ය.

සබන් කොලය. ඇගේ අතෙහි තිබිණි. ඒ සිනාවම සමඟ.
ඇය. නැඟිට්ටාය. සබන් කොලය අතැතිව. මඳ විරාමයක් ගත්තා ය. නාන කාමරය වෙත ගියා ය. කරාමය ඇරියා ය.
සබන් කොලය. වතුරෙහි දියවී ගියේ ය.


දුරකථනයක්. මේසය මත තිබිණි. ඊට මඳක් මෙහායින්. ඉලක්කම් දහයක් සුරකිමින්.


3 comments:

  1. මේක හරිම ලස්සනයි. මේ ශෛලියේ අමුතු ලස්සනක් තියෙනවා.

    ReplyDelete
  2. ස්තූතියි ඉයන්

    ReplyDelete