Friday, July 13, 2012

:: පැති පෙනුම ::

කැමරාව. කාලවර්ණ කවරය තුලට වී නිසලව තිබිණි.
කවරය. ඇගේ වම් අතෙහි දබරැඟිල්ලෙහි එතුණු හුයකින් ඇය හා බැඳී තිබිණි.
ඇගේ දකුණත. සිය සැමියාගේ වමතෙහි එතී, ඔහුගේ ඇඟිලි අතර තෙරපෙමින් තිබුණේය.

ඔවුහු උද්‍යානයේ ඈත කෙලවරක් දක්වාම වැඩක් ඇති, වැඩක් නැති බොහෝ දේ දොඩමින් ඇවිද ගියහ. තවත් මඳ දුරක් ගිය ඕ කථාව නැවතුවාය. අත නිදහස් කරගත්තීය. සිය සැමියාගෙන්.

“ අපි ෆොටෝ එකක් ගමු“
“ නැහැ නැහැ දෙන්නගෙම නෙවෙයි. ඔයාගෙ විතරයි“
“ඔයා අතනින් වාඩිවෙන්න“

කැමරාව. කවරයෙන් එලියටද අනතුරුව ඇයගේ දෑතටද ස්ථානගත විය.

“පැත්තට හැරෙන්න“
“ හරි අනේ..! ඉස්සරහට ලස්සන නැතුව නෙවේ! මං කැමතියි පැත්තට හැරිල ඉන්න කොට“
“ඉතින් ඔයා යාළුවොත් එක්ක ගත්ත ෆොටෝ ඇති තරම් තියෙන්නෙ ඉස්සරහ බලාගෙන. ඒ නිසා මං කැමති පැත්ත හැරුණු ෆොටෝ වලට“
“තෑන්ක්ස් අනේ! මං දන්නවනෙ ඔයා මට ආදරේ කියල“
*******************************************************************************
පෞද්ගලික විද්‍යුත් තැපෑල. තරු මඟින් සලකුණු වූ පණිවිඩ පහක් තිබිණි.
ඔහු. ඉන් එකක් තේරීය. මඳක් චකිතයෙන්. වඩා උනන්දුවෙන්.

“ මේ බලන්න ඔයා වගේමයි නේද? දැන්වත් විශ්වාස කරනවද මං ඔයාට කොච්චර ආදරේද කියලා? “



No comments:

Post a Comment