Tuesday, July 24, 2012

:: මුදු සහ කෙස් ::

බස් රිය. බොහෝ වලගොඩැලි මතින් උඩ පනිමින් ගමනාන්තය කරා දුවමින් තිබුණේය. වලවල් වැසිදාට වැසි දියෙන්ද, අව්දාට හිරු රැසින්ද දිනපතා රෝදයන්ගෙන්ද පහර කමින් තම වපසරිය පුළුල් කරගනිමින් සිටියේය.

රියදුරු. එකවනම බසයේ තිරිංග තදකලේය. ඉක්මනින් හා තදින්.

ඇය. මගේ මඟුල් මුදුවේ පැටලී ගිය කෙහෙරොදක වාරුවෙන් නොවැටී සිටියාය. අනතුරුව සිනාසී යලි සිට ගත්තාය.

මුද්ද. කෙහෙරොද අතනොහැර අල්ලාගෙනම සිටියේය.
නැත. කෙහෙරොදට මුද්දෙන් ගැලවීමට අනැවැසිව තිබිණි.

ඇය කෙහෙරොද කඩා දැමීමට යත්න දැරුවාය. මම ඇය වැලකීමි.
මම. මුද්ද ගැලවීමට යත්න දැරීමි. ඇය මා වැලකුවාය.

 

******************************************************

කාමරය. ඇගේ කෙස්වල ගැල්වූ සුවඳින් පිරී යෑමට තරම් කුඩා එකක් විය.
මගේ ලය මත ඇගේ හිස තියෙද්දී අප මුද්දෙන් කෙහෙරොද මුදා හැරියෙමු.
කෙහෙරොද නොකඩා. මුද්ද නොරිදවා.

මා සිවිලිම දෙස බලා සිටිද්දී ඇය මුද්ද දෙස බලා සිටියාය.

“ රත්තරං... නේ ? “

මම සිනාසුනෙමි.

“ මට ටොක්කක් අනිනවද?“

මම ප්‍රශ්නාර්ථයක් දල්වා ඇය දෙස බැලීමි.

“ මං රත්තරං මුද්දක් දාපු අතකින් ටොක්කක් කාලම නෑ“

1 comment: