Thursday, August 9, 2012

:: පුනරාරම්භය ::












රළ. වෙරළ මත වැදෙමින් තිබිණි. සෝදමින්. සේදූ වැලි යලි දමමින්. මැරුණු බෙල්ලන් මතු කරමින්.

ඔහු. වෙරළෙහි වැතිර සිටියේය. උඩුකුරුව. ලිහිණියෙකු දෙස නෙතු යොමාගෙන.
ඇය. දිය බේරෙමින් ආවාය. යටිකුරුව වැතිරුණාය. ඔහු අසලින්.
ඉඟ හා දණහිස් මදක් එහෙමෙහෙ කලාය. උස්ව ආ සිය නිතඹ දෙස බැලුවාය. අනතුරුව ඔහු වෙත හැරුණාය.
උස්වූ නිතඹ එලෙසම තබාගෙන.

“ මං තාමත් ඒ වගේමද? “

ලිහිණියා. ඔහුගේ ඇසින් මිදුණේය.

“හ්ම්..! ටිකක් මහත් වෙලා...! හැබැයි ඒ විදිහම තමයි...!“
“එකම විදිහම වුණාම එපා වෙනව නේද..!“
“ මාත් කියන්නමයි හිටියෙ.., අපි වෙන විදිහකට ට්‍රයි කරමු...!“

අර්ථ. ඔහු කියූ දෙය ඇයට වැටහුණේ මඳ වේලාවකට පසුවය.

“ එහෙම නෙවේ අනේ..!  මං කැමතියි මුල් දවස්වල වගේ ඉන්න...! හැමදාම අළුත් දෙයක්..!“
“ ඉතින් දැනුත් ඉන්නෙ එහෙමනෙ. අපි ආදරෙයිනෙ...?“
“ එහෙම තමයි. ඒ වුණාට ඒ තරම් දැනෙන් නෑනෙ...!“

වැලි. ඔහු ගෙලෙන් පහල සියොලඟෙහි වැලි ගා ගනිමින් ඇය දෙසට පෙරලුණේය.

“ එහෙනම් ආයෙත් මුල ඉඳන් පටන් ගමු...?“
“ එහෙම බෑනෙ..!“
“ පුළුවනි..! ඔයා මාව දන්නෑ වගේ ඉන්න. මාත් එහෙම ඉන්නම්..! ඊට පස්සෙ ආපහු මුල ඉඳන් පටන් ගමු..!“
“ කොච්චර කාලෙකින්ද ?“
“ පුළුවන් තරම් කල්..!“

“ හරියන්නෑ..! අපිට අපිව පේනවනෙ...!“
“ එහෙනම් මං තූත්තුකුඩි යන්නම්..?“

“ කෝල් කරන්න හිතුණොත් ...?“
“ අපි පරණ නම්බර් අයින් කරමු...! අළුත් සිම් දෙකක් ගමු....! “

ඇය. මඳක් උස්වී හිඳ ගත්තාය. දිලිසෙන දෙනෙතින් යුතුව.

“ හරි... ඊ මේල් බ්ලොක් කරමු. නෑ .. ! නෑ...! වෙන දෙකක් හදාගමු...!“
“ ස්කයිප් එකටත් ඒකම කරමු“

“ ෆේස්බුක්...? යන් නැතුව ඉමු...?.... බෑනෙ. යාළුවො ඉන්නවනෙ...“
“ අන් ෆ්‍රෙන්ඩ් කරමු...! ඒත් හරියන්නෑ...! ඇඩ් කරගන්න හිතුණොත්..?“
“ එහෙනම්..බ්ලොක් කරමු...?“

“ එතකොට ඔයා කොහොමද මට දෙවෙනි පාර මුණ ගැහෙන්නෙ..?“
“ නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එයි...!“
“බෑ...! ඔයා මගෙ නම්බර් එක දන්නෙ නෑනෙ...?“

ඇය නැගිට්ටාය. ඔහු වටා පැදකුණු කරමින් ඇවිදින්නට වූවාය. විටෙක නවතිමින්. පා ඇඟිලි වලින් බිම හාරමින්. 
එකවනම නැවතුණාය. සතුටින් තිගැස්සුණාය.

“ හරි..! ඔයා නොදන්න ප්‍රොෆයිල් එකකින් මට රික්වෙස්ට් එකක් දාන්න...! “

මාපටැඟිල්ල. ඔහු සිය දකුණතෙහි මාපටැඟිල්ලෙන් ඇයට එකඟත්වය පෑවේය.
ඇය. කුඩා එකියක සේ සයුර දෙසට දිව ගියාය. දෙපා මාරුවෙන් මාරුවට වැල්ලෙහි ඔබමින්.  රළට මඳ දුරක් තිබියදී නැවතුණාය. ආපසු හැරුණාය.

“ ඔයාට කලින් වෙන කවුරු හරි රික්වෙස්ට් කලොත්...?“

රළ. මඳක් උස්ව විත් වෙරලෙහි හැපුණේය. ඇගේ හඬ පරයමින්.

2 comments:

  1. අනේ මන්ද..අත්දැකීමක් මත ලියු එකක්ද සහෝ?? කොහොම උනත් වෙන කෙනෙක් ඉස්සර උනොත් ??

    ReplyDelete
  2. දන්න තරමින් නම් කවුරුත් තාම මෙහෙම කරල නෑ.
    හැබැයි සමහර තැන්වල මං විසින් තාරබර එල්ලල ගත්තු අත්දැකීම් තියෙනවා. මගේ විතරක්ම නෙවෙයි.

    ReplyDelete