Monday, August 13, 2012

:: හෙමින් යන බස් ::










චන්ද්‍රසේන. බසය පිරෙන්නට සෙනඟ සිටියද, වේලා සටහන්කරු කිහිප විටක් නලාව පිම්බද, බසය ඉදිරියට නොගත්තේය. පණගැන්වූ රියෙහි සුක්කානම මත දෑත තබාගෙනම සිටියේය. ඉදිරිය බලාගෙන.

දහදිය. බසය පිටත්වී නොතිබුණද ඇතුලෙහි සිටියවුන් දහදියෙන් පෙඟෙමින් තිබිණි. අව්රශ්මියෙන්ද, ශරීරතාපයෙන්ද උපන් උණුසුම දරාගත නොහී.

ඊලඟ බස්රිය. චන්ද්‍රසේනගේ බස්රියෙහි ගෑවී නොගෑවී නතර කෙරිණි. සය වරක් නලාව හැඬවිණි. මහ හඬින්. රියදුරු කියූ අසැබි වදන් යටපත් කරමින්.

චන්ද්‍රසේන. බසය ඉබි ගමනින් ඉදිරියට ගත්තේය. අඩුම වේගය සහිත ගියරයෙහි උදව්වෙන්.

දාහතර. බසය නැවතුම් දාහතරක් පසුකර විත් තිබිණි.
චන්ද්‍රසේන.  නැවතුම් දාහතර පුරා බසය ගෙනාවේය. පල්ලම් වල නියුට්‍රල් කරමින්. ඉතිරි දුර පහලම ගියරයක එමින්. සෑම නැවතුමකම වැඩි වේලාවක් තබා ගනිමින්.

මගීන්. වැඩිව එන දාහයෙන් පෙලෙමින් සිටියෝය.

ඇතැමෙක් නොසන්සුන් වෙමින්. කලයුත්තක් නොහී.
“ මූ කීයට යන්නද දන්නෑ හිතන් ඉන්නෙ...?“

තවෙකෙක් දෙස් තියමින්. සෙමෙන්.
“ හෙමින් යනව මඳිවට ෆෝන් එකත් කනේ ගහගෙන..!“

අනෙකෙක් සිය පෙම්වතිය තමා දෙසට අදිමින්. බ්ලව්සයට වැහුණු ඉඟෙන් අල්ලා.
“ මෙහෙට එන්න බබා. මේ නාකියො බස් එකකවත් යන්න දන්නෑ...!“

සෙස්සන්. නිදමින්. පාලකයන්ට බනිමින්. විපක්ෂය පලු හරිමින්. කලා විචාර කරමින්. සූප ශාස්ත්‍ර දොඩමින්. ක්‍රීඩා විස්තර කියමින්. ගණන් හදමින්. බසයේ වේගය අමතක කිරීමට යත්න දරමින් සිටියෝය.

චන්ද්‍රසේන. තමා අසලම හුන් මඟියා හොඳින් පෙනෙන සේ දර්පණය සැදුවේය. පහලොස්වෙනි නැවතුමෙහි බසය නවතා තිබියදී. වම් අතින්. දකුණු අතින් ජංගම දුරකථනය දරාගෙන. මඟියාගේ රැවුම  දැක මුහුණ කළු කරගත්තේය.

සමන්තිකා. දහසයවෙනි නැවතුමෙන් බසයට නැංගාය. සෙනඟ අතරින් මැද්දට ගියාය. ජංගම දුරකථනයක් කනේ තබාගනම. අනෙක් උන් රවද්දී.

“ මඟුලක්ද කරන්නෙ..? මැද්දෙ සෙනග වැඩියි. මේ ඉස්සරහට එන්න....!“
චන්ද්‍රසේන දුරකථනයට කෙඳිරීය. සැරෙන්. සෙනෙහසින්.
අනතුරුව. දුරකථනය පසෙකින් තැබීය. බසය වේගවත්ම ගියරයට මාරු කලේය.

7 comments:

  1. අකුරැස්ස - මාතර බසයක සත්‍ය කතාවක් ලෙස හැඟුනි.

    ReplyDelete
  2. චැහ්! ඔය බස් එකේ ඉඳගෙන මමත් ඩ්‍රයිවර්ගෙ අම්මව සිහ කරන්න ඇති!

    ReplyDelete
    Replies
    1. මාත් ඉඳල ඉඳල බැරිම තැන තමයි මේක ලිව්වෙ.
      කොහෙද පොර බ්ලොග් කියවන එකක් යැ...!

      Delete
  3. හී හී..අපූරු කතාව. :)

    ReplyDelete