Monday, September 17, 2012

:: පටාචාරා කථාව::


 http://4.bp.blogspot.com/-7tkZByhkZAg/T87Wmrf5nfI/AAAAAAAABBg/nuYDfoOVr8Q/s1600/z_page-15-Embracing02.jpg













ඇය.
වැහැරී ගොස් සිටියාය. ගඩා ගෙඩිම කෑ හෙයින්. දෙවසකට ලංවූ කාලයක්
හිස.
පසෙකට බරව තිබිණි. වාරුවූ උරහිස හිමියා නැතිව ගිය හෙයින්. සර්ප දළකට බිලිව.
උදරය.
තදින් ඇඳුණු මඩ පැල්ලම් දෙකකින් ගැවසිනි. වසරක් වයසැති විලුඹකින් කෙරුණු. සැඩ ගං දියක ගිලී යන්නට පෙර.
දෙතන.
වැහැරී ගියද කිරෙන් පිරී තිබිණි. උකුසකු ඩැහැගත් ලදරුවකුට උරුමවුණ. පෙර රැයේදී මව් කුසින් බිහිවූ.

පටාචාරා.
සැවැත් නුවරට පැමිණ සිටියාය. ලොබ කල සියල්ලන් අහිමිව. අහිමිකරගත්තවුන්ට ලොබින්.

ඇගේ මවුපියන්.
තමන් හැරගිය දියණිය අතැර ගියෝය. දෙවසක්ම දුක්කොට අවසන. ඇගේ මලනුවන්ද කැටුවම.
මහා කුණාටුවකට බිලිව. සිය ගර්වය රැඳි මැදුරටම පස්ව.

නුවරුන්.
මුලින් ඇය නොහැදින්නෝය. පෙර රූප සොබාව නොවූ හෙයින්. පට සළුපිලි නොඇඳි හෙයින්.

අවසන. මාලාකාරියක් ඇය හැඳිනගත්තාය.
“ සිටු කුමාරි....!“

මිනිස්සු.
ඇය වටකොට ගත්තෝය. පවන් සැලුවෝය. වත්තම් කරගත්තෝය. පැන් ඉස්සෝය.
කසු කුසු ගෑහ. මුණු මුණු ගෑහ. සුසුම් ලූහ.

පටාචාරා.
නැගිට ගත්තාය. සෙනඟ අතරින් ඇවිද ගියාය.
වියපත් කතක් ලඟ නැවතුණාය. මහ හඬින් හඬාවැටුණාය. රූටා ගොස් ඇගේ දෙපාමුල වැදහොත්තාය.
යලි නැගිට්ටාය. මහළු පුරුෂයකු අස නැවතුණාය. බියෙන් බියෙන් වැඳ වැටුණාය.
එකවනම නැඟිට දිවගියාය. යොවුන් කුමරකු ඇඟේ හැපෙන තුරුම.
අනතුරුව. කුමරා දෙස බලා සිටියාය. එක එල්ලේ. නෙතින් ගලන කඳුළු වැලකීමට යත්න නොදරාම. කුමරා නික්මවන තුරුම. වෙනකකු විසින්. ඇගෙන් ඉවතට.

පටාචාරා.
සැවැත් නුවර මැඳ හිටගෙන සිටියාය.
දල රෙදි කඩක් හැඳගෙන. දරු දෙදෙනා අහිමිව.
සියොලඟ මඩ තවරාන. වැන්දඹුව.
මේරූ කඳුළු උල්පත් ඇතිව. මාපියන් මියගොස්. සොයුරාද සමඟම.

*******************************************************************************
මුල්ම ගල.
පවුකල එකෙකු විසින් ගැසිණි. මවුපියන් ඇති. සොයුරියන් නොමල.
මුල්ම සරදම.
බේබද්දෙකු මුවින් නැඟිනි. දරුවන් සිටින. බිරිය නිවසෙහි වසන.

අනතුරුව.
ගල් වරුසාවක් විණි. මුල් හා පොලුද එක්වුණ.
මහා ඝෝෂාවක් විණි. සරදම් හා කුණු වදන් එල්ලුණ.

පටාචාරා.
නොසෙල්වී සිටියාය. මොහොතක්. දෙකක්. අනතුරුව දිවගියාය. මරණ භයින් මුසපත්ව. ගල් මුල් අඩුවන දෙසට. කෑ ගැසුම් නෑසෙන දෙසට.

මිනිස්සු.
ඈ පසුපසම හඹා ගියෝය. විනෝදයෙන්. ක්‍රීඩාශීලීව. ජවසම්පන්නව.

*******************************************************************************

දෙව්රම් වෙහෙර.
පඩි පෙලකින් යුතු නොවිණි. වසා දැමූ දොරවල් නොවිණි.

පටාචාරා.
හතිලමින් සිටියාය. දෙවුරම් වෙහෙරෙහි. ධර්ම ශාලාවක් මැඳ. බියට පත්ව. අසරණව. එහෙයින්ම රුදුව.

භික්ෂූ භික්ෂුණී. උපාසක උපාසිකා.
නොසන්සුන්ව සිටියෝය. ආ හෙයින් උවැසියක්. නිසි වස්ත්‍රාභරණයෙන් නොසැරසී. ස්නානය නොකොට. හිස් නොපීරා.

ශාසනප්‍රේමී ජනයා.
පටාචාරාව තල්ලු කලෝය. දුරට නෑසෙන සේ ඇයට බැන්නෝය. ඉවතයෑමට බල කලෝය.

********************************************************************************
බුදුන් වහන්සේ.
සිය අසුනින් නැගිටගත්තෝය. වම් පසින්වූ පැන් පාත්‍රය දකුණතින් ගත්තෝය. සෙනඟ දෙබෑ කරමින් පටාචාරාව වෙත පියමැන්නෝය. ශාන්තව. උපේක්ෂාසහගතව.

“ පිපාසයි නේද නැඟණිය........! “

පටාචාරා.
මහා විලාපයක් නඟමින් බුදුන්පාමුල වැඳ වැටුණාය.

2 comments:

  1. හිතන්න දෙයක් තියන හොඳ කතාවක්!
    ජය!

    ReplyDelete
  2. Mage Es dekata kandulu bindu neguna, saththai...

    ReplyDelete