Saturday, July 13, 2019

ස්වර්ණකාය | ප්‍රභාත් ජයසිංහ | සරසවි



ඇතැම් පොතක් කියවා ඒ ගැන සටහනක් තැබීම ඉතා අසීරු ය.
ඒ පොත කියවීම ම ඔබ කෙතරම් මිටි දැයි හඟවන නිසාවෙන්.
තමා ලියන අකුරකින් හෝ එයට අසාධාරණයක් වෙතැයි යන බිය කැන්දන හේතුවෙන්.

එවන් එක් පොතක් අනුරාධ මහසිංහගේ බැමිණිතිකාලය ය. තවම ඒ ගැන අදහස හරියකට ගොනු කරගන්නට බැරි වූ.
දැන් තවත් පොතක් පස්වෙනි වතාවටත් කියවා හමාර කළෙමි. දින තුනක් තිස්සේ.
ස්වර්ණකාය නම් ලද. ප්‍රභාත් ජයසිංහ විසින් රචිත.

නොලියා හිඳුමට සිතා ඒ ගැන ලියන්නේ එවැන්නක් ගැන ලිවිය යුතුම යැයි යන හැඟීම නිසාවෙනි.

කතුවරයා විසින් සිය මුල්ම කෙටිකතා සංග්‍රහය වූ ' වයඹ දිග වැසියකුගේ සටහන්' හි සිට ප්‍රගුණ කර දක්වන්නා වූ තම කතාව තුලින් මුලු මහත් සමාජ වපසරියක්ම ග්‍රහණය කරගෙන පාඨකයාටත් බාධාවක් නොවන සේ මූලික කතාවෙහිම ලා ඉදිපත්කිරීමේ ක්‍රමවේදය ස්වර්ණකාය පුරාමත් පැතිරී ඇත්තේ ය. අන් බොහෝ කෙටිකතාකරුවන් අසමත්වන්නා වූත් ඒ අසමත්භාවය නිසාම තම කෙටිකතාව හෑල්ලක් බවට පත්කරගත්තා වූත් මෙම වපසරිය තුල ප්‍රභාත් ජයසිංහ පහසුවෙන් හැසිරෙයි. විටෙක දෙබස් ලෙසත් විටෙක පරිසර වර්ණනාවක් හෝ කෙටි ස්මරණයන්හි දිගුවක් ලෙසත් කතා මැද කතා කියමින්.

ඒ පිළිබඳව හොඳම උදාහරණයක් ලෙස ' කොල්ලෙක් ' නමින් වූ හතරවෙනි කථාවෙහි මානසික අසමතුලිතභාවයට පත් පුද්ගලයා විසින් කාර්යාලයෙහි අධ්‍යක්ෂවරයාට බැන පහරදීම හේතුවෙන් ඔහු වීරයකු කරගන්නා කාර්යාල සේවකයන්ට සිනාසෙන්නට පාඨකයාට ඉඩ හරින කතුවරයා ඊට ඡේද කිහිපයකට පසු ඒ සිදුවීම අසූ අට අසූ නවය කාලයේ ' කොල්ලන්' ට හුරේ දැමූ සමාජය හා සමපාත කරනා අවස්ථාව ගත හැක. මුලින් කාර්යාල සේවකයන්ට සිනාසුණ පාඨකයාට තමාද ඇතුලත් සමාජයමද එම කාර්යාල සේවකයන් හා සම නොවන්නේ ද යන්න සිහි කරවමින්. කතාවෙහි ගලා යෑමට දශමයක හෝ බාධාවක් නොකරමින්. එක් එක් ඡේද අතර චලනයන් සුමට කරලමින්.

තම සිව්වන කෙටිකතා සංග්‍රහය වන ස්වර්ණකාය තුලදී කතුවරයා විසින් තමා මෙතෙක් පවත්වාගෙන ආ ආඛ්‍යාන ශෛලිය යම් වෙනසකට ලක් කර ඇති ආකාරයක් දිස්වෙයි. වඩා සැහැල්ලු භාෂා භාවිතයකට යමින්. වඩා පරෙස්සමින් කතාවෙහි අනුපිළිවෙල පෙළගස්වමින්. ‘කිඳුරු සිංහයා සහ නජීබ්’ නම් කතාවෙහිදී හැර අනෙක් කෙටිකතා හයේදීම.
එසේ වුවත් එම සැහැල්ලු කිරීමට වන්දි ලෙස තම කතාවෙහි හරය හෝ රසය කැප නොකරන්නට ද කතුවරයා දක්ෂ වෙයි. පරෙස්සම් වෙයි.

හීන බන්ධන' නම් මුල්ම කෙටිකතාව පාඨකයා ඇදගන්නා ආකාරයේ වේගරිද්මයකින් ඇරඹී, විකාරරූපී ආකාරයෙන් ඉදිරිපත් වෙන සිද්ධි දාමයක් හරහා පාඨකයා ගෙනයමින් අවසන් පිටු හතර තුල පීතෘ - දුහිතෘ සම්බන්ධයක් මත ගොඩනගන කූට ප්‍රාප්තියක් තුල පාඨකයාව අති ආතතියකට පත්කර ලන කතුවරයා අවසාන ඡේද දෙකෙන් ඒ සියල්ල සමෝධානයට පත්කර කියවන්නාගේ ආතතිය සමනය කරලන්නේ මෙතෙක් මාකියවා ඇති හොඳම අවසානයකින් යුතු කතාවක් හැටියට ය.

ඊට හාත්පසින් වෙනස්ව 'අශ්ව මූණ සහ මුගටි මූණ' නම් දෙවන කතාවේදී අතුරුකතාවක් වන අශ්ව මූණ සහ මුගටි මූණ ආශ්‍රිත පුරාවෘත්තය යලි යලිත් සිය කතාව තුලදීම කියවීමට සැලැස්වීම මඟින් සිදුවීමට නියමිත ඛේදවාචකය වෙනුවෙන් පාඨකයා සූදානම් කරවන කතුවරයා කතාව අවසන් කරන්නේ ඒ හරහා එවන් අවස්ථාවක දැනෙන කම්පනය කිහිප ගුණයකින් වැඩිකරවමිනි.

තුන්වන කතාව වන 'ස්වර්ණකාය' තුලින් කතාවන වාර්ගික අර්බුධයකට මැඳිවූ රටක මිනිස් සිත්සතන් හැසිරෙන ආකාරයත් ආත්මාර්ථයත් මහා ව්‍යසනයකට පසු මිනිස් සම්බන්ධතා ගැනත් ඒ ඉදිරිපත් කර ඇති ආකාරයත් මෙවන් කෙටිසටහනකට ලඝු කිරීම කළ නොහෙන හෙයින් ඒ කතාව ආගමික හෝ ජාතික සංකල්පයන් නිර්මාණයකදී යොදාගැනීමට ගන්නා ලද නිර්භීත වූත් ඒ නිර්භීත කම සමඟම අවශ්‍යය වන්නා වූ සංයමයෙනුත් යුතු වන්නා වූ නිර්මාණයකට හොඳම උදාහරණයක් ලෙස දක්වා ලමින් පමණක් සෑහීමට පත්වන්නෙමි. කෙසේවෙතත් මෙහිදීද කෙටිකථාවක තිබිය යුතුම යැයි මා විශ්වාස කරන්නා වූ එකම කේන්ද්‍රයක් වටා ගෙතුණු මුඛ්‍ය කතාවට හානියක් නොවන පරිද්දෙන් සමස්ත සමාජයම අල්ලාගෙන තැනින්තැන මතුකරලන බුහුටි ආකාරය ගැනද නොකියාම බැරිය.

ඉහතින්ද සටහන් කර ඇති 'කොල්ලෙක්' කතාව ඒ හරහා ඉදිරිපත් කෙරෙන දේශපාලන උත්ප්‍රාසය තිබියදීත් මිනිස් සිත හා මිනිස් බැඳීම් ගැන ලියවුණක් සේ කියවාගනු කැමැත්තෙමි. කතාවෙහි එන සැමියා මානසික අසමතුලිතතාවයෙන් පෙලෙන කාළයේදී මදුරු දැල තුලට මදුරුවන් රිංගා ඇතැයි කළබල කිරීම ඔහුගේ මානසික අසමතුලිතතාවයෙහි රූපකයක් ලෙස ගන්නා කතුවරයා එම රූපකය යොදාගෙන බිරිඳගේ මානසික ස්වභාවයත් ඇය පත්ව ඇති අනුකම්පා සහගත තත්වයත් කතාවෙහි අවසාන වාක්‍යය හයෙහි ලා ඉදිරිපත් කරන්නේ එම ආතතිය පාඨකයාටද දනවමිනි.

මෙම කෘතියෙහි ඇති අන් කතා වලට වෙනස්ව ආකෘතිමය වශයෙන් ද භාෂාමය වශයෙන්ද බොහෝ හරඹ ඇතුලත්වන්නාවූත් කෙටිකතා සංග්‍රහයෙහි ඇති දිගම කතාව වන්නාවූත් 'කිදුරු සිංහයා සහ නජීබ්' කතාව මට දනවන්නේ අතුඉති විහිදා වැඩුණු ගසක ස්වභාවයකි. දේශපාලන අරගලයක ද පරම්පරා පරිවර්තනයක ද කතාව පිටු අතර අතු ලෙසින් පතුරාලන ගමන් මිනිස් සිත ගැන අපූරු පරිකල්පනීය ඉදිරිපත්කිරීමක් කරමින්.
කෙසේ වෙතත් කතාව පුරාම පරිච්ඡේද එකොළහක් ලෙසින් ඉදිපත්වනඑහෙට මෙහෙට මාරුවෙමින් කතාවන් හේතුවෙන් ද තැනින් තැන යෙදෙන ඉංග්‍රීසි භාෂාමය කවි හේතුවෙන් ද මෙම කෙටිකතාව කියවීම ඉතිරි කතා මෙන් පහසු වන්නේ නැත. ඒ ආකෘතිය එවන් අන්තර්ගතයක් ඉදිරිපත්කිරීමට යොදාගත හැකි හොඳම විදියක් වූවත්. ඒ නිසාම මේ කෙටිකතා පොත කියවන බොහෝ පාඨකයකු අතින් මෙම කෙටිකතාව මඟ හැරී යෑමට විශාල ඉඩක් ඇත්තේ ය.

රිටයර්ඩ් අන්හර්ට් නමින් එන හයවෙනි කතාව මුල් කතා හතරෙහිම ඇති ආකාරයේ නිශ්චිත අවසානයක් කරා යන කතාවක් නොවන අතර කුඩා කාලපරාසයක් තුල විහිදුවන එක් සිදුවීමක් වටා හැඩ දමමින් ගොතන විවිධාකාරයේ මිනිස් සම්බන්ධතාවයන් හා ස්වභාවයන්ගෙන් යුතු කතාවකි. කෙටිකතාවක් ලෙස කිවයුතු තරම් වැරැද්දක් නැතත් ඒ කෙටිකතාවට එරෙහිව එන්නේ ස්වර්ණකායෙහි ඇතුලත් අනෙක් කෙටිකතාවන්ම ය. ඒ කතා තරම් ප්‍රකම්පනයක් ඇති කරන්නට මේ කතාව අසමත්වන හෙයින්.

මෙම කෙටිකතා සංග්‍රහයෙහි එන අවසන් කෙටිකතාව වන 'ඇද හිනාව, නටන ඇස් සහ මැෂින් තුවක්කු' කතාව මෙතෙක් මා කියවා ඇති නූතනම කෙටිකතාවක් බව නිබයව පැවසිය හැක්කේ ය. භාෂා හෝ ආකෘති හරඹ නැත්තේ ය. දිගු වාගාලාපයන් හෝ පැහැදිලි කිරීම් නැත්තේ ය. මතුපිටට ගෙන විස්තර කෙරෙන මහා මනෝවිශ්ලේෂණයන් නැත්තේ ය. පිටරටක වෙසෙන වෙනස් ජාතීන් දෙකකට අයත් සිසුන් තිදෙනෙකු අතර සිදුවන මානුෂීය ගනුදෙනු කිහිපයක් ලිවීම මඟින් පමණක් සිය මවුබිමෙහි ඇති යුද්ධයත් ඒ යුද්ධයෙන් හෘදසාක්ෂීන් කෙරෙහි ඇති කරන බලපෑමත් සුරුවට වියන අතරම නිවැරදි යැයි කියනා හෘද සාක්ෂින් කෙතරම් නිවැරදි යැයි යන්නද අපටම ප්‍රශ්න කරන්නට ඉඩ හරිමින් කතාව අවසන් වන්නේ ය.


අවසානයට මේ පොතෙහි එක් එක් කතාවක් වෙන වෙනම ගෙන වුවත් මීට වඩා දිග සටහන් ලිවිය හැකි තරම් එම කියවීම ඇති කළ කම්පනය බලවත් බවත් බොහෝ කෙටිකතාකරුවන් නාස්තිකරගන්නා අනුභූතීන් හා ශිල්ප ක්‍රමයන් සාර්ථකව යොදා ගැනීම හේතුවෙන් නිර්මාණකරණයෙහි යෙදෙන ඕනෑම අයෙකු විසින් කියවා විග්‍රහ කරගත යුතු පොතක් බවත් ලියමින් නවතිමි.

No comments:

Post a Comment