Sunday, July 7, 2019

රෝස මුසැන්ඩාස් පිස්සුව | සුසන්ත මූනමල්පේ | ගොඩගේ



මුලින්ම ලිවිය යුත්තේ මේ ලියමන උක්ත කෘතිය ගැන විචාරයක් යැයි වරදවා නොගතයුතු බව ය.
මෙවන් ලියැවිලි විඳීම් සටහන් වන අතර විචාර යනු මීට වඩා හරබර වූත් මහන්සිවිය යුතු වූත් වැඩ ය.

පිටු හැටපහක් පුරා ලියැවුණු කෙටිකතා හයකින් යුත් මේ කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා හයම නැවුම් ය. අපූරු ය. අනුභූතීන් අතින්. පරිකල්පනය වෙසින්. ඇතැම් තැනකදී ආඛ්‍යාන විදියෙන් පවා.

සුසන්ත මූනමල්පේ ඒ අපූර්වත්වය ගොඩනගන්නේ හැකිතාක් දුරට සම්මත කෙටිකතා ආකෘතිය තුල රැඳෙමින්ම වීමද අපූරු ය. සරල බසකින්. චරිතවලට තම වපසරිය තුල විසිරී යෑමට ඉඩ හරිමින්. බාහිරින් ඇවැසි අඩුම කුඩුම තොරොම්බල් එල්ලමින්. ඇවැසි තැන දී. ඇතැම් තැනකදී අනුපාන වරද්දාගනිමින් වුවත්.

අඩපාඩුවක් කියන්නට දෙයක් ඉතිරි නොකරන ' ස්-මරණය සහ ගස් - මරණය' තුලින් ඇගට පතට නොදැනී පරම්පරාවක කතාන්දරයක්ද මනුස්ස ගනුදෙනුද කියන කතුවරයා ඒතුලින්ම පාඨකයා තම ලියවීම තුලට ග්‍රහණය කර ගනී.
කෙසේවෙතත් එවන්ම ප්‍රකම්පනයකින් අවසන් කළ හැකිව තිබූ දෙවෙනි කතාව එතරම් ඔප මට්ටම් නොවුණු හැඟීම් සමුදායක් එහෙමම කතාන්තරයක් තුලට එබ්බවීම මගින් මෙන්ම කතාවේ රිද්මයට නොගැලපෙන තාක්ෂණික පිමි කිහිපයක් හේතුවෙන් මඳක් සැර බාල වී ඇත්තේ ය.
රෝස මුසැන්ඩාස් පිස්සුව. පොතෙහි ඇති අව්‍යාජම කෙටිකතාව වන්නේ ය. පොත පුරා කතුවරයා විසින් යෙදෙන තම අභිප්‍රායන් හා කතාව එකිනෙක හා ගැටගසන්නට ගන්නා උත්සාහය කූටප්‍රාප්තියට පත් කරන්නා වූ. අනෙක් කතා පහේම ඇති හැඟීම් ද ජීවිතය ද එක මිටට ගත්තා වූ.
විජිතගේ වළලු විජිතය නම් සිව්වැනියට පෙළගස්වා ඇති කතාව බැලූ බැල්මට අභව්‍ය විය නොහැකි යැයි සිතුය හැකි සිද්ධි දාමයක් ශූර ලෙස ලියා ඇති අවස්ථාවක් ලෙස ගත හැක්කේ ය. බසෙහි හෝ ආඛ්‍යානයෙහි මහා ශිල්ප දැකවීම් වලින් තොරවම. හුදු පරිකල්පනයේම හැකියාවෙන් ඉස්මතු කොටගත්. එමෙන්ම කතා හයෙන්ම වඩා උත්ප්‍රාසාත්මකම අවසානයද ඇත්තේ මේ කතාවෙහි වන්නේ ය.
හිස් මල් වට්ටියත් කිහිල්ලෙ ගහගෙන නමින් ඇත්තා වූ පස්වෙනි කෙටිකතාව සුසන්ත මූනමල්පේ නම් කතුවරයා තම අවට පරිසරය එහි මිනිසුන් මොනතරම් ශූරලෙස ග්‍රහණය කරගන්නට සමත්දැයි කියාපාන්නකි. එමෙන්ම තම අත්දැකීම් ප්‍රබන්ධයකට ගෙනෙද්දී කතුවරයකුට මොනතරම් විශ්වාසනීය ලෙස චරිතයක් ගොඩ නැංවිය හැකිදැයි කියන්නට හොඳම උදාහරණයක් ලෙස මුළු කතාව පුරාම නිර්මලාගේ පරෙස්සම් වීම සිහින් හුයක් පතුරා ඇති ආකාරය විශිෂ්ඨ ය.
හයවෙනි කතාව ලෙස ඇති වැව් සාගර සහ සොහොන් අරලියා බැලූ බැල්මට ඉතිරි කතා පහ තරම් බරක් නොදී ලියැවුණක් සේ හැඟී ගිය ද කතුවරයා මුළු කෘතිය පුරාම සාර්ථක ලෙස සිත්තම් කරන්නා වූ සමාජයේ තැන තැන පැලව ඇති වත්මන් ලාංකික මිනිස් ජීවිතය මේ කතාව තුල ද බහා ඇත. වෙනත් ආකෘතියකින්.

ඒ සියලු සාධනීය ලක්ෂණයන් එසේ තිබියදී තම කුළුදුල් කෙටිකතා සංග්‍රහය විශිෂ්ඨ පොතක් වීමට තිබූ ඉඩ කතුවරයා විසින් අහුරා ගන්නේ වත්මනෙහි බොහෝ කතුවරුන් විසින් කරන්නට යෙදෙන පොදු නොසලකා හැරීම් කිහිපයක් හේතුවෙනි. පළමු පොත වීම හෝ හදිසියේ අවසන් කිරීමට යෑම හෝ කතාවෙහි නැති දාර්ශනිකත්වයක් එබීමට යෑම හේතුවෙන්.

මුල්ම වැරැද්ද වන්නේ කතාව අවසන් වූ පසුද කතාව කීමට යෑම හෝ කතාවට අවශ්‍ය නොවන අවසානයක් වෙනත් අරමුණකින් කතාවට පිරිද්දීම ය. ඇතැම් තැනකදී පුරාණ ග්‍රීක නාට්‍යයෙහි එන 'සමෝධානය' වැනි සංකල්පයක් කෙටිකතාවට අවශ්‍ය යැයි යන යල්පැනගිය මතය හා කතුවරයා සිටින්නේද යන සැකය පවාමතු කරමින්. දෙවෙනි සහ පස්වෙනි කෙටිකතාවල දී ඒ කතාවන්හි සම්පූර්ණ ජීවගුණයම නැසීමට තරම් ප්‍රභලවත් අවසාන කතාවේදී යම් දුරකටත්.
දෙවැන්න කතාවෙහි ගලා යෑමට දැඩි ලෙස බාධා කරන භාෂාමය පොලා පැනීම් ය. මේ වරදෙහිලා නම් කතුවරයාට සමාවක් දිය නොහැක්කේ ඔහු විශිෂ්ඨත්වයට පත්කරන සුරල සුගම කතාන්දර විධිය ඔහුගේම නොසැලකිල්ලෙන් තව වරක් හෝ දෙවරක් අවසාන පිටපත් කියවීමෙන් මඟහරවා ගැනීමට හැකිව තිබූ වරදක් හේතුවෙන් නාස්ති කරලීම නිසා ය. පැහැදිලවම ඒ නම් හදිස්සිය විය යුතුම ය.
උදාහරණයක් ලෙස " හිස් මල් වට්ටියත් කිහිල්ලෙ ගහගෙන" කතාවෙහි එක ලඟ යෙදෙන මේ වැකි දෙක සලකන්න.
අතරින් පතර ඇයගේ ඇඟිලිතුඩුවලට හසුවූ ඔහුගේ ගන මාංශපේශිවලින් හා ශක්තිමත් පොරබැදිලි වලින් ඇයට ඔහු කියූ වයසටත් වඩා අඩු තාරුණ්‍යයේ සිටින බවකි. නිර්මලා කිව්වෙ ඇගේ වයසින් හරියටම අවුරුදු තුනක් අඩු කරල.”

අවසානයට. ' රෝසමුසැන්ඩාස් පිස්සුව ' පොත අපූරු කෙටිකතාමය අත්දැකීමකි. එහි එන ' ස්-මරණය සහ ගස් - මරණය' හා ' රෝසමුසැන්ඩාස් පිස්සුව ' ඕනෑම විශිෂ්ඨ සිංහල කෙටිකතාවක් හා එකපෙළට සිටුුවා තැබිය හැකි කතා ය. සුලු වැරදි තිබුණත් ' විජිතගේ වළලු විජිතය' හා ' වැව් සාගර සහ සොහොන් අරලියා' අපූරු පරිකල්පනයක දායාදයන් ය. ඉතිරි කතා දෙක පණ්ඩිත කම හා හදිසිය විසින් නාස්තිකරගත් වැරදියට ඔපදැමූ මිණි කැට ය.


No comments:

Post a Comment