Wednesday, July 10, 2019

:: බිඳි සෙනෙහෙ අවුරා- ළං කළ හැකිද හඬන සිත් තැවෙන සිත් ::


සුර අසුර' ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කෙරෙන්නේ එකදහස් නවසිය අනූ හයේ දී ය. බර්මින් ලයිලි ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයක් ලෙස. වසන්ත කොටුවැල්ල හා වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණය කළ. සිංහල හා දෙමළ අඹුසැමි යුවලක් විලසින්. අසූ තුනේ ජූලි මාසයේ ලංකාව කාලාවකාශය කරගනිමින්. කලු ජූලිය නම් පැල්ලම ඉතිහාසයෙහි සටහන්වෙද්දී මිනිසුන් හැසිරුණේ කෙසේ දැයි ඉඟියක් සපයමින්.

ඒ ටෙලිනාට්‍යය ගැන සමාජයෙහි හෝ සාහිත්‍ය කළා රසවින්දන අවකාශයන්හි ඇති තරම් කතා බහක් ඇති වූවා ද නැත් ද යන්න මා නොදනිමි. ඒ එකල මා කුඩාවකු වූ නිසාත් දැන් මෙන්ම එකල ද එවන් සංවාද ඇතිවන්නා වූ කොළඹ මට බොහෝ දුර වූ නිසාත් ය.

නමුත් ඒ ටෙලිනාට්‍යය වෙනුවෙන් චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ ගීතය අදටත් බොහෝ දෙනා සිහිකරන සොයන ගීතයකි. " වියෝ වී මිහි මඬල ඉකි බිඳී රළු සුළඟ සේ" ලෙසින් ඇරඹී සිංහලෙන් ද දෙමළෙන් ද " සාපයක් දෝ දෙවියන්ගේ, පාපයක් දෝ මිනිසුන්ගේ” යැයි කිහිප තැනෙකම ගැයෙන්නා වූ.

ශාන්තිනී. ( අවුරුදු විසිහතරකට පමණ පසු ප්‍රියන්ත ෆොන්සේකා සොයුරාටත් මටත් මතක හැටියට ඇගේ නම එය විය යුතු ය). එකල මහනුවර යුනෙස්කෝ සංගමය නමින් තනාගත් කුඩා එකතුවේ අප බොහෝ දෙනෙකුට ශාන්තිනී අක්කා වූ ඇය ඒ දේව ශාපයට ගොදුරු වූවකු වූවා ය. පාපී මිනිසුන් අතින් වැපිරුණු.

අසූතුනේ ජූලි මාසයේ දී ඇයගේ පියා මරා දැමුණි. සොහොයුරා පිහි ඇනුම් කෑවේ ය. ඇගේ සිරුරටද බොහෝ තුවාල කැළැල් එක්වී තිබුණේ ය. දළඳාව වෙනුවෙන් කෙරෙන පෙරහැරේ හඬ ඇසෙන මානයේ දී.

ඊට වසර දහතුනකට හෝ දාහතරකට පසු ඇය අපට දෙමළ උගන්වමින් සිටියා ය. සිංහල රැළක එකම දෙමළිය වෙමින්. සිය සොහොයුරාගෙන් කෙරුණූ තර්ජන ද බලපෑම් ද නොසලකා හරිමින්. ගමන් ගාස්තු ද ආහාර පාන වියදම් ද තමා විසින්ම දරමින්. අප විශ්වාස කරමින්. අපටත් වඩා මනුෂ්‍යත්වය විශ්වාස කරමින්.

ඒ විශ්වාසය කොතෙක් ද යත් අපෙන් කිහිප දෙනෙකු සිය පවුලේ විවාහ උත්සවයකට පවා රැගෙන ගියා ය. ගැඹුරටම කැපී ගිය තුවාල පිරිමදිමින් යළි යළිත් වේදනා විඳිමින් සිටි සිය සොහොයුරා පවා සනසමින්.

ශාන්තිනී අක්කා. පුද්ගලිකව මා හා වචන පනහකට වඩා කතා කර නැතුවා විය යුතු ය. එහෙත් අදටත් මා ඉතා ආදරය කරන ගැහැණුන් අතරෙහි ඇය නිසැකවම සිටින්නී ය. ඒ මගේ ජීවිතයෙන් ජාතිය නම් ක්ලේෂය ඉවත් කළ ජීවමාන උදාහරණය බවට පත් වෙමිනි.

චන්ද්‍රිකා සිරිවර්ධන ගයනා ගීතයෙහි කොටසක් යළිත් උපුටමි.
අළු යටින් මතු වී
ඇවිලෙනා ඇවිලෙනා
නොනිවි ගින්නක් වී"

අනූ හයේ දී ගැයුණු ඒ ගීතය අදටත් වලංගු ය. නිමා කෙරුණා යැයි උදම් අනන ව්‍යසනයක සැබෑ තත්වය එයම වන හෙයින්. ජීවිත බිලි දෙමින් බලි ගනිමින් වනසමින් අවසන් වුණ.
තවමත් උල්පා දක්වන වාසියට සටහන් කෙරෙන අවස්ථාවාදී ජඩයන් විසින් වපුරණ අවිශ්වාසය විසින් සක්‍රියව තබා ගන්නා.

සිංහල ද දෙමළ ද මුස්ලිම් ද වෙනසක් නැතිව ම.

ශාන්තිනී අක්කා උදාහරණ කොටගනිමින්ම ලියමි.
මේ අවාසනාව සදහටම නැවතිය හැක්කේ මහ එකාගෙන් උදුරාගෙන අනෙකාට දීමෙන් හෝ අනෙකාට සුරංගනා ලෝක මවා පෙන්වමින් නොවන්නේ ය. ආදරයෙන්ම පමණි.ඒ ආදරය ගැන විශ්වාසය තැනීමෙන්ම පමණක්ම වන්නේ ය. එලෙස විශ්වාසයෙන් ආදරය කළ හැකි අවකාශයන් ද මිනිසුන් ද තැනීමෙන්ම පමණක්ම වන්නේ ය.

ඒ වැඩය අමාරු ය. අමාරු වැඩ කළ යුත්තේ සාමූහිකව ය.

No comments:

Post a Comment