Wednesday, August 14, 2019


ගැහැනු පිරිමි මල් පලතුරු | ඉසුරු චාමර සෝමවීර | ග්‍රන්ථ


ඉසුරුගේ පොත කතාංග හතකින් යුතු ය. සිය මුල් කෙටිකතා පොතෙන් ඇරඹි භාෂාමය ලැසි ගමන වඩා ලාලිත්‍යයෙන් අලලවමින් ලියැවුණු. ඇතැම් තැනක ඉතා සරල අන්තර්ගතයක් තුල අපව තිගස්සවමින්. විටෙක උවමනාවටත් වඩා ඇදෙමින් යන තැන් කිහිපයකින් බාල වෙමින්.

ගැහැනු පිරිමි මල් පලතුරු" සුලබ කවුරුත් දන්නා යෙදුමක් වන්නාක් මෙන්ම ඉසුරු තම කෙටිකතා තුල හසුරුවන මිනිසුන්ද ජීවිතයද සුලබ එදිනෙදා හමුවන ඒවාම වන්නේ ය. අප දන්නා දෙබස් කියන. අපට දැනෙනා හැඟීම් හැඟෙන. අප සිතනා සිතිවිලි සිතන.
ඉසුරු ඒ සුලබ අමුද්‍රව්‍යය ගෙන ඇවැසි දෑ ඇවැසි තැන ඇවැසි ලෙස යොදමින් කියවන්නා මෝහනය කරන්නේ ය. ප්‍රහර්ෂයට නංවන්නේ ය. පෝදා මිදුලක හඳ එළියෙන් රටා අඳින කොස් ගසක් මෙන්.

මීට පෙර මේ පොත ගැන කෙරුණු බොහෝ සංවාද වලදීද සටහන් තුලදීද බොහෝ දෙනා ඉසුරුගේ භාෂා යොදාගැනීම සරල එකක් ලෙසත් ආඛ්‍යාන ශෛලිය කතාන්දර වැන්නක් ලෙසත්ඉතා අසාධාරණ ලෙස ලඝු කොට තිබෙණු දිටිමි.
මට නම් ඉසුරුගේ භාෂා හැසිරවීම කිසිසේත්ම සරල වන්නේ නැත. මන්ද ඔහු සිය කතා තුලදී සරල භාෂාව ඉතා ලෝභ ලෙස හසුරුවන හෙයිනි. සරල වදන් යොදාගෙන කියවන්නා වෙහෙස නොකර කියවන්නා කම්පනය කරන හෙයිනි. වඩා වැදගත් ලෙස සෑම කතාවකම පාහේ යෙදෙනා ඉතා කුඩා ඡේදයක් පවා කතාවෙන් ගලවා වෙනම තැබූවිට අති සරල යෙදුමක් පමණක් වෙතත් කතාව තුලදී අතු ඉති විහිදා වැඩුණ ගසෙක කොටසක් මෙන්ම වන හෙයිනි.
උදාහරණයක් ලෙස ‘සාන්ත’ කතාවෙහි මේ ඡේදය කතාව මෙතැන මෙහෙම සටහන් වෙද්දීත් කතාව මැදදී මුලින්ම කියවද්දීත් කතාව කියවා අවසන යළි සිහි කරද්දීත් ඔබට දනවන අර්ථය ද දැනෙන හැඟීමද විඳින්නට ආරාධනා කරනු රිසියෙමි.
එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබුණි. එහි තෙතක් විය. ඔහු හිරකරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.”

ඒ භාෂාව හා ආඛ්‍යානය හැසිරවීම දැනුණ හැටි ය. කතාන්දර කීම ගැනද කියන්නට ඇත්තේ එයම ය. බැලූ බැල්මට ඉතා සරල කතාන්දරයක බහා විසල් සමාජ වපසරියක බර කියවන්නා මත තබන්නට ඉසුරු ශූර වන්නේ ය. ඒ සඳහා '' නම් කතාව පමණක් වුව හොඳම උදාහරණයකි.

කතා හත ගැන කෙටියෙන් ලියා තබමි.
'
නිල් මල් ගවුම ' නම් මුල්ම කතාව ඉසුරුගේ කතා විදිය ගැන අදහසක් ලබා දෙයි. එහි තැනින් තැන යෙදෙන ඇතැම් කෙටි දෙබස් හා යෙදුම් වත්මන් මිනිස් ජීවිත ගැන ක්ෂණිකාලොකයක් එල්ල කරවයි. උත්ප්‍රාසයෙන් බහුලව. සමස්ත කතා හා සසඳද්දී මට නම් මේ කතාව මදි ය. මීට වඩා අඩු වචන සංඛ්‍යාවකින් කියන්නට තිබූ කතාවක් ඒ ජාතියේ කතාවක සිටිනා මිනිසුන්ගේ සමස්තයම ලියා දැක්විමට යෑම නිසා විසිරුණු ස්වභාවයකින් යුතු ය. අවසානය අනුමාන කිරීමට හැකි හෙයින් කියවන්නා කතාව මැදදී වාර්තාවක් කියවන්නෙකුගේ තත්වයට පත් කරයි.
එ හා ලඟින්ම යන හයවන කතාව 'පෙරේරා මහත්මිය' වන්නේ ය. අවසානය අනුමාන කිරීමට හැකි වුවත් ඒ කෙසේ වන්නේ දැයි යන ආශාව විසින් කියවන්නා කතාව හා බැඳී සිටියි. මුළු කතාව පුරා පෙරේරා මහත්මියගේ ඇසින් මුළු ජීවිත කතාවක් කියන ඉසුරු ඉතා සාර්ථක කෙටිම කෙටි කතාවක් ලියා තබයි. ඒ ගැන උනන්දුවන අයට හොඳ උදාහරණයක් සපයමින්. ඒ ශානරයේ කතාවල ප්‍රභලත්වය ප්‍රකට කරමින්. කතාවද කියන ආකාරයද කියන වචනද නිසි ලෙස නිසි ඉලක්කයකට යොමු කළ විට කුඩා සිද්ධියක් වුව මොන තරම් ප්‍රභලව දනවිය හැකිදැයි උදාහරණ සපයමින්.

කිඳුරු වෙරළ නම් තුන්වන කතාවද සමස්ත කතා ගොන්න හා සැසඳීමේදී තනුකව ගිය කතාවකි. උවමනාවටත් වඩා සිද්ධි හා දෙබස් යෙදීම මඟින් මුඛ්‍ය කතාංගය යටපත් කිරීම නිසාවෙන්. නමුත් මේ තුල ඉසුරු ඉතා සාර්ථකව කියවන්නාට තමාගේම අර්ථ දැක්වීම් වලට යෑමට ඉඩක් නොතබා ඔහුගේ භාවයන්ට පමණක් කතාව හා අනුනාද වීමට බල කරන්නේ ය. අනිවාර්යයෙන් ඕනෑම සංවාදයකදී බෙහෝ නිර්මාණශීලී අදහස් දැක්වීම් වලින් පිරී යා හැකි මෙවන් ප්‍රස්තුතයක් යොදාගෙන ලියන කතාවක විය යුතු සේම.

ගැහැනු පිරිමි මල් පලතුරු' ඕනෑම කියවන්නෙකුට හෝ කියවන්නියකට තමාව කැඩපතක් තුලින් බලන්නාක් මෙන් බලන්නට ඇරයුම් කරන ඉඩ සලසන කතාවකි. කෙටිකතාවක් තුල තල දෙකක කතා දෙකක් එකිනෙකා හා හැඩට ගොතමින් ලියූවකි. එකක් අනෙකට බාධා නොවන ලෙස. මෙහිදීද ඉසුරු මහා විජ්ජා නොපෙන්වයි. එදිනෙදා ජීවිතය හා බැඳි සිද්ධීන් වස්තූන් තුලින්ම අපට අපවම පෙන්වයි.

දෙවන කතාව වන 'සාන්ත' මහා ඛේදවාචකයක් නිහඬව කියාපාන සිතිවිලි වියමනකි. විවිධ හේතූන් මතින් දරුවන් මත පැටවී ඇති දරිද්‍රතාවයද අසරණභාවයද ඔවුන්ට ඉතිරිකර ඇත්තේ මොන තරම් පටු අවස්ථාවන් ද යන්න සංයමයකින් ලියැවුණ කතාවකි. මුලින් කියවන්නාගේ සිත තුලට පහසුවෙන් වැදී පසුව ගඩුවක්ව වේදනා දීමට සමත් කතාවකි. මා ආසාම කතාවකි. යළි යළිත් සිහිකරමින් කම්පනයට පත් කරවන කතාවකි.

'. කෙටි කතාවක් කියද්දී සමස්ත සමාජ වටපිටාව ග්‍රහණය කරගැනීමට සමත් ආඛ්‍යාන රටාවක් යොදා ගැනීමට හොඳ උදාහරණයකි. එහි එකිනෙකාගේ කතාන්දර ලෙස ඉසුරු ගෙන එක අතුරු සිද්ධීන් එකක්වත් මුඛ්‍ය කතාංගයට බාධා නොකරන්නේ ය. ඒ වෙනුවට ඒ කතාව ලියවැලක් කොටගෙන එහි පිපුණු මල් ලෙසින් සමස්ථ කතාංගය වඩා ආකර්ශණීයද විචිත්‍රවත්ද එකක් කරන්නේ ය.

සුදු අයියා' ඉසුරුගේ දැනට මට වඩාත්ම දැණුනු හා මා කම්පනය කළ කතාව ය. පිටු හයක් පමණ දිගින් යුතු මේ කතාව 'යුද්ධය' නම් සාධකය හුදු මතුපිටින් අතගා කෙරෙන විග්‍රහයන් හෝ මහේක්ෂ තලයේ සමාජ විසංයෝජනයන්ගෙන් කෙරෙනවාට වඩා තදින් කියවන්නා කම්පනය කරවීමෙහි සමත් ය. 'යුද්ධය' තවමත් අපේ මිනිස් ජීවිත තුල සිතුවිලි තුල මොනතරම් දුරට විසිරී පැතිරී සවිඥානිකවහා අවිඥානිකව අපව පාලනය කරනවාද යන්න ඉතා සරල භාෂා වියමනක් තුල ඉදිරිපත් කරමිනි. හිටිගමන් තුවක්කුවක් ගෙන මතුව ආ 'සුදු අයියා' මෙන් අපව සසල කරවන මට්ටම ගැන තක්සේරුවක් සපයමින්. පුද්ගලයකු පවුලක් හෝ සමාජයක් ලෙස.

ඉසුරු චාමර සෝමවීර.
කෙටිකතාව සොයා යන්නෙකුට අගනා උදාහරණ සපයමින් ඔබ කළ මහන්සියට ස්තූතිය පුදමින් මේ සටහන තබමි


No comments:

Post a Comment