Monday, August 26, 2019

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්‍රකාශන

කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි | සනත් බාලසූරිය | සම ප්රකාශන
මේ පොත කියවීම අරඹනතුරු 'tourism poems’ එසේත් නැතිනම් ' සංචාරක කවි' කියා කවි ප්ර්රභේදයක් ගැන අසා නොතිබුණෙමි. ඉන්පසුව කෙරුණු සරල ගූග්ල් සෙවීමකින්වත් ශාස්ත්රී ය ප්රකාශනයකවත් මේ ගැන සෑහිය හැකි තරම් දෙයක් නොලැබිණි.
ඉඳින් සංචාරක කවි යනු මේ පොතේ ඇති කවි ආකාරය යැයි පූර්ව නිගමනයෙන් තෘප්තිමත්ව පොත කියැවීමි. දැන් මේ විඳීම බෙදාගනිමි. පොතෙහි ඇති කවි තිස් අටක් පුරා ඇත්තේ කවියා විසින් ඇවිද ගිය ඇවිද යෑමට සිදුවූ හෝ ඇවිද්දවා ලූ තැන් තැන් වලින් ලද අනුභූතීන්ගෙන් හටගෙන ලියැවුණ කවි ය.
ඒ කවි. ඇතැම් තැනක හුදු පරිසර වර්ණනයකින් එහාට නොගියද බොහෝ තන්හි මුලු ඉතිහාසයක් කැටිකොට කියන්නේ ය.
විටෙක උත්තමපුරුෂයෙන් ලියැවෙන තැනක කවියාද ඒ මොහොතෙහිම දියව යමින් අප ග්රහණයකොට ගන්නේ ය. උදාහරණයක් ලෙස හත්වන කවිය වන ' නන්දි හි කඳු මුදුන් ' ගැනීමට කැමැත්තෙමි. මේ කවිය ලියැවී ඇත්තේ කවියා මෙරටින් නෙරපූ කාලයේ දී යැයි උපකල්පනය කරමින්.
ඉන්දියාවේ ශිම්ලාහි පිහිටා ඇති නන්දි කඳුමුදුන් අමතන කවියා සිය කවිය අරඹන්නේ මෙසේ ය. “ ඔබ සිටී මුහුණ ලා මා පැමිණි මාවතට මම හිඳිමි මුහුණ ලා මට අහිමි දේශයට "
අවසානයේ ඒ අසල පිහිටි 'තිප්පු හෙල ' නම් ලද පෙම පැරදි පෙම්වතුන් පැමිණ පැන දිවි තොරකරගන්නා ස්ථානයේ දී කවියා සිය පියඹට මෙසේ කියන්නේ ය. ඒ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ මනෝභාවයන් කදිමට සනිටුහන් කරමින්. “ තිප්පු හෙළ පතුළතෙහි සැඟැවීම බාල පෙම් පලහිලව්වකට මිස අපට ගැළපෙනු නොවෙයි. යථාවට ඇහැරීම ඇහැරිලා නන්දි කඳු බැස යාම දැන් ඉතිං ඉඳුරා ම හොඳ තමයි.”
මීට පෙරද සටහන් කර ඇති පරිදි මේ පොත කියවීම සඳහා සාපේක්ෂව අන් කවි පොතකට වඩා වැඩි කාලයක් ගතවූයේ ය. ඒ සඳහා බලපෑ ප්රධානම හේතුව විය යුත්තේ 'කවිය නම් මේ යැ' යි කියා කාලාන්තරයක් මුලුල්ලේ අප සිත්හි වැඩුණු ආකෘතිය තුල මේ කවි පිහිටන්නේ නැති කම යැයි සිතමි. සාමාන්යය පෙළ සිංහල විෂයය ඉගෙනීමේදී සිට පුවතපත් කවි පිටුද සමාජ මාධ්යය ද හරහා නිතර ඇසුරට ලැබුණු යම් විරිතකින් යුතු පබැඳුමක් කවියකැයි කියා ජීර්ණය කරගත් අවිඥානයකට එලෙස නොවන්නා වූ කවි දක්නට ලැබුණු විට යම් ප්රතිරෝධයක් ඇතිවීම සාමාන්ය ය. උදාහරණ ලෙස මුල්ම කවියඒ ගණයට අයත් වන්නේ ය. ඒ හේතුවෙන්ම කවි දෙකතුනක් කියවා පොත ගැන අදහසක් ගන්නා යම් කියවන්නෙක් වේ නම් මේ කවිය විසින් ඔහු අධෛර්යයට පත්කරනු නොඅනුමාන ය. නමුත් ඉන්පසු හමුවන කවි තුල ලේඛකයා විසින් මානව වර්ගයා කෙරෙහි වූ ප්රේමයත් ඒ ඒ ස්ථානීය අනුභූතීන්ගේ පාරිසරික හෝ ඓතිහාසික තොරතුරුත් මනා භාෂා ගෙත්තමක යොදා ඉදිරිපත් කරන්නේ විටෙක අපව කම්පනය කරමින් හා මේ පොත පසුගිය වසරේ අඩුම අවධානයට ලක්වූ කවි පොතක් වීම ගැන කණගාටුවක් දනවමිනි.
උදාහරණ ලෙස පහත උපුටනයන් කියවන්න ( සම්පූර්ණ කවි මෙහි සටහන් නොවේ). “ නිවා රතුවන් රාග එළි ඇස්
සාන්තය දැන් නුවර දහවල කැඩෙන්නෑ රතු ට්රැෆික් එළි වුව, සිටී ඉවසා වැටෙන තුරු කොළ
රැය ය දහවල කියා දෙකකට බෙදාගෙන ඇති බැවින් ලෝකය රෑ දවල් දෙක වෙනස දන්නෙ ය, නගර කෙළවර පසිඳු වීදිය.”
- උදේ රැයින් ටාෆලයට එන ලිංගික ශ්රමිකාව

“ උදුන් තුළ ගිනියමින් පූදින
රත් යවට ගිනිබෝල වීදුරු
සුසුම් පණ පිඹ පුබුදුවා ලමි
හැඩ තබා සිහිනෙක නො පීදුණු
එන්න ගොන්ඩෝලාව පැදගෙන
හීන ලෝකෙට සොඳුරු වීදුරු
හිඳිමි ගිනියම් උඳුන් ගෙයි
සඟවමින් වත ගිනිසැරට මැලවුණු"
- වීදුරු සල්පිලේ දේදුනු පුබුදුවන්නා
“සියුම් සසැලුම්
සුළං දහරකි
ඔතාගෙන
අප
ලිහී විසිරෙන
ලිහී යයි
ඒ සුළං දහරෙ ම
අඳුර
කැටි වී තිබුණු
අප'තර
ඉදින් හර්මන් හෙසෙ ඔබ මා
මෙතැන,
මේ පාලමේ තනිව ම
ඉවුර අතහැර
බලා ගඟ දෙස "
- කළු වනය මැද සිදුහත් සිරිත
“ මම ටොනික් එක්ක ජින් බොන්නේ
ජීවය ලබා ගන්න
ඔබ අමුවෙන් ජින් බොන්නේ
ජීවය මරාගන්න"
- ජින් ( ලලිත්පූර් අවන්හලේ යුවතිය)
මීට වඩා උපුටනයන් දැක්වීම කියවන්නෙකුගේ කියවීම වෙත මගේ කියවීම බලෙන් පැටවීමක් විය හැකි හෙයින් නවතිමි. බොහෝ කවිවල කියැවෙන තැන්ගැන වැඩියමත් සටහනක් යොදා ඇති 'අත්වැල' හේතුවෙන් කවියට එහා ගිය දැනුවත්වීමක් හරහා ලැබෙන විඳීමක්ද ඇතිබව එක් කරමින්.

No comments:

Post a Comment