Saturday, July 28, 2012

:: කහ සහ ගෝවා::

කහ.
අවුරුදු කුමරිය තරඟයදා ඇය හැඳ සිටියේ කහපැහැති තනපටකි.
අයෝමය පුරුෂයා තරඟයට ඔහු ආවේ කහ පැහැති යට ඇඳුමකින් සැරසීය.

ගෝවා.
ඔහු දිනපතා බිව් සුප් කෝප්පයට ගෝවා දැමීම අකැප විය.
ඇයගේ උදා ආහාරයට ගෝවා සලාදයක් අනිවාර්යය විය. දිග. එතරම් නොමේරූ.

ඇය. ගෝවා වලට අමතරව කොල පැහැති එලවළුත් කහ පැහැති පලතුරුත් කෑවාය. මඳ පමණ. ශරීර හැඩය නොනසා.
ඔහු. මස් ද මාළුද කෑවේය. තෙල්කෑම අඩුකලේය. ශක්ති ජනක කිරි බිව්වේය.

ඔහු. උදෑසනම දිව්වේය. හවසට ජිම් ගියේය. රෑට කලින් නිදා ගත්තේය.
ඇය. උඩරටද, පහතරටද බැලේ නැටුම්ද නැටුවාය. ශරීරය නම්‍යශීලී කරගත්තාය.

ඇය. රූ රැජින තරඟ අටකින් දිනුවාය. මුල් කවර හයකට සිය රුව දුන්නාය.
ඔහු. පිට පිටම හතරවරක් අයෝමය පුරුෂයා වූයේය. අග කවර තුනක උඩුකය පෑවේය.

ඔහු. දන්නා නොදන්නා ගැහැණු සිරුරු මත තම කාය ශක්තිය පෑවේය. ඉඳහිට මධුවිතක් ගත්තේය. පසුව වැඩිපුර.
ඇය. දුටු නොදුටු පෙම්වතුන් හා ආදරබස් තෙපලීය. ඇතැමුන් එවූ බෝනික්කන් තෑගි ලෙස ගත්තාය. කාටත් හොරෙන් සැඟවූවාය.

ඇය. ජනාධිපති ආර්යාවක වීමට සිහින මැව්වාය. ඇමතිවරු දෙදෙනෙකුගේ සිහින කුමරිය වූවාය.
ඔහු. ඇමතිවරයකු වීමට පැතුවේය. මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු වීය.

**********************************************************************
මොනර පිල්. වැටී ගියේය.
සිංහ කේසර. ලිහී වැටුණේය.

ඇය. යලි ගෙදර ආවාය. ගෙටම වී සිටියාය.
ඔහු. යලි ගම ආවේය. උදේට වැඩිපුර නිදාගත්තේය.

***********************************************************************

ඔහු. කපුවකු දුන් ඔත්තුව අනුව නෑසියන් හා ඇගේ නිවසට ආයේය.
කෝලිකුට්ටු හා බටර් කේක් කෑවේය. බැරෑරුම් සිනාවක් පා නික්ම ගියේය.
ගේට්ටුව ලඟදී හැරී බැලීය.

ඇය. ඔහු දුන් අංකයට අකුරු කලේය. ඉංග්‍රීසියෙන් සිංහලෙන්.

“ අම්ම කියන්නෙ මං වගේ කෙනෙක් රකින්න ඔයා වගේ ශක්තිවන්තයෙක් තමයි හරි යන්නෙ කියලා“

ගෝවා මල්. මඳක් කහපැහැයට හුරුය.

7 comments:

  1. බඹා කෙටූ හැටි.

    ReplyDelete
  2. තවත් වසර විස්සක් ගතවිය.

    ඔහුට අනුව, ඔහු කලක් ඇමති ආරක්ෂකයෙකුව හිඳ ඇත.

    ඇයට අනුව, ඇය වරක් ඇය අවුරුදු කුමාරි වේදිකාවට නගිනවාත්, තවත් වරෙක කෙසේදෝ ලැබුනු අංකයකට කෙටි පණිවිඩයක් කොටනවාත් අතර මහත් කාල පදාසයක් අතුරුදන්ව ඇත.

    ReplyDelete
  3. ඒ කාලය තුල ඔවුන් මුද්දර එකතු කරමින්, පොත් ප්‍රදර්ශන නරඹමින්, දෙමාපියන්ට සවියක් වෙමින්, ඩිප්ලෝමා කෝස් කරමින් හිඳ ඇත. :)

    ReplyDelete
  4. මේක නම් හරිම අපූරුයි සහෝ..නියමෙටම ලියල තියනවා..අනේ මට හිතෙන්නෙ නැහැනෙ මෙහෙම ඒවා.... :)

    ReplyDelete
    Replies
    1. ( ලැජ්ජාවෙන්)
      ස්තූතියි හුඟක්..!
      මෙහෙම කමෙන්ට් වැටෙනකොට කොහොමත් ලියන්නමයි හිතෙන්නෙ... :)

      Delete