නිම්නාගේ ඉතිහාසය කියන්නේ පහුගිය කාලය පුරාවට මේ රටේ සාහිත්‍යමය අවකාශයන් අතරේ වැඩිපුරම කතා බහට ලක් වුනු නවකතාවක්. හරියට වශියක් වගේ කියවන කියවන හැමෝම ආශක්ත කරගනිමින් ඒ ගැන සටහනක් තැබීම වගකීමක් කරගනිමින් පැතිරී ගිය පොතක්.
මං සම්බන්ධයෙන් කියනවා නම් සෑහෙන කාලෙකට පස්සේ පොතක් පෙරළා වත් බලන්නේ නැතුව මිලට ගත්ත අවස්ථාවක්.
ඒව මේව වැඩ ගොඩකුත් එක්ක පොත කියවලා ඉවර කළේ දැන්. ඒක හොඳ නවකතාවක්.
කෘතියක් විදිහට පිරිස විසින් ආකාශ ගත කරල තියෙන සීමාව නිසා නිදහස් කියවීමකට බාධාවක් වෙයි කියන බයෙන් පටන් ගත්තත් කතුවරයා මනුස්ස මනස වැඩ කරන විදිහ ගැන, ක්ෂණික ක්ෂතිමය අවස්ථාවන්හිදී තීරණ ගන්නා ආකාරය ගැන පොතේ තැනින් තැන විවිධ චරිත හරහා ගෙන එන ආකාරය පුදුම සහගතයි. ආදරේ හිතෙන සුළුයි. මුලින්ම එහෙම දෙයක් දැනුනෙ දිය කැට පහණ බලද්දි. ඊට පස්සේ කොයියෝ ගේ මිනිත්තු එකොළහේ කතාව කියවද්දී.
නිම්නාගේ ඉතිහාසය කියලා නම දීලා තිබ්බට පොත කියවගෙන යද්දි කියවන කෙනාට තමන්ගෙම ඉතිහාසයත් එක්ක පැටලෙන්න බල කරන පොතක්. ඒක වැඩිපුරම දැනෙනවා ඇත්තේ නිම්නාගේ වයසේ හෝ නිම්නා ඉපදෙනකොට බහ තෝරලා වත් නැති වයසේ අයට. මොකද පොත කේන්ද්‍රගත වෙන්නේ ඒ වයස් සීමාව අයට අනන්‍ය වෙන්න පුළුවන් සිද්ධි ගොඩක් මත නිසා. ඒ වගේම කෞශල්‍ය වඩා වැඩි විශ්වාසයක් පෙන්නන්නෙ ඒ කාලසීමාව සිද්ද වෙච්චි දේවල් ගැන ලියද්දියි.
ඒ වගේම පොත කියවගෙන යද්දී මට හිතිච්ච දෙයක් තමයි හුඟ දෙනෙක් මේක මාර පොතක් කියන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ කෞශල්‍ය විසින් අපි හුඟ දෙනෙකුගේ ෆැන්ටසියට ඉඩ හදලා දීලා තියෙන නිසා කියන එක. පොතේ ඉන්න ගෑනු පිරිමි චරිත සියල්ලක්ම කියවන්න හෝ කියවන්නිය යටිහිතින් වෙන්න ආසා චරිත. එහෙම නැත්තං ලඟින් තියා ගන්න ආසා චරිත. පණ්ඩුක ඇරුණුකොට.
ඒ වෙලාවේ මට මතක් වෙන්නේ අවුරුදු අටකට කලින් චින්තන ධර්මදාස ලියපු පොඩි ලිපියක් - " මායාකාරියන්ට පෙම් බඳින පුංචි ඉවාන්ලා" කියලා.
වෙලාවකට හිතෙනවා අනිත් චරිත ඔක්කොටම එච්චර නිදහසේ නිදහසේ හැසිරෙන්න දීලා පණ්ඩුකට ඒ විදිහේ ඉරණමක් අත් කෙරුවෙ ඒ ජාතියෙ චරිත එක්ක කෞශල්‍යට තියන අවිඥානික වෛරයක් ( මටත් එහෙම එකක් තියෙන බව පොත කියවද්දි තේරුණා) නිසාද කියලත්. වෙන එකක් තියා පණ්ඩුක කියන නම පන්ඩක කියන එකෙන් බිඳිලා ආව එකක් කියන එක පවා මට හිතුණා.
පොත කියවන්න පටන් ගත්ත තැන ඉඳන් සෑහෙන දුරක් යනකං කියවීමක් වෙහෙසකර කටයුත්තක් වුණා. කතුවරයාගෙ එළැඹීම මට දැනුණේ රියැලිටි තරගයක ආපු කොල්ලෙක් Audition එක්ක සින්දු කියන්න පටන් ගන්නවා වගේ. මුල් පරිච්ඡේද පුරා තිබුණු තාක්ෂණික ප්‍රහේලිකා වාර්තාමය ආකාරයේ ඉතිහාස ඇතුළත් කිරීම් කියවන්නාට බාධා කළා පමණක් නෙවෙයි කතුවරයා අතරමං වී ඇතැයි යන හැඟීමකුත් ඇති කළා. නමුත් දෙවැනි කොටසේ සිට කියවන්නාට විශ්වාසයෙන් යුතුව කියවිය හැකි අන්තර්ගතයක් ආඛ්‍යානයක් භාෂා විදියක් සොයාගන්නට කෞශල්‍ය සමත් වෙනවා. මුලින් විසිරී තිබුණ කෘතිය ටිකෙන් ටික නාභිගත වෙන්න පටන් ගන්නවා. ඒකෙ කූටප්‍රාප්තිය එන්නෙ හයසිය තිස්වෙනි පිටුවෙන් පස්සේ.
මුලින් විසිරිලා මූලික කතාවෙන් බාහිරව එහෙ මෙහෙ යමින් තිබූ දාර්ශනික සංවාද මනුස්ස සම්බන්ධකම් කතාවත් එක්ක එක පෙළට හිටවන්න එතන ඉඳන් කතුවරයා සමත් වෙනවා. මටනම් ඒ පිටු ටික තීසිස් එකක කන්ක්ලූෂන් එකක් වගේ. 630 ඉඳන් 649 වෙනකල් පිටු ටිකේ මුලුකතාවෙම සාරය කිසිම අඩුවැඩියක් නැතිව ලස්සනට වියෙනවා.
බොහෝ දෙනෙක් පොතෙහි සංසිද්ධියට ආකර්ෂණය වීමෙන් හෝ වෙළඳපල වටිනාකමක් එකතු කිරීමේ අරමුණින් හෝ කතුවරයාගේ හිත සතුටු කිරීමේ අරමුණින් මේ පොත දශකයේ හොඳම නවකතාව හෝ නිර්ණායකයන්ට පිටින් ඇති විශිෂ්ට කෘතියක් වැනි හඳුන්වාදීම් තුළින් අභ්‍යවකාශගත කර තිබුනත්, මට නම් මේ නවකතාව තව පරිස්සමෙන් ලියැවිය යුතුව තිබුණක්.
එහෙම කියන්නට හේතු කිහිපයක් කියනවා නම්:
බැලූ බැල්මට පාඨකයා කෘතිය හා අනුරාගයෙන් බැඳීම වැළැක්වීමට යොදාගෙන ඇති බව පෙනෙන කතාව මැද කෙරෙන පාඨක ආමන්ත්‍රණ ( උදා: " ..... කිසියම් ශක්තියක් පිළිබඳ උපමා රූපක වගේ යැයි ඔබට ඕන නම් කියන්න පුළුවන්", ".....ඈ හැන්ඩ් බෑගයෙන් ලේන්සුව ගන්නා විට එහි පැටලී තිබී නැවත බෑගයේ පතුලට වැටෙන පහේ කාසි කිහිපය එයට හේතුව වෙන්න පුළුවන් කියලා අවසානයේ ඔබට ඕනෙ නම් නිගමනය කරන්න පුළුවන්." ) බහුලව යොදාගැනීම මගින් පාඨකයා උවමනාවටත් වඩා දුරස් කරන බවක් දැනෙනවා. පොතේ අවසානයට යන්නට යන්නට මේ යෙදුම් අඩුවීමම කතුවරයා කතාව හා අනන්‍ය වනවිට ඒ යෙදුම්වල බාධාකාරී බව ඔහුට දැනුණ බවට ඉඟියක් වෙන්නත් පුළුවන්. අනෙක් අතට පරාරෝපණය පිළිබඳ සරලම අර්ථ දැක්වීමක් වන “make the familiar strange” කියන අර්ථයෙන් ගත්තත් ඒ ආකාරයෙන් කියවන්නාට බාධාකිරීම සමඟ එකඟවන්නට බැහැ.
මුලින්ම යෙදුණු ප්‍රහේලිකාමය ස්වරූපය නිසා ඇතැම් විටක කතුවරයා නොදැනුවත්ව කෘතිය තුල ඇති සරල මතික ඇතුලත් කිරීම්වල පවා යම් අර්ථයක් සොයමින් පාඨකයාට වෙහෙස වෙන්නට සිදු වෙන අවස්ථාත් නැතුවා නොවෙයි. හොඳම උදාහරණයක් වන්නේ බොහෝ තන්හි ඉංග්‍රීසි දෙබසත් සමග එහි සිංහල පරිවර්තනය ද ඇතුළත් කර තිබුනත් ඇතැම් තැනක එය නොමැති වීම.
මේ දේවල් නිසා කිසිසේත්ම කෞශල්‍යගේ මහන්සිය හෝ ප්‍රතිභාව හෑල්ලූවට ලක් වන්නේ නැහැ. නමුත් තමා වටා පළඳවා ඇති රැස් වළල්ලෙන් නිලංකාර නොවන්නට මේ කතුවරයා පරිස්සම් වනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා. අනාගතය ගැන ආශාවෙන්.
ඒ ගමන්ම වෙනත් කෘතිවල ඇල පිල්ලේ වැරදි පවා සොයන්නට සවිඥානිකවූ අපේ සාහිත්‍ය සමාජයට නිම්නාගේ ඉතිහාසය තුළ ඇති කාල රාමු නොගැලපීම් ( ඉතිහාස පොතක හැර ප්‍රබන්ධයක කාලරාමු නොගැලපීම් මා නම් කිසිදා අදාල කරගන්නේ නැහැ ), ආඛ්‍යානමය පොළා පැනීම් ( ඉතාමත් අඩුවෙන් පැවතියත්), වාර්තා ස්වරූපීය ඉතිහාස අන්තර්ගතය ඇතුලත් කිරීම් ( මුල් කොටස් තුල) වැනි දෑ මඟහැරීම ගැන උත්ප්‍රාසාත්මක විශ්මයක් සටහන් කරන්නත් මේ අවස්ථාව කර ගන්නවා.
ආපහු සැරයක්. ස්තූතියි කෞශල්‍ය. මිනිස්සු ගැනත්. මං ගැනත්. ප්‍රබන්ධකලාව ගැනත් හිතන්න පොළඹවන පොතක් ලිව්වට.
No comments:
Post a Comment