Wednesday, October 3, 2012

:: මට වඩා වැඩිමල් මල්ලී ::


 පියවරයන්.
ඒ තැබූ අඩිවලට පියවර යැයි කිව නොහැක. ඒවා බර අඩිය.
ඇතැම් අඩි නිරුවත් පාවලින් තැබිණි. උන් පුරුද්දට පාවහන් නොපැලඳි හෙයින් නොවේ. පාවහන් ගැන වගක් නොවූ හෙයිනි.
ඇතැම් අඩි සෙරෙප්පු වලින් තැබිණි. බොරළුපාරේ ඇවිදීමෙන්. කාස්ටක නියර දිගේ යෑමෙන්. ගඟේ ගල්වලට මැඳීමෙන් මහපටැඟිල්ලත් විළුඹත්  ලඟින් හිල්ව ගිය සෙරෙප්පු වලින් තැනී.
ඇතැම් අඩි ඒ මේ අත ඇදී ගොස් තිබිණි. හිමියාට වාරු නැතිවූ හෙයින්. තවෙකකුට වාරුව ගිය හෙයින්.

වැටිය යුතු කලට වැසි නොවට හෙයින් පොලව කාස්ටකව තිබිණි. එහෙයින්ම සෑම අඩියක් පාසාම දූලි ධාරාවක් නැංගේය.

දුවිලි. ඉහල නැඟුණු සෑම දූවිලි අංශුවක්ම වඩා වැඩි බරකින් පොලවට පාත්විණි. සුසුම් රලකින් සසලව. කඳුළු සුඟකින් පරලව.

සුසුම් හා කඳුළු.
ලංකාවේ හතර දිග්භාගයෙන් ආවුන්ගෙන් ගලා ආයේය.
දින හතරක් පුරා නිදිවැරූ. වතුර හිඳුන ගඟෙන් යට ඇඳුම් පමණක් සේදීමට වරම් ලද. නිදිමත ඉවසිය නොහුනු කල ගඟේ ගල් මතද, වෙලේ දුම්කොල මුල්මතද නිදාගත් උන්ගෙන් ගලා ආයේය.
එමෙන්ම.
දිව රෑ නැතිව අලින්ගෙන් තැලුන. ඉඩෝරයට කාස්ටක වුණ. තෙල්ගමු ඔය පැන හේන් කෙටුව වුන්ගෙන් ගලා ආයේය.
පුම ඉතිරි වෙනසක් නැතිවම.

දූවිලි, සුසුම් හා කඳුළ වලට එපිටින්.
ජානක මල්ලී ගමන් ගත්තේය.
සතියකට පෙර තම අතින් සිටවූ බෝංචි කෝටු පසු කරමින්. හීන් අත්තාට පලා දුන් දර කොටන් පසු කරමින්. මහ ගෙදරට වතුර ගෙන ආ පාරදිගේ ගමන් ගත්තේය.
අප්පච්චී බනිද්දී මඟ හැර ආ පෑල දොරට හොරෙන්. ඉඳ හිට ගෙදර ආ දාක වතුර බඳින කැකුලස්සේ වක්කඩ වලට නොකියාම. දම්මාගේත් නුවන්ගේත් සෝවුරු පෙමට රිදවමින්.
ගමේ හිටි නිහඬම කොල්ලා ගමන් ගත්තේය.


නවනැලියේ දේවතා ගහ හඬද්දී.


ඩෙනිම්, ටී ෂර්ට් හා ගවුම්.සරම්, බැනියම් හා චීත්ත.
දූවිල්ලෙන් වැසී තිබිණි. කඳුලින් පැල්ලම් වැටී තිබිණි. සුසුමින් බරවී තිබිණි.


මාතලන්.

ඩෙනිම්, ටී ෂර්ට් හා ගවුම් හැඳ සිටියවුන්ගේ කරමතින් ගමන් ගත්තේය.
සරම්, බැනියම් හා චීත්ත හැඳ සිටියවුන්ගේ කරමතින් ගමන් ගත්තේය.
නිහඬව. නිසලව.


මිනී පෙට්ටිය.
දෙලොස් දෙනෙකුගේ උරමතින්. තවත් බොහෝ දෙනෙකුගේ අතැඟිලි හා ස්පර්ශ වෙමින්. ජානක මල්ලීද මාතලන්ද රැගෙන ගියේය. එකවර. එකම සිරුරක.

වල.
සොහොනේ කොනක කපා තිබිණි. මයිල ගහකට ටිකක් මෑතින්.
වල හරහා.
කූරටියා පොලු දෙකක් තබා තිබිණි.

පෙට්ටිය.
පොලු මත තැබිණි. අගුල් ලෙහිණි.

*********************************************************************************
ජානක මල්ලී.
කළු ඇඳුමක් හැඳ වැතිර සිටියේය. මිනී වලකට උඩින්. වයස විසිහතරේදී. තමාට වඩා වැඩිමල් උන් බොහෝ ජීවත්ව සිටියදී.  උන් සැවොම හඬවමින්.

මාතලන්.
නිහඬව සිටියේය. වෙනදා තිබූ ජවය සඟවාන. නිකටෙහි වැවුණු රැවුල එලෙසම තබාගෙන. නළලෙහි පැලැස්තරයක් ඇතිව.

ජානක මල්ලී.
දුහුවිල්ලෙන් නැහැවී සිටියේය. බොරළු පාරෙන් ගමට විත් ඒ බොරැල්ලේම වැලලෙන්ට රිසිව.

මාතලන්.
දෑත් එක්කොටගෙන සිටියේය. තම මෙහෙය නිම නොකොටම.




ජානක මල්ලී.
මාතලන්ව මිය ගියේය.

පිපාසව. මහමඟ. අනුන් වෙනුවෙන්.  තමන් අතහැර ලීය.

මිනිසෙක්ව මිය ගියේය. මිනිස් වූ වුන් තිරිසන් වෙමින් සිටිද්දී.
ප්‍රොමිතියස්ව මියගියේය. සිය ලිපෙහි ගිනි ගෙන තව ලිප් දහසක් මොලවන්ට පතද්දී .
වීරිය වඩද්දී මියගියේය. පසේ බුදුවී බැබලෙන්ට තියෙද්දී.
ආදරය කරද්දී මිය ගියේය. සුවහසක් උන් වෛර වඩද්දී.
විරුවෙක්ව මිය ගියේය. මහා විරුවන් දියාරුව යද්දී.

**********************************************************************************
පෙට්ටිය. වැසිණි.
පොලු මතින් ලණුවලට මාරුවිණි. අනතුරුව වලට.

පස්.
පෙට්ටිය වටා පිරිණි. ආදරයෙන්. ගෞරවයෙන්.

මාතලන්.
තමා ඇදහූ ලෝකය තනන්නට යද්දී මිය ගියේය.  ලෝකයක් දිනවන්නට යද්දී. තනිව දිනන්නට සුවහසක් ලෙහෙසි මං තියෙද්දී. මිනිසුන්ට ආදරය කරමින් මිය ගියේය. තමන් අමතක කොට සිටිද්දී මිය ගියේය.


පිපාසව. මහමඟ. අනුන් වෙනුවෙන්.  තමන් අතහැර ලීය.

7 comments:

  1. මට ආණ්ඩුවේ මර්ධනය මතක් වුනා.

    මා අසාධාරණ නම් කමා කරත්වා.

    දක්ෂයි අකුරු කිරිල්ල.. ජය !

    ReplyDelete
  2. මාරම දක්ෂ ලියන්නෙක්..ජය!

    ReplyDelete
  3. සිසිත, ජනක විරු සොහොයුරු දෙපලට
    නිවන් පතන්නට හිත දෙන්නෑ මට
    උඹලා සෙවු ලොව බිහිවූ දවසට
    පැතුමක් තබනෙමි යළි උපදින්නට

    සමහර විට පොඩි අතිශෝක්ති ඇති මේකෙ... ඒත් ජීවිතයකට වඩා වටින දෙයක් කොයින්ද? ජීවිතේ වටිනාකම මතුකරන්න අතිශෝක්තියක් ලියවුනාම මක් වෙනවද?

    ReplyDelete
  4. ස්තූතියි සෑම්. ස්තූතියි හිරුහිමා.
    මගේ ලියවිල්ල එදා ඇවිස්සුණු දූවිල්ලෙ තිබුණ මිනිරන් කුඩක් තරම්වත් වටින්නෙ නෑ මේ මනුස්සය එක්ක බලද්දි. ප්‍රතිපත්තියක් වෙනුවෙන් හැමදේම අතෑරියා. හරියට පාරමිතාවක් පුරනවා වගේ.

    තිසර. හැම සිද්ධියක්ම ඇත්ත. මං මගේ වචනවලින් අතිශයෝක්තියට නැංගුවා ඇරෙන්න. ස්තූතියි තේරුම් ගත්තාට.

    ReplyDelete
  5. සුපිරි ලියවිල්ලක් මචන්

    මාතලන් හා අනිත් සොයුරාට නැවටහ් මෙවන් අකල් වියෝවන් සිදු නොවේවා

    ReplyDelete