අළුත් නැන්දා හරිම දස්සයි
පිඟානම බත් කවනවා
එයා ඇඳුමක් ගන්න ගානට
මටත් ගවුමක් ලැබෙනවා
තාත්තට දැං රෑට වැඩ නෑ
කලින් ගෙදරට ඇදෙනවා
හරිම පුදුමයි පරණ සුදු කෙස්
එක සැරේ කළු ගැහෙනවා
වගේ වග නෑ අපේ නංගිට
නැන්දා තුරුලේ දැපෙනවා
ඒත් අම්මේ රෑට මට නම්
හුඟක් හීතල දැනෙනවා
රාක්කෙට වැඩිවුණ පොටෝවක්
මගේ කාමරෙ තියෙනවා
අනේ අම්මේ රෑට හීනෙන්
නුඹෙ රූපෙ පණ ගන්නවා