Monday, January 6, 2014
:: සුදු සහ නිල් ::
සුදු මල්. පාර දෙපස සිටුවා තිබූ වතුසුදු ගස්හි පිරී තිබිණි.
නිල් මල්. වැසී ගිය කාණු අස්සෙන් මතුව ආ කටරොල් වැල් මත එල්ලී තිබිණි.
සුදු කාරය. අතුරු පාරෙන් විත් ඉදිරියට හැරවීමට යත්න දරද්දීම නතරවිය. නිල් කාරයෙහි මඟ අවුරමින්. තිරිංගයන්හි ඵලයක් ලෙස. තදින් පෑගුණු පැඩලයකට යාවුණු.
නිල් කාරය. ප්‍රධාන පාර මැද්දෙන් නතර විණි. එවැනිම යාන්ත්රණයකින් තදවුණ තිරිංගයන් හේතුවෙන්. සුදු කාරය පිටුපසට යනතුරු ඉදිරියට යා නොහී. රියැදුරු අසුන මත මා දරාගෙනම.
මම. එ'දවස ඇය ගෙනැවිත් හැරලූ පාරෙහි උන්නෙමි. වසර පහකුත් මාස හතරයි දින දහතුනකට පසු. සුදු රැවුල් කොට කප්පාදු නොකරම. සමුගන්නාදා වැදුණු කර්කෂ වදන් පොහොරින් වැවුණු.
සුදු සහ නිල් කාරයන්. මඟ අවුරාන නතරව සිටියෝය. ඉදිරියෙන්ද පසුපසින්ද වමෙන්ද එන අයට.
ඇය. කාලි දෙවඟනව රියෙන් බැස්සාය. මට ශිව වන්නට නොහැකි විය.
මම. අන්ධභූතව බිමට බටුයෙමි. ගැලවූ සපත්තුව කාරයේ තිබෙද්දීම.
කාලිය. ඒ උසින්ම මඳක් මහත්ව සිටියාය. මා දැක පසුබෑවාය. ආරූඨය අත් හැරියාය. නෙතෙහි පමණක් ශේෂව.
සුළඟ. අප වටකොට හැමුයේය. පෙර මතක සුවඳ ගෙන.
මතක. ඇගේ කම්මුල් රතු කලේය. ස්වාසනාලයෙන් ගොස් කේශ නාලිකාවල නතරව.
කම්මුල්. මඳක් පිරී තිබිණි. මගේ ලවනත ගැටෙද්දීට වඩා.
හදවත්. තවමත් කොඳුරමින් සිටියෝය. එදවස මෙන්ම. වදනකුදු නොදොඩා.
මම. ඒ ස්නේහය විඳිමින් සිටියෙමි. දින එකදහස් නවසිය හැට දෙකකට පසුත්.
දකුණෙන්. කටරොල් මලක් වූයේය. ඇගේ මඟහැරි බැල්ම විඳිමින්.
ඇය. තැවෙමින් සිටියාය. උඩඟුවද අඩුවක් නැතිවම. ප්‍රේමයෙහි වගක්වත් නොපෙන්වා. සෙල් මුවා පිළිමයක්ව.
මම. ඇය දැන සිටියෙමි. එහෙයින් දනිමි. ඇය විඳ ඇත්තෙමි. එහෙයින් දනිමි. ඇය දරා ගත්තෙමි. එහෙයින් දනිමි. පෙම. රිටිගල කන්ද මෙන් ශේෂව පවත්නේය.
දෙපා. එ'පෙම දරාගත නොහී ඇයට වද දෙන්නේය.
අවසන. ඈ හිස එසෙව්වාය. ගෙල අංශක විසි තුන හමාරක් වමටද, නිකට අංශක නවයක් උඩටද හරවමින්.
කඳුළු. ගලා හැලුනේ නැත. නෙත් කෙවෙනි පිරවූවා පමණි. ඇගේ ප්‍රේමය මෙන්ම.
පසුතැවුම. ඇයට යුතු නැත. නික්මෙන්ට පෙර පෙම් කල හෙයින්ම.
මම. ඇය සනසාලන්නෙමි.
මේස්. දෙකකුල් දරාගෙන ඉදිරිමං බැලුවෝය. නොහැඬිය යුතු බව කියන්නට. තරහ නැති බව කියන්නට. ඇවැසි නම්. ප්‍රේමයම පතන්නට.
අප. ලංව සිටියෙමු. එදවස මෙන්ම. ඇගේ ප්රාශ්වාසය මාද මගේ ප්රාශ්වාසය ඇයද ආශ්වාස කරමින්. දිගු කලකට පසු දිගු වැලඳගැන්මක් රිසිව.
මම. දෙඅත් දෙපසට විහිදාලීමි. සෙනෙහසින්.
ඇය. උරිස් හැකිලුවාය. පැනසරින්.
අනතුරුව. හඩ අවදිකලාය.
" මං රිවස් කරන්න දන්නෙ නෑ......!"
නලා.
ඉදිරිපසින්ද, පසුපසින්ද, වමෙන්ද වූ වාහන වලට සවි වී මහ හඬ නඟමින් සිටියෝය.
Subscribe to:
Post Comments (Atom)
හයියෝ කවද්ද උනේ ඕක.. රක්ෂන දිව්‍ය පුත්‍රයා අවේ නැතෙයි?
ReplyDeleteමොන රක්ෂණද ? විලි ලැජ්ජා දෙව්දුව නම් වැඩියා :)
Deleteපිරිමි ඉන්න මේ ලස්සන ලෝකේ , ගෑණු අපි මොකට රිවස් එක ඉගෙන ගන්නව ද කියලා ලර්නස් යද්දි මටත් හිතුනා....
ReplyDeleteඕකනෙ කේස් එක. ඉතිං අපි එපැයි ඇක්සිඩන්ට් වෙන්න.
Delete//පසුතැවුම. ඇයට යුතු නැත. නික්මෙන්ට පෙර පෙම් කල හෙයින්ම.//
ReplyDeleteමේ කොටස තමයි වැඩියෙන්ම සිත්ගත්තේ....
මේ අවස්ථාව සමග පසු පසින් දිවයන කතාව ගලපලා තියන හැටි අගෙයි. ඒ වගේම මම රිවස් කරන්න දන්නෙ නෑ කියන තැන දෙන ක්ලයිමැක්ස් එකත් නියමයි. මමත් මේ වගේම අදහසක් ගැබ් වෙච්ච කතාවක් කාලෙකට කලින් ලිව්ව (බ්ලොග් එකේ නෙවෙයි ). මේක කියෙව්වහම හිතුණා ඒකත් දාන්න ඕනේ කියලා.
ගැහැණු අය කොහොමත් ඉදිරියට යන්න දක්ෂයි. රිවස් කරනවා අඩුයි. සමහරවිට ඒක කාන්තාවන්ට සුවිශේෂී ගුණයක් වෙන්න ඇති. http://bassigenawathana.blogspot.com.au/2014/01/blog-post.html මෙන්න මෙතනත් ඔය ගැන කියලා තියනවා.
සුදු සහ නිල් වලට වෙන අරුතක් තියනවා නම් ඒක මට වැටහුණේ නෑ.. ඒ වගේම දවස් 1902 සහ අවුරුදු 5, මාස 4, දවස් 13 සමාන නෑ... මේ ගණනයන් එකම දවසේ ඉඳලද කියන එක නම් හරියටම පැහැදිලි නෑ.
හැමදාම වගේ. බොහොම ස්තූතියි තිසර. ඔබේ හැම කමෙන්ටුවකින්ම යලි යලිත් ලිවීමට පොලඹවනවා.
Deleteදින පිලිබඳව ඔබේ සටහන නිවැරදියි. එය දින 1962 ( 365*5 + 2 + 31*2 + 30*2 + 13 ) විය යුතුයි. මගේ අතින් 'හැට' මඟ හැරිලා. එය නිවැරදි කරන්නම්.
සුදු නිල් වර්ණ යොදාගැනීමෙන් අර්ථයක් සිතුවේ නැහැ නමුත් සුදු මල් මඟින් ඒ මාවතේම මලගිය ප්‍රේමයකුත්, නිල් කටරොල් මඟින් සැඟව ඇති ආශාවනුත් සංකේතවත් කරන්නට උත්සාහ ගත්තා.