Tuesday, July 3, 2012

:: මල් සහ තේ ::


චතුරංග. සිය සිරුරේ වූ සියළු අංග අතුරින් දකුණතෙහි මුදුගිල්ල හා උරණව සිටියේය.

සියල්ල සත්‍යයය.
මෝස්තරය. තමා එකඟ වූවකි.
ප්‍රමාණය. දෙවරක්ම මැන්නායින් පසුව හෝ තමාට ගැලපෙන්නට සැකසූවකි.
මුලින්ම අත්තිකාරම්ද පසුව මුළු මුදලද ගෙවූයේ තමන්මය.

එහෙයින් මුද්ද හා උරණ වී පලක් නැත. උරණ විය යුත්තේ ඇඟිල්ල සමඟය.
ඇඟිල්ල. නොතිබුණා නම් අද මුද්ද පැලඳීමට සිදු නොවන්නනේය.

**********************************************
අටපෙතියා මල. රතු සහ කළු පැහැයෙන් සැරසී බස් නැවතුමෙහි සිටියාය.
නොඉවසිල්ලෙන්. තනිවම දොඩවමින්. බිම් බලාගෙන. වටපිට ඇහැ යවමින්.

කළු. ඇගේ වත කළු නොවිය යුතුය.
චතුරංග. වහා මුද්ද ඇඟිල්ලෙන් ගැලවීය. වම්පස සාක්කුව හිල් නොවී ඇති බව ඇඟිලිවලින් ඇන පසක් කරගත්තේය. ගැලවූ මුද්ද එහි ලූයේය. මුද්ද නැති දකුණත ඇයට පෑවේය.

අටපෙතියා මල. මඳ ගැස්මක් සමඟ ඔහු පෑ අතෙහි එල්ලුණාය.

අනතුරුව.
ඔවුහු දවස මුලුල්ලේ විශ්වය පුරා පාවෙමින් සිටියෝය.
වරෙක ඇන්ඩ්‍රොමීඩාවට ගියහ. ඔරායන්ගේ බඳ පටියේ එල්ලී සීසෝ පැද්දෝය. දිවා ආහාරය රන්මසු උයනෙහි හිඳ වැලඳූහ. හරියටම සවස පහට බස් රියක අසුන් ගත්තෝය.

චතුරංග.
වමතින් සිය සාක්කුවෙහි වූ මුද්ද ගත්තේය. දකුණත ඇගෙන් මුදා ගත්තේය. මුද්ද ඇගේ දකුණතෙහි ගුලි කලේය. තමා උරණව සිටි ඇඟිල්ල ඈ වෙත දිගු කලේය.

“දාන්න...!“

***********************************************
“ කෝ...! ඔය මුද්ද ගලවලා දෙන්න....!“
තේ කෝප්පය. ස්නානය අහවරව ආ චතුරංග වෙත සිය අත පෑවාය.

“ කමක් නෑ..! ඒක ඔහේ ඇඟිල්ලෙම තිබිච්චදෙන්...! ගලවන්නයි දාන්නයි ගියාම වදේ...!“

|| උත්තේජනය: “ඇගෙ සිනහව තහනම්“ - Kanchana Karunamuni ||

No comments:

Post a Comment