සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් පාඨකයා වෙත සමීප කරවමිනි. ඔහුගේ පෙර නිර්මාණවල පැවති ආකර්ෂණීය, සෞන්දර්යාත්මක සහ රිද්මය මුසු ප්‍රවේශය වෙනුවට, මෙවර ඔහු අප වෙත ගෙන එන්නේ විකාරරූපී වූත්, අනන්‍ය වීමට අපහසු වූත්, කැඩී බිඳී විසුරුණු හිතුවක්කාර කවි සහ රචනා එකතුවකි.
එබැවින් අපට මෙම කෘතිය භාරගැනීමට සිදුවන්නේ 'කවි පොතක්' යැයි කියැවෙන සම්ප්‍රදායික අර්ථයෙන් නොවේ. තමන්ගේ සියලුම හැඟීම් සහ අදහස් කවියකින් පමණක් ගොනු කර, ලිහා දක්වන්නට කවියාට නොහැකි වන අවස්ථාවක ඔහු ඒ හිඩැස පුරවන්නේ වෙනත් දෙඩවීමක් හෝ අතරමැද එකතු වන ගද්‍යමය ඡේදයක් ලෙසිනි. මෙම කෘතිය පරිපූර්ණ ප්‍රකාශනයක් බවට පත්වන්නේ ඒ සියල්ලේම සුසංයෝගයෙනි. එමනිසා අප කියවන බොහෝ කවි පොත් මෙන් කවියෙන් කවිය ගෙන කියවීම හෝ ‘එක හුස්මට කියවීම’, ධූමලාවණ්‍යාගාරයේ අපේක්ෂාව නොවන බව අප වටහාගත යුතුය.
මේ කෘතිය පිදෙන්නේ ‘ආහ්ලාදයට’ ය. කතුවරයා සිය පොත පුදන ‘ආහ්ලාදයෙහි’ නිර්වචනය අපට මුණගැසෙන්නේ එතැනින් එහාට ඔහු ලියා අතුරන වියමනෙනි. ඒ ලියැවිල්ලෙහි පැනෙන ‘ආහ්ලාදය’, කිසිසේත්ම සුඛසංවේදනයක් නොවේ.
පිදුමෙන් පසුව එන 'සංදීපනය' නම් කොටසෙහි ලා බන්දුජීව ලියන්නේ සිය කෘතියෙහි සාරයයි. හපන්කම්, පුරසාරම්, විශ්වාසයන්, අතහැරීම්, රැවටීම් සහ අපේක්ෂාභංගත්වයන් හරහා ගලා යන පැවැත්මේ දරාගත නොහෙන චංචලභාවයයි. ඉන්පසු අපට හමුවන 'සුරාසල් කවි' නම් නිර්මාණයෙහි එන එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති සිව්පද කිහිපය, බාහිරින් මත්වීම ඒ චංචල පැවැත්මෙන් පලා යෑමට උදව්වක් වුවත්, ඒ පලා යෑමේ විකාරරූපී ස්වභාවය කොතෙක්දැයි පෙන්වා දෙයි. එතැන් සිට රචනාවන් පෙළගස්වා ඇත්තේ, ඒ විකාරරූපී ජීවිත පැවැත්ම සමාජ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අප මත පැටවී ඇති අපිළිවෙළ ස්වභාවය, විවිධ අනුභූතීන්ගෙන් ගෙන අපිළිවෙළටම ලියා තබමිනි.
මැදදී යළිත් කවිය වෙනුවට ගැදියක් අප ඉදිරියට ගෙනෙන බන්දුජීව, සංදීපනයෙහි ලා දෙබසක සටහන් කරන 'නරි' නම් රූපකය වඩාත් ප්‍රබල කොට ගෙන එන්නේය. සොහොන් හාරාගත් මිනීමස් ඇමට දී නරි දඩයමේ යන්නේ මුලින් නරි ගැන සඳහන් කරන, ටැක්සිවල යන ‘නීලම්මහර ඇස්කි’ ය. ඇස්කි අතේ කඩුවක් තියෙද්දී, ඔහුට උදව්වට කිතුල් පොල්ලක් ගෙන නරි මැදට පැන මැරුම් කන්නේ ‘සොහොන් හාරන රූපෙ’ ය.
අසාර්ථක නරි දඩයමක විස්තරයට පසුව එන කවියේදී කවියා මෙසේ ලියයි.
“දුෂ්කර බැඳුම් පාසුයි - මේ බැඳුම් අපාසුයි
ගංගා වැනුම් පාසුයි - ගලන එක අපාසුයි”
අසාර්ථක වීරත්වයෙන් දෙකඩ කෙරුණු මේ පොතෙහි ඉන්පසු අපට මුණගැසෙන්නේ ‘මත් වූ’ කවි නොවන්නේය. ඒ වෙනුවට කතුවරයා ගෙන එන කවි තුළ ඇත්තේ, තවදුරටත් විරුද්ධ විය නොහෙන ස්ථාපිත දුෂ්ටත්වයන් විසින් අප ආත්මයන් පාලනය කරන්නා වූ කුරිරු පැවැත්මට කැමැත්තෙන් බිලිවීමේ ඛේදයයි. එය උච්චාවස්ථාවට පත් කරමින් කවියා මෙසේ ලියයි.
“ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා”
චාල්ස් බෝද්ලෙයාර් (Charles Baudelaire) සිය 'Be Drunk' නම් ගද්‍ය කාව්‍යයේ පැවසූ ආකාරයට, අප මේ ගත කරන්නේ කාලයේ ප්‍රවාහය විසින් අපගේ කොඳු කඩා, දණින් වට්ටවා ඇත්තා වූ කෲර ජීවිතයකි. බෝද්ලෙයාර්ගේ යෝජනාව වූයේ, කාලයේ වහලෙකු නොවී කුමන හෝ දෙයකින් මත් වන ලෙසයි. වයින්වලින්, කවියෙන් හෝ ගුණයෙන් (virtue) මත්ව, උමතු ලෙස හැසිරීමෙන් පමණක්ම මේ කාල වංකගිරියෙන් ගැලවිය හැකි වෙතැයි බෝද්ලෙයාර් පැවසුවේය.
එම දාර්ශනික කියවීමට එකවිට එකඟවෙමින් හා එරෙහිව යමින්, පැවැත්මේ කංසාමය මත්බව 'ධූමලාවණ්‍යාගාරය' තුළ බහා අප ඉදිරියේ තබන රුවන් බන්දුජීව අපට යෝජනා කරන්නේ; මත්ව ගිය, විකල්ව ගිය මිනිස් පැවැත්ම පිළිබඳව කෙරෙන මේ විකාරරූපී, රූපකමය වියමන පූර්ණ සිහියෙන් යුතුව විඳගන්නා ලෙසයි.
- අනිල් හේරත්