මො.ල. සෙනෙවිරත්න විසින් රචිත 'සිපීර්', ප්‍රබන්ධය සහ වාර්තාකරණය අතර දෝලනය වන, ගද්‍ය කාව්‍යමය ආකෘතියක් ගත් කෘතියකි. මෙම කෘතිය හඳුන්වා දෙනු ලබන්නේ 'ස්ක්‍රැපිස්වාදී' (Scrapism) ශානරයට අයත් නිර්මාණයක් ලෙසය.
මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇති 'ඔපියුම් සාමූහිකය' විසින් ස්ක්‍රැපිස්වාදය අර්ථ දක්වන්නේ, "විසිරුණු කොටස් හෝ කැබලි එක්තැන් කිරීමෙන් කතන්දර කීමේ කලාව" වශයෙනි. මෙම අදහස වඩාත් අර්ථවත් වන්නේ සෑම් ලැවීග් (Sam Lavigne) ගේ නිර්වචනයත් සමඟය. ඔහුට අනුව, "ස්ක්‍රැපිස්වාදය යනු අන්තර්ජාල දත්ත අතරින් කලාත්මක, හැඟීම්බර සහ විවේචනාත්මක දත්ත තෝරා, තොරතුරු එක්රැස් කිරීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලියයි."
උක්ත නිර්වචනයට සාධාරණයක් ඉටු කරමින් ලියැවෙන 'සිපීර්' යනු, හුදෙක් විසිරුණු කොටස් කිහිපයක එකතුවක් නොව; කලාත්මක වටිනාකමකින්, තීව්‍ර හැඟීම් සමුදායකින් සහ ගැඹුරු සමාජ කියවීමකින් යුතුව තෝරාගත් කොටස් මඟින් ගොඩනැඟූ සාහිත්‍යමය ප්‍රවේශයකි. කතුවරයා විසින් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කියවන්නා වෙත ගෙන එන අත්දැකීම්, තෝරාබේරාගත් හැඟීම් සමුදායක දවටා ඉදිරිපත් කරයි. සෑම පරිච්ඡේදයක්ම අවසානයේ එන වාක්‍යයක් හෝ දෙකක් මඟින් ඔහු ප්‍රබල සමාජ විවේචනයක් ස්ථාපිත කරයි. එය බොහෝ විට කියවන්නාට තමා දෙසම, එනම් තමාගේම පැවැත්ම දෙසම හැරී බැලීමට විවර කළ කවුළුවකි.
ඉතා කෙටි වාක්‍යවලින් යුතුව, විටෙක තියුණුවත් විටෙක ලයාන්විතවත් ගලා යන රිද්මයකින් යුතු බසකින් ලියැවී ඇති මෙම කෘතියේ ඇතැම් තැනකදී ලියමන 'ඉද්ද ගැසුවාක් මෙන්' නතර වෙයි. ඒ, අන්තර්ගතයෙන් කියැවෙන අත්දැකීමේ බර කියවන්නා මත පටවමිනි.
සිරගෙයක අත්දැකීම් මූලික කරගනිමින් ලියැවුණද, මේ කෘතිය පුරා කියැවෙන පොලීසියේ, අධිකරණයේ සහ බන්ධනාගාරයේ ස්ථාපිත, ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන මානුෂීය ක්‍රියාපටිපාටීන් මෙන්ම, ඊට මැදි වන ගැහැනුන්ගේ හා පිරිමින්ගේ හැසිරීම් සහ මනෝභාවයන් විසින් සිරකරුවන් පමණක් නොව, සමස්ත මනුෂ්‍ය පැවැත්මම කියවීමට සහ ප්‍රශ්න කිරීමට ඉඩහසර පාදා දෙයි. ඒ නිසාම වෙනත් අර්ථයකින් ගත් කල 'සිපීර්' යනු, අපගේ සිරගත සමාජ පැවැත්මෙහි පවතින මනෝභාවයන් කියවා ගැනීම සඳහා කෙරුණු රූපකමය ගොඩනැංවීමකි.
චරිතනාමකරණයක් නොමැති මේ කෘතියෙහි කියවන්නාට හමුවන්නේ මිනිසුන් පමණි. මෙහි වීරයන් ඇත්තේම නැත. වීරයකුගේ මාත්‍රයක් හෝ පෙන්වන තැනකදී වුව, අවිශ්වාසයේ සෙවනැල්ල ඒ මත පතිත කරවීමට කතුවරයා වගබලාගෙන ඇත. වීරයන් නැති වුවද දුෂ්ටයන් ඇත. ඒ නිසාම වින්දිතයන්ද ඇත. ඇතැම් තැනක වින්දිතයන් වන්නේ දුෂ්ටයන් ය. එක් තැනක වින්දිතයන් වන අය වෙනත් තැනකදී දුෂ්ටයන් බවට පත්වෙයි. සිරගෙවලින් පිටතද ඒ ස්වභාවය එලෙසම පවත්නා බව යළි යළිත් අපට සිහිවේ.
මොන තරම් සුදු පිරුවට අන්දවා උත්කර්ෂයට නැංවීමට උත්සාහ දැරුවද; රාජ්‍ය යාන්ත්‍රණය තුළ වේවා, විප්ලවවාදී ව්‍යාපාර තුළ වේවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හෝ සොරුන් මංකොල්ලකරුවන් වේවා; මනුෂ්‍ය පැවැත්ම යනු කෲර මනෝභාවයනුත්, සුළු හෝ බලයක් ලද විගස අනෙකා මත බලහත්කාරය පැටවීමේ ආශාවත් ආත්මය කොටගත්තක් බව 'ලියා - ලිහා' දෙන ‘සිපීර්’, අවසානයේ අපව භාවමය වංකගිරියක සිර කරන්නේ ප්‍රශ්න දෙකක් ඉතිරි කරමිනි.
ඒ, “සංස්ථාපිත ව්‍යූහයන් තුළ ‘නොදැමුණු - නොදියුණු’ මිනිසුන් ලෙස යුක්තිය හා සාධාරණත්වය සෙවීම තවදුරටත් ඵලදායකද?” යන්න සහ “අප පෙනී සිටින – පෙන්වා සිටින මනුෂ්‍යත්වය වෙනුවෙන් අප මොන තරම් අවංකද?” යන ගැටලු දෙකයි.
