Thursday, March 5, 2026

:: සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ 'ධූමලාවණ්‍යාගාරය' ::

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට වඩා හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් පාඨකයා වෙත සමීප කරවමිනි. ඔහුගේ පෙර නිර්මාණවල පැවති ආකර්ෂණීය, සෞන්දර්යාත්මක සහ රිද්මය මුසු ප්‍රවේශය වෙනුවට, මෙවර ඔහු අප වෙත ගෙන එන්නේ විකාරරූපී වූත්, අනන්‍ය වීමට අපහසු වූත්, කැඩී බිඳී විසුරුණු හිතුවක්කාර කවි සහ රචනා එකතුවකි.

එබැවින් අපට මෙම කෘතිය භාරගැනීමට සිදුවන්නේ 'කවි පොතක්' යැයි කියැවෙන සම්ප්‍රදායික අර්ථයෙන් නොවේ. තමන්ගේ සියලුම හැඟීම් සහ අදහස් කවියකින් පමණක් ගොනු කර, ලිහා දක්වන්නට කවියාට නොහැකි වන අවස්ථාවක ඔහු ඒ හිඩැස පුරවන්නේ වෙනත් දෙඩවීමක් හෝ අතරමැද එකතු වන ගද්‍යමය ඡේදයක් ලෙසිනි. මෙම කෘතිය පරිපූර්ණ ප්‍රකාශනයක් බවට පත්වන්නේ ඒ සියල්ලේම සුසංයෝගයෙනි. එමනිසා අප කියවන බොහෝ කවි පොත් මෙන් කවියෙන් කවිය ගෙන කියවීම හෝ ‘එක හුස්මට කියවීම’, ධූමලාවණ්‍යාගාරයේ අපේක්ෂාව නොවන බව අප වටහාගත යුතුය.

මේ කෘතිය පිදෙන්නේ ‘ආහ්ලාදයට’ ය. කතුවරයා සිය පොත පුදන ‘ආහ්ලාදයෙහි’ නිර්වචනය අපට මුණගැසෙන්නේ එතැනින් එහාට ඔහු ලියා අතුරන වියමනෙනි. ඒ ලියැවිල්ලෙහි පැනෙන ‘ආහ්ලාදය’, කිසිසේත්ම සුඛසංවේදනයක් නොවේ. 

පිදුමෙන් පසුව එන 'සංදීපනය' නම් කොටසෙහි ලා බන්දුජීව ලියන්නේ සිය කෘතියෙහි සාරයයි. හපන්කම්, පුරසාරම්, විශ්වාසයන්, අතහැරීම්, රැවටීම් සහ අපේක්ෂාභංගත්වයන් හරහා ගලා යන පැවැත්මේ දරාගත නොහෙන චංචලභාවයයි. ඉන්පසු අපට හමුවන 'සුරාසල් කවි' නම් නිර්මාණයෙහි එන එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති සිව්පද කිහිපය, බාහිරින් මත්වීම ඒ චංචල පැවැත්මෙන් පලා යෑමට උදව්වක් වුවත්, ඒ පලා යෑමේ විකාරරූපී ස්වභාවය කොතෙක්දැයි පෙන්වා දෙයි. එතැන් සිට රචනාවන් පෙළගස්වා ඇත්තේ, ඒ විකාරරූපී ජීවිත පැවැත්ම සමාජ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අප මත පැටවී ඇති අපිළිවෙළ ස්වභාවය, විවිධ අනුභූතීන්ගෙන් ගෙන අපිළිවෙළටම ලියා තබමිනි.


මැදදී යළිත් කවිය වෙනුවට ගැදියක් අප ඉදිරියට ගෙනෙන බන්දුජීව, සංදීපනයෙහි ලා දෙබසක සටහන් කරන 'නරි' නම් රූපකය වඩාත් ප්‍රබල කොට ගෙන එන්නේය. සොහොන් හාරාගත් මිනීමස් ඇමට දී නරි දඩයමේ යන්නේ මුලින් නරි ගැන සඳහන් කරන, ටැක්සිවල යන ‘නීලම්මහර ඇස්කි’ ය. ඇස්කි අතේ කඩුවක් තියෙද්දී, ඔහුට උදව්වට කිතුල් පොල්ලක් ගෙන නරි මැදට පැන මැරුම් කන්නේ ‘සොහොන් හාරන රූපෙ’ ය.

අසාර්ථක නරි දඩයමක විස්තරයට පසුව එන කවියේදී කවියා මෙසේ ලියයි.

“දුෂ්කර බැඳුම් පාසුයි - මේ බැඳුම් අපාසුයි 

ගංගා වැනුම් පාසුයි - ගලන එක අපාසුයි” 

අසාර්ථක වීරත්වයෙන් දෙකඩ කෙරුණු මේ පොතෙහි ඉන්පසු අපට මුණගැසෙන්නේ ‘මත් වූ’ කවි නොවන්නේය. ඒ වෙනුවට කතුවරයා ගෙන එන කවි තුළ ඇත්තේ, තවදුරටත් විරුද්ධ විය නොහෙන ස්ථාපිත දුෂ්ටත්වයන් විසින් අප ආත්මයන් පාලනය කරන්නා වූ කුරිරු පැවැත්මට කැමැත්තෙන් බිලිවීමේ ඛේදයයි. එය උච්චාවස්ථාවට පත් කරමින් කවියා මෙසේ ලියයි.

“ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා 

ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා” 

චාල්ස් බෝද්ලෙයාර් (Charles Baudelaire) සිය 'Be Drunk' නම් ගද්‍ය කාව්‍යයේ පැවසූ ආකාරයට, අප මේ ගත කරන්නේ කාලයේ ප්‍රවාහය විසින් අපගේ කොඳු කඩා, දණින් වට්ටවා ඇත්තා වූ කෲර ජීවිතයකි. බෝද්ලෙයාර්ගේ යෝජනාව වූයේ, කාලයේ වහලෙකු නොවී කුමන හෝ දෙයකින් මත් වන ලෙසයි. වයින්වලින්, කවියෙන් හෝ ගුණයෙන් (virtue) මත්ව, උමතු ලෙස හැසිරීමෙන් පමණක්ම මේ කාල වංකගිරියෙන් ගැලවිය හැකි වෙතැයි බෝද්ලෙයාර් පැවසුවේය.

එම දාර්ශනික කියවීමට එකවිට එකඟවෙමින් හා එරෙහිව යමින්, පැවැත්මේ කංසාමය මත්බව 'ධූමලාවණ්‍යාගාරය' තුළ බහා අප ඉදිරියේ තබන රුවන් බන්දුජීව අපට යෝජනා කරන්නේ; මත්ව ගිය, විකල්ව ගිය මිනිස් පැවැත්ම පිළිබඳව කෙරෙන මේ විකාරරූපී, රූපකමය වියමන පූර්ණ සිහියෙන් යුතුව විඳගන්නා ලෙසයි.

- අනිල් හේරත් 

Saturday, February 21, 2026

:: සිපීර්' - මනුෂ්‍යයෝ ද සිරකරුවෝය ::


මො.ල. සෙනෙවිරත්න විසින් රචිත 'සිපීර්', ප්‍රබන්ධය සහ වාර්තාකරණය අතර දෝලනය වන, ගද්‍ය කාව්‍යමය ආකෘතියක් ගත් කෘතියකි. මෙම කෘතිය හඳුන්වා දෙනු ලබන්නේ 'ස්ක්‍රැපිස්වාදී' (Scrapism) ශානරයට අයත් නිර්මාණයක් ලෙසය.


මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇති 'ඔපියුම් සාමූහිකය' විසින් ස්ක්‍රැපිස්වාදය අර්ථ දක්වන්නේ, "විසිරුණු කොටස් හෝ කැබලි එක්තැන් කිරීමෙන් කතන්දර කීමේ කලාව" වශයෙනි. මෙම අදහස වඩාත් අර්ථවත් වන්නේ සෑම් ලැවීග් (Sam Lavigne) ගේ නිර්වචනයත් සමඟය. ඔහුට අනුව, "ස්ක්‍රැපිස්වාදය යනු අන්තර්ජාල දත්ත අතරින් කලාත්මක, හැඟීම්බර සහ විවේචනාත්මක දත්ත තෝරා, තොරතුරු එක්රැස් කිරීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලියයි."

උක්ත නිර්වචනයට සාධාරණයක් ඉටු කරමින් ලියැවෙන 'සිපීර්' යනු, හුදෙක් විසිරුණු කොටස් කිහිපයක එකතුවක් නොව; කලාත්මක වටිනාකමකින්, තීව්‍ර හැඟීම් සමුදායකින් සහ ගැඹුරු සමාජ කියවීමකින් යුතුව තෝරාගත් කොටස් මඟින් ගොඩනැඟූ සාහිත්‍යමය ප්‍රවේශයකි. කතුවරයා විසින් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කියවන්නා වෙත ගෙන එන අත්දැකීම්, තෝරාබේරාගත් හැඟීම් සමුදායක දවටා ඉදිරිපත් කරයි. සෑම පරිච්ඡේදයක්ම අවසානයේ එන වාක්‍යයක් හෝ දෙකක් මඟින් ඔහු ප්‍රබල සමාජ විවේචනයක් ස්ථාපිත කරයි. එය බොහෝ විට කියවන්නාට තමා දෙසම, එනම් තමාගේම පැවැත්ම දෙසම හැරී බැලීමට විවර කළ කවුළුවකි.

ඉතා කෙටි වාක්‍යවලින් යුතුව, විටෙක තියුණුවත් විටෙක ලයාන්විතවත් ගලා යන රිද්මයකින් යුතු බසකින් ලියැවී ඇති මෙම කෘතියේ ඇතැම් තැනකදී ලියමන 'ඉද්ද ගැසුවාක් මෙන්' නතර වෙයි. ඒ, අන්තර්ගතයෙන් කියැවෙන අත්දැකීමේ බර කියවන්නා මත පටවමිනි.

සිරගෙයක අත්දැකීම් මූලික කරගනිමින් ලියැවුණද, මේ කෘතිය පුරා කියැවෙන පොලීසියේ, අධිකරණයේ සහ බන්ධනාගාරයේ ස්ථාපිත, ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන මානුෂීය ක්‍රියාපටිපාටීන් මෙන්ම, ඊට මැදි වන ගැහැනුන්ගේ හා පිරිමින්ගේ හැසිරීම් සහ මනෝභාවයන් විසින් සිරකරුවන් පමණක් නොව, සමස්ත මනුෂ්‍ය පැවැත්මම කියවීමට සහ ප්‍රශ්න කිරීමට ඉඩහසර පාදා දෙයි. ඒ නිසාම වෙනත් අර්ථයකින් ගත් කල 'සිපීර්' යනු, අපගේ සිරගත සමාජ පැවැත්මෙහි පවතින මනෝභාවයන් කියවා ගැනීම සඳහා කෙරුණු රූපකමය ගොඩනැංවීමකි.

චරිතනාමකරණයක් නොමැති මේ කෘතියෙහි කියවන්නාට හමුවන්නේ මිනිසුන් පමණි. මෙහි වීරයන් ඇත්තේම නැත. වීරයකුගේ මාත්‍රයක් හෝ පෙන්වන තැනකදී වුව, අවිශ්වාසයේ සෙවනැල්ල ඒ මත පතිත කරවීමට කතුවරයා වගබලාගෙන ඇත. වීරයන් නැති වුවද දුෂ්ටයන් ඇත. ඒ නිසාම වින්දිතයන්ද ඇත. ඇතැම් තැනක වින්දිතයන් වන්නේ දුෂ්ටයන් ය. එක් තැනක වින්දිතයන් වන අය වෙනත් තැනකදී දුෂ්ටයන් බවට පත්වෙයි. සිරගෙවලින් පිටතද ඒ ස්වභාවය එලෙසම පවත්නා බව යළි යළිත් අපට සිහිවේ.

මොන තරම් සුදු පිරුවට අන්දවා උත්කර්ෂයට නැංවීමට උත්සාහ දැරුවද; රාජ්‍ය යාන්ත්‍රණය තුළ වේවා, විප්ලවවාදී ව්‍යාපාර තුළ වේවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හෝ සොරුන් මංකොල්ලකරුවන් වේවා; මනුෂ්‍ය පැවැත්ම යනු කෲර මනෝභාවයනුත්, සුළු හෝ බලයක් ලද විගස අනෙකා මත බලහත්කාරය පැටවීමේ ආශාවත් ආත්මය කොටගත්තක් බව 'ලියා - ලිහා' දෙන ‘සිපීර්’, අවසානයේ අපව භාවමය වංකගිරියක සිර කරන්නේ ප්‍රශ්න දෙකක් ඉතිරි කරමිනි.

ඒ, “සංස්ථාපිත ව්‍යූහයන් තුළ ‘නොදැමුණු - නොදියුණු’ මිනිසුන් ලෙස යුක්තිය හා සාධාරණත්වය සෙවීම තවදුරටත් ඵලදායකද?” යන්න සහ “අප පෙනී සිටින – පෙන්වා සිටින මනුෂ්‍යත්වය වෙනුවෙන් අප මොන තරම් අවංකද?” යන ගැටලු දෙකයි.