Thursday, December 13, 2012

::කෝච්චි හා ස්වයංවරය::











සිල්පර. සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් නොවුණද, දැවමය වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. කාලයක් තිස්සේම දිරා ගියා වුවද මසටම කාවැදී තිබුණු ඇණද ලී සිල්පර අත නොහැර එල්ලීගෙනම සිටියෝය. කෝච්චියක් යන වාරයක් පාසා ඇදෙමින්, තැලෙමින් යලි නිසොල්මන් වෙමින්.
කෝච්චිය. ඒ වන විටත් විනාඩි තුන හමාරක් ප්‍රමාදව තිබිණි.
මම. දුරකථනය අතට ගෙන ඇගේ අංකවලින් එකකට ඇමතීමි.

“ කොහෙද ඉන්නේ...?“

“තාම මඟ....!“

“මොකක්ද අනේ ...! දැන් මඟුල් ඇතත් සරසලා ඉවරයි...! තව ටිකකින් පටන් ගනියි...!“

“ඉස්සරහ හන්දියෙ කිඹුලෙක් හැප්පිලා...! එතනින් එහාට බස් එන්නෙ නෑ“

“ඉතිං දැං ඔයා මොකේද එන්න යන්නේ...!“

“කෝච්චියෙ...“

“කෝ....ච්...චි...යේ...?“

“ඔව්...! එතකොට ඉක්මනට එන්න පුළුවන්“

“ අනේ .... මං කෝච්චිවලට බයයි....! කෝච්චි වල එන කුමාරයන්ටත් බයයි...! දිගට දිගේ.....! ඩකස් ඩොකස් ගාගෙන....“

“ඉතිං එහෙම වුණොත් මට වෙලාවට එන්න බැරි වෙයි...!“

“ කමක් නැහැ. කොහොම වුණත් මං ඔයාගෙනෙ....! අනේ කෝච්චියෙ නම් එන්න එපා හරිද.....?“

**********************************************
බසය. කිඹුල් මළකුණ මඟහැර ගමන් කල හෙයින් ගමනට අවුරුදු එකහමාරක් ගතවී තිබිණි.
මාලිගාව ඉදිරිපස. කුලියට දීමට තිබේ යනුවෙන් ලියූ පුවරුවක් විණි. අළුත් තීන්තෙන්. පැරණි ලෑල්ලක.
මිනිස්සු. කිසිවෙක් කොහේවත් නොසිටියහ.
මම. ආපසු යන දුම්රියට නැඟුණෙමි.
***********************************************
හරස් ගේට්ටුව. දුම්රියට පමණක් ඉඩ දෙමින් වාහන වලට එදිරිව අවලම්බනය වෙමින් සිටියේය.
සුදු පැහැති සැප රිය. වාහන පෙලෙහි තුන්වෙනුවට තිබිණි. රෝද නැවතී. එන්ජිම ක්‍රියාත්මකව.
ඇය. සැප රිය තුලට වී කෑ ගසමින් උන්නාය. විසල් කොටගත් නෙත් තදින් වසාගෙන. දෝතින්ම දෙසවන් බදාගෙන.

ස්වයංවරය. කලකට පෙර අවසන්ව තිබිණි.

Wednesday, December 5, 2012

:: ශෝක ප්‍රකාශය ::


කවි වුවද ප්‍රාග්ධනයෙන් මිදී නැත
ප්‍රත්‍යක්ෂයෙන් නොදැනේ නම්
වෙළඳපොල අගයක් නැත

සේකර....
ඔබ යලිත් නිවැරදිය

මිහිරි වෙණ වැයුම් නොව
පපර බයිලාම ඇවැසිය
ගේය කව් පද නොව
වෙළඳ වැකි රසැතිය

කවියන් අගුලු ලා ඇත
ලියන්නන් විරු කොට
කවිපිටු වැසී ඇත
කොමුපිලි සටනකට