Tuesday, August 21, 2012

:: සත් මරණ ::















මම.  ඇගේ නලලට හාද්දක් දීමි. දහබිඳු පිසීමට යත්න නොදරාම.
ඇය. නැගිටගත්තාය. සිනාසුනාය. පාරට මුහුණලා වූ ජනේලය විවරකලාය. මා වලකන්නට පෙර.
ආපසු ආවාය. මට නැඟිටින්නැයි සන් කලාය.

මම. නැඟිටගත්තෙමි. ඇය සේම. නිරුවතින්.

ඇය. දෙදණ ඔබා වැන්දාය. නිරුවත් මට. නිරුවතින්ම.

අනතුරුව. දිවගොස් ජනේලයෙන් පැන්නාය.

මිය ගියාය.

***********************************************************************************
ඊටපෙර.

ඇය. දෝත විහිදා මා වැලඳ ගත්තාය. අත නොහැරම එල්ලී සිටියාය.
මම. ඇය එලෙසම සිටිද්දී දොර වසා දැමුවෙමි. ඉඟෙන් අල්ලා ඇයව තදකොට. පසුපසට ගොස්.

මඳවේලාවකින් ඇය ග්‍රහණය ලිහිල් කලාය.
කඳුළු. පපුතුර තෙමමින් ගලාගියේය.
ඇය. ඇඳෙහි හිඳගත්තාය.

“ මට මැරෙන්න වෙලා..!“

මම. විශ්මයාර්ථයකින් ඇය දෙස බැලීමි.
ඇය. අත් බෑගයෙන් ඇරයුම්පතක් ගත්තාය. එදෙස බලා සිටියාය. ගුලිකොට යලි බෑගයටම එබුවාය. ගලන කඳුළු නොවලකමින්.

“ මැරෙන්නැතුව මං කොහොමද ඔයාව දාල යන්නෙ..? “

දුරකථනය. ඇය බෑගය තුල වූ දුරකථනය ගත්තාය. යතුරු එබුවාය. මට ලඟින් හිඳගන්නැයි සන් කලාය. නොදන්නා අංකයකට යැවූ පණිවිඩය පෙන්වූවාය.

“ I am not a virgin " . එහි සටහන්ව තිබිණි.

“ දැන් ඒක ඇත්තක් කරන්න..!“

තර්ක. දහසක් සිතට නැඟුනත් මුවෙන් පිට නොවිණි. දෙලවන ඇගේ දෙතොලතර හිරවූ හෙයින්.

**********************************************************************************
ඊට පසු.

ඇය. සත් වරක් මිය ගොස් තිබිණි.
අටවෙනි උපතේදි පෝරුවට නැංගාය. අතපැන් වත්කොට ගත්තාය.
කාලවර්ණ කාරයක් හා විවාහ වූවාය.

Sunday, August 19, 2012

:: පරනිම්මිත ::















පුත බ්‍රහ්මදත්තය
මේ මහා අග්නි විවරය
නුඹ දෙපල දෙපසකට වන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා භද්‍ර කල්පය
පෙර ලෙසම යලි නොවන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කාල වනපෙත
හැරී ආ මං පෙත් වසාලන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කෙලෙස් හීසර
මතක විසගෙන හදෙහි අමුණන

පුත බ්‍රහ්මදත්තය
මේ මහා කර්ම සංස්කාරය
නිර්මාණරතියක සිරව සැඟවෙන

පුත බ්‍රහ්මදත්තය
බලව සැනහෙව
ඒ නිර්මාණරතියෙන් තැනෙන
පරනිම්මිත වසවර්තිය ......!

Monday, August 13, 2012

:: හෙමින් යන බස් ::










චන්ද්‍රසේන. බසය පිරෙන්නට සෙනඟ සිටියද, වේලා සටහන්කරු කිහිප විටක් නලාව පිම්බද, බසය ඉදිරියට නොගත්තේය. පණගැන්වූ රියෙහි සුක්කානම මත දෑත තබාගෙනම සිටියේය. ඉදිරිය බලාගෙන.

දහදිය. බසය පිටත්වී නොතිබුණද ඇතුලෙහි සිටියවුන් දහදියෙන් පෙඟෙමින් තිබිණි. අව්රශ්මියෙන්ද, ශරීරතාපයෙන්ද උපන් උණුසුම දරාගත නොහී.

ඊලඟ බස්රිය. චන්ද්‍රසේනගේ බස්රියෙහි ගෑවී නොගෑවී නතර කෙරිණි. සය වරක් නලාව හැඬවිණි. මහ හඬින්. රියදුරු කියූ අසැබි වදන් යටපත් කරමින්.

චන්ද්‍රසේන. බසය ඉබි ගමනින් ඉදිරියට ගත්තේය. අඩුම වේගය සහිත ගියරයෙහි උදව්වෙන්.

දාහතර. බසය නැවතුම් දාහතරක් පසුකර විත් තිබිණි.
චන්ද්‍රසේන.  නැවතුම් දාහතර පුරා බසය ගෙනාවේය. පල්ලම් වල නියුට්‍රල් කරමින්. ඉතිරි දුර පහලම ගියරයක එමින්. සෑම නැවතුමකම වැඩි වේලාවක් තබා ගනිමින්.

මගීන්. වැඩිව එන දාහයෙන් පෙලෙමින් සිටියෝය.

ඇතැමෙක් නොසන්සුන් වෙමින්. කලයුත්තක් නොහී.
“ මූ කීයට යන්නද දන්නෑ හිතන් ඉන්නෙ...?“

තවෙකෙක් දෙස් තියමින්. සෙමෙන්.
“ හෙමින් යනව මඳිවට ෆෝන් එකත් කනේ ගහගෙන..!“

අනෙකෙක් සිය පෙම්වතිය තමා දෙසට අදිමින්. බ්ලව්සයට වැහුණු ඉඟෙන් අල්ලා.
“ මෙහෙට එන්න බබා. මේ නාකියො බස් එකකවත් යන්න දන්නෑ...!“

සෙස්සන්. නිදමින්. පාලකයන්ට බනිමින්. විපක්ෂය පලු හරිමින්. කලා විචාර කරමින්. සූප ශාස්ත්‍ර දොඩමින්. ක්‍රීඩා විස්තර කියමින්. ගණන් හදමින්. බසයේ වේගය අමතක කිරීමට යත්න දරමින් සිටියෝය.

චන්ද්‍රසේන. තමා අසලම හුන් මඟියා හොඳින් පෙනෙන සේ දර්පණය සැදුවේය. පහලොස්වෙනි නැවතුමෙහි බසය නවතා තිබියදී. වම් අතින්. දකුණු අතින් ජංගම දුරකථනය දරාගෙන. මඟියාගේ රැවුම  දැක මුහුණ කළු කරගත්තේය.

සමන්තිකා. දහසයවෙනි නැවතුමෙන් බසයට නැංගාය. සෙනඟ අතරින් මැද්දට ගියාය. ජංගම දුරකථනයක් කනේ තබාගනම. අනෙක් උන් රවද්දී.

“ මඟුලක්ද කරන්නෙ..? මැද්දෙ සෙනග වැඩියි. මේ ඉස්සරහට එන්න....!“
චන්ද්‍රසේන දුරකථනයට කෙඳිරීය. සැරෙන්. සෙනෙහසින්.
අනතුරුව. දුරකථනය පසෙකින් තැබීය. බසය වේගවත්ම ගියරයට මාරු කලේය.

Thursday, August 9, 2012

:: පුනරාරම්භය ::












රළ. වෙරළ මත වැදෙමින් තිබිණි. සෝදමින්. සේදූ වැලි යලි දමමින්. මැරුණු බෙල්ලන් මතු කරමින්.

ඔහු. වෙරළෙහි වැතිර සිටියේය. උඩුකුරුව. ලිහිණියෙකු දෙස නෙතු යොමාගෙන.
ඇය. දිය බේරෙමින් ආවාය. යටිකුරුව වැතිරුණාය. ඔහු අසලින්.
ඉඟ හා දණහිස් මදක් එහෙමෙහෙ කලාය. උස්ව ආ සිය නිතඹ දෙස බැලුවාය. අනතුරුව ඔහු වෙත හැරුණාය.
උස්වූ නිතඹ එලෙසම තබාගෙන.

“ මං තාමත් ඒ වගේමද? “

ලිහිණියා. ඔහුගේ ඇසින් මිදුණේය.

“හ්ම්..! ටිකක් මහත් වෙලා...! හැබැයි ඒ විදිහම තමයි...!“
“එකම විදිහම වුණාම එපා වෙනව නේද..!“
“ මාත් කියන්නමයි හිටියෙ.., අපි වෙන විදිහකට ට්‍රයි කරමු...!“

අර්ථ. ඔහු කියූ දෙය ඇයට වැටහුණේ මඳ වේලාවකට පසුවය.

“ එහෙම නෙවේ අනේ..!  මං කැමතියි මුල් දවස්වල වගේ ඉන්න...! හැමදාම අළුත් දෙයක්..!“
“ ඉතින් දැනුත් ඉන්නෙ එහෙමනෙ. අපි ආදරෙයිනෙ...?“
“ එහෙම තමයි. ඒ වුණාට ඒ තරම් දැනෙන් නෑනෙ...!“

වැලි. ඔහු ගෙලෙන් පහල සියොලඟෙහි වැලි ගා ගනිමින් ඇය දෙසට පෙරලුණේය.

“ එහෙනම් ආයෙත් මුල ඉඳන් පටන් ගමු...?“
“ එහෙම බෑනෙ..!“
“ පුළුවනි..! ඔයා මාව දන්නෑ වගේ ඉන්න. මාත් එහෙම ඉන්නම්..! ඊට පස්සෙ ආපහු මුල ඉඳන් පටන් ගමු..!“
“ කොච්චර කාලෙකින්ද ?“
“ පුළුවන් තරම් කල්..!“

“ හරියන්නෑ..! අපිට අපිව පේනවනෙ...!“
“ එහෙනම් මං තූත්තුකුඩි යන්නම්..?“

“ කෝල් කරන්න හිතුණොත් ...?“
“ අපි පරණ නම්බර් අයින් කරමු...! අළුත් සිම් දෙකක් ගමු....! “

ඇය. මඳක් උස්වී හිඳ ගත්තාය. දිලිසෙන දෙනෙතින් යුතුව.

“ හරි... ඊ මේල් බ්ලොක් කරමු. නෑ .. ! නෑ...! වෙන දෙකක් හදාගමු...!“
“ ස්කයිප් එකටත් ඒකම කරමු“

“ ෆේස්බුක්...? යන් නැතුව ඉමු...?.... බෑනෙ. යාළුවො ඉන්නවනෙ...“
“ අන් ෆ්‍රෙන්ඩ් කරමු...! ඒත් හරියන්නෑ...! ඇඩ් කරගන්න හිතුණොත්..?“
“ එහෙනම්..බ්ලොක් කරමු...?“

“ එතකොට ඔයා කොහොමද මට දෙවෙනි පාර මුණ ගැහෙන්නෙ..?“
“ නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එයි...!“
“බෑ...! ඔයා මගෙ නම්බර් එක දන්නෙ නෑනෙ...?“

ඇය නැගිට්ටාය. ඔහු වටා පැදකුණු කරමින් ඇවිදින්නට වූවාය. විටෙක නවතිමින්. පා ඇඟිලි වලින් බිම හාරමින්. 
එකවනම නැවතුණාය. සතුටින් තිගැස්සුණාය.

“ හරි..! ඔයා නොදන්න ප්‍රොෆයිල් එකකින් මට රික්වෙස්ට් එකක් දාන්න...! “

මාපටැඟිල්ල. ඔහු සිය දකුණතෙහි මාපටැඟිල්ලෙන් ඇයට එකඟත්වය පෑවේය.
ඇය. කුඩා එකියක සේ සයුර දෙසට දිව ගියාය. දෙපා මාරුවෙන් මාරුවට වැල්ලෙහි ඔබමින්.  රළට මඳ දුරක් තිබියදී නැවතුණාය. ආපසු හැරුණාය.

“ ඔයාට කලින් වෙන කවුරු හරි රික්වෙස්ට් කලොත්...?“

රළ. මඳක් උස්ව විත් වෙරලෙහි හැපුණේය. ඇගේ හඬ පරයමින්.

Sunday, August 5, 2012

:: Chest Vs Breast ::












ඇය. අඳුරු පැහැ තරප්පුවෙන් බැස ආවාය. අළු පැහැති බ්ලව්සයක් වීදුරු පැහැ පටි දෙකකින් රඳවාගෙන. සෙනෙහසින් සිනාසුනාය. මගේ දකුණින් හිඳ ගත්තාය. සිය වමතෙහි ඇඟිලි මගේ දකුණතෙහි සැඟවූවාය. වීදුරු නෙත් දෙකින් මාදෙස බැලුවාය.

මම. සිත තදකොට සිරකලෙමි.
“ඔයාට කියන්න දෙයක් තියෙනව“

ඇය. හිස ඇලකොට මාදෙස බැලුවාය. වීදුරු දෙනෙතින්. කියන්නැයි සන්කලාය.
ගලක්. උගුරෙහි සිරවෙනු දැනුනි.

“මට ඔයාව බඳින්න බැහැ....!“
මම. උගුරෙහි වූ ගල පුපුරා ලූයෙමි. එහි හඬින් ඇය සලිතව යනු දුටිමි.

“ ඇයි...?“
 ඇය ඇසුවාය. සෙමෙන්. දෝංකාරය පහවගියපසු.

“ මට වෙන කෙනෙක් ඉන්නවා...!“

ප්‍රශ්න. පිලිතුරු. පැහැදිලි කිරීම්. කිසිවක් නොවිණි.
ඇය නැගිට්ටාය. තරප්පුව නැංගාය. හරියටම පඩි හතකට පසු ආපසු හැරුණාය.
මාවෙත ආවාය. යලි දකුණින්ම හිඳ ගත්තාය. දොරට පිටින් ඇති ඇල්බීසියා ගසදෙස බලාගත්වනම සිටියාය.
අනතුරුව හඬ අවදි කලාය. බැල්ම වෙනස් නොකරම.

“ මටත් කෙනෙක් හොයල දෙන්න...!“
සංසුන්ව කීවාය.

මම. කලබල වෙමින් සිටියෙමි.
ඇය. මට ඉඩ නොතබා දෙඩුවාය. නොසෙල්වී. ඇල්බීසියා ගස දෙසම බලාගෙන.

“ බ්‍රෙස්ට් වල මවිල් නැති කෙනෙක්...!“

මම. පිපිරී ගියෙමි. පිපිරුම් හඬ කෙඳිරියක්ව පිට කලෙමි.
“ පිරිමින්ට බ්‍රෙස්ට් නැහැ. තියෙන්නෙ චෙස්ට් එකක්..!“

ඇය. එකවරම කෙලින් සිටගත්තාය. එක එල්ලේ මාදෙස බැලුවාය.
වීදුරු ඇස්. ගිනි ගනිමින් තිබිණි. වීදුරු පටි. උරහිසෙහි මස පෙලමින් දිලුණි.

“ බ්‍රෙස්ට්...! හරිද...? ඒක චෙස්ට් වෙන්න ඊට යටින් තව දේවල් තියෙන්න ඕනෙ..!“

Wednesday, August 1, 2012

:: අයිස්ක්‍රීම් ::


















දුර.
ඇය කිලෝ මීටර් දෙකක් පයින්ද, විසි අටක් බසයෙන්ද පැමිණ දකුණු පස බස් නැවතුමට වී සිටියාය.
ඔහු කිලෝ මීටර් එක හමාරක් යතුරුපැදියෙන් විත් ඇය ඉදිරිපස නැවතුණේය.
ඔවුහු කිලෝමීටර් දහයක් එක්ව ගමන් කලෝය. යතුරු පැදියෙන්. ඔහු ඉදිරිපස. ඇය පසුපසින්. ඔහුගේ උරයට වාරුවී.

බංකුව. පසු පසින් රූස්ස ගසකින්ද, වම් පසින් මල් වැටකින්ද, දකුණින් කුණු බක්කියකින්ද ආවරණයව තිබිණි.
ඉදිරියෙන්. ගඟක් ගලා බැස්සේය. මීටර් දෙසීයක් දුරින්.

දෙපා. ඔහු ඇගේ දෙපා මත හිස තබාගෙන සිටියේය. සිය දෙපා නවා බංකුව මත තබමින්.
ඇය ඔහුගේ කෙස් අතර ඇඟිලි යවමින් සිටියාය. පසුගිය සතිය පුරා වූ දෑ පවසමින්. එකින් එක. ටිකක්වත් මඟ නොහැර.

රිද්මය. ඔහුගේ ස්වසන රිද්මය ඇයගේ උදරයෙහි උස්පාත්වීම හා සමපාත වෙමින් තිබිණි. දෙසවන් සිය සංවේදනය අත්හරිමින් සිටියේය. නෙත් පියවමින්.

ඇය. තමා තනිවම දොඩමින් සිටින බව පසක්කොට ගත්තාය. විනාඩි එක හමාරකට පසුව.
අතපොවන මානයේ වූ ඔහුගේ උදරයට පහරක් දුන්නේය. මිට මෙලවූ අතින්. නාභියට අඟලක් පහලට වදින්නට.

“ මට මැරෙන්න ඕන...!“
“ ඇයි...?“
“ මට ඔයා නැතිවෙයි කියල බයයි“
“ ඉතිං මැරුණම කොහොමත් නැතිවෙනවනෙ..?“
“ අපි දෙන්නම මැරෙමු...!“
“ එතකොටත් අපිට අපි නැතිවෙනවනෙ...?“

කඳුළු. ඇගේ දෙනෙතෙහි කබ වල පුරවමින් තිබිණි. කොපුල් තෙමීමට සූදානම්ව.
“ ඔයා නැතිවෙයි කියල බයේ ජීවත්වෙනවට වඩා ඔයා එක්ක මැරෙන එක හොඳයි...!“

කෙස්. ඔහු ඇගේ කෙහෙරැල්ලක් කනට එහායින් රැඳෙව්වේය. දබරැඟිල්ලෙන්.
“ ඔක්කොම නැති කරගන්නවට වඩා මැරි මැරී හරි ජීවත්වෙන එක හොඳ නැද්ද? මං ඔයාව දාලයන්නෙ නෑ“

කොපුල්. රත් පැහැගත්තේය. කඳුළු වලට ඇල වේලි තනා දුන්නේය.
බෑගය. ඇය සිය අත් බෑගය ගත්තාය. නැගිට්ටාය. වේගයෙන් ඇවිද්දාය. මීටර් දෙකක් හෝ තුනක්.
යලි හැරුණාය.

“ ඔයා කවදාවත් මැරෙන්නැද්ද....? බය ගුල්ලා....!“
අනතුරුව යන්නට ගියේය. ඇවිදිමින් දුවමින්. හිස ඔසවාගෙන. කඳුළු ගලද්දී. තනිව මුමුණමින්.

**************************************************************************

ඔහු. මඳ වේලාවක් ඇය දෙස බලා සිටියේය. හිටගත්තේය. සාක්කුවෙන් කාසියක් ගත්තේය. ඇය වෙත දිව ගියේය. මඟ අවහිරකරමින් නැවතුණේය. කාසිය වූ අත්ල ඇය වෙත පෑවේය.

“පැත්තක් ඉල්ලන්න..! හෙඩ් ද? ටේල් ද?“

“මොකටද...?“

“ ඔයා දිනුවොත් අපි මැරෙමු. පැරදුණොත් අයිස්ක්‍රීම් කමු.“