Saturday, June 30, 2012

:: මාලය ::

“සමාජ ප්‍රගමනය උදෙසා කාන්තාවගේ මැදිහත්වීම“.
පිරිමි දහසය දෙනෙක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගිවූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.

වැස්ස. කොළඹ වූ සියළු නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.

අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි වූ හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.

“ ආ.....!“

මේසය මත තිබූ මාලය ගත් ඇ මා වෙත පෑවාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.

“මොකටද....?“
“ අරන් යන්න ...!“
“කොහාටද....?“
“යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.“
“කවද්ද...?“
“ඊලඟ දවසෙ....!“

***********************************************
ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට පසුව එළඹුණි.
මාලය. මම යලි ඇය වෙත පෑවෙමි.

ඇය. වහා පැන මාලය ගත්තාය. ආදරයෙන්. ආශාවෙන්. උනන්දුවෙන්.

“දැන් මට පුළුවනි මෙයාගෙන් අහගන්න ඔයා මං නැති අතරෙ මොකද කලේ කියල.....!“

Monday, June 25, 2012

:: පී ::

“හරි, ඔයා කැමතිම අකුර ඇඟිල්ලෙන් මෙතන ලියන්න. මට කියවන්න පුළුවන් වුණොත් මං දිනුම්“
සිය පිටෙහි වූ දූපත් හැඩැති ලපයක් චන්දරේ වෙත පාමින් මොනර කිරිල්ල කීවාය.

කැමති. අකමැති. අකුරු. ඇඟිලි.

චන්දරේට අකුරක් සිහි නොවිනි. ඒ වෙනුවට ඔහු ඈ පෑ ලපයේ දාර දිගේ දබරැඟිල්ල දිවවූවා පමණි.

“මොකක්ද අනේ...?“
“හරි, අද හවස කියන්නම්...!“
කමිසය. සිය වතෙහි දවටාගත් චන්දරේ වහා දිවවිත් බසයට නැංගේය. අසුනකට බර වුණේය. දකින දකින අකුරු අතරින් තමා කැමති අකුර සොයමින් ගෙල කරකවමින් ගමනාන්තය කරා ඇදුණේය.

**********************************************
හවස. වැහි වලාකුළු නිසා අහස අඳුරුවම තිබිණි.
මොනර කිරිල්ල. දෙදරුමකින් පමණක් ඇමතුමක් එන බවට සංඥා කෙරුණු දුරකථනය අතට ගත්තාය. වටපිට බැලුවාය. බොත්තමක් එබුවාය. මුව හා කණ අතර සරල රේඛාවක් සෑදෙන පරිදි දුරකථනය තබා ගත්තාය. සවන් දුන්නාය.

“ මං කැමති ‘පී‘ අකුරට...!“
“ ඇයි අනේ...! සිංහල අකුරක් නැද්ද?“
“ම්හු...! හිතට ආවෙ නෑ“

“ හරි....! ඇයි ඔයා ‘පී‘ අකුරට කැමති වුණේ ?“
“ඔයා කියන්න“

“ඉතිං මගෙ නමේවත් ‘පී‘ අකුර නෑනෙ ?“
“ඒක නිසා නෙවෙයි!“

“ ආ! හරි. ඔයා මාව ආරක්ෂාකරනව කියන්න නේද? “
“ඒ කොහොමද?“
“ඇයි ‘ප්‍රොටෙක්ෂන්‘ කියන්න?“
“ඒකටත් නෙවෙයි....!“

“මොකක්ද අනේ...! මං දන්නෙ නෑ. මං තරහයි...“

“ මේකයි, ‘පී‘ අකුරෙ රවුම තියෙන්නෙ ?“
“ඔවු...!?“
“ඒ රවුමට අතදාල අල්ලගත්තම.....“
“මොන විකාරයක්ද? .... ඉතිං...?“

“ඉස්සරහට එන ඉරි කෑල්ල තියෙන්නෙ..?“
“හ්ම්....ඔවු....?“

“මට ඒකෙන් ඇතිතරම් ඔයාව කිති කවන්න පුළුවන්..!“